ඒ Messiගේ රාත්‍රියයි!

FIFA World Cup 2022

492
FIFA world cup 2022
(Photo by Julian Finney/Getty Images)

22 වැනි පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට Lionel Messi ප්‍රමුඛ ආජන්ටිනා කණ්ඩායම ඊයේ (18) රාත්‍රියේ සමත් වුනා.

ප්‍රංශය සමඟ පැවති මෙවර පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ගෝල 3 (4) – 3 (2)ක් ලෙස ආජන්ටිනා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර මෙය ආජන්ටිනාව විසින් පාපන්දු ලෝක කුසලානයක් ජයග්‍රහණය කළ තුන්වැනි අවස්ථාව ලෙස වාර්තා පොත්වලට එක් වනු ඇත.

ශ්‍රී ලංකා වෙලාවෙන් ඊයේ රාත්‍රි 8.30ට ආරම්භ වූ මෙම තරගයට ප්‍රංශ කණ්ඩායම මෙන්ම ආජන්ටිනා කණ්ඩායම ද පිවිසුණේ තෙවැනි වරටත් තම නමින් ලෝක කුසලාන කිරුළක් ලියා ගැනීමේ අරමුණ සහිතවයි.

තරගය ආරම්භයට පෙර ඉතා කෙටි මෙන්ම විචිත්‍රවත් උත්සවයක් පැවැත්වුණු අතර, ඉන්පසුව කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් කටාර් හී Lusail ක්‍රීඩාංගණයට පිවිසුණා.

තරගය ආරම්භයේ පටන් ආජන්ටිනාව විසින් පිටියේ සිය ආධිපත්‍ය පැතිරීමට සමත් වූ අතර, බොහෝ අවස්ථාවල පන්දුව ප්‍රංශ ගෝල රකින්නා අසලම රැඳී තිබෙන අයුරු ද දකින්න ලැබුණා.

තරගයේ 23 වැනි මිනිත්තුවේ දී ආජන්ටිනා දඬුවම් සීමාව තුල දී ආජන්ටිනා ක්‍රීඩක Angel Di Mariaට සිදු වූ බාධා කිරීමක් නිසා ආජන්ටිනාවට දඬුවම් පහරක් හිමි වුනා.

සුපුරුදු පරිදි ආජන්ටිනාව වෙනුවෙන් දඬුවම් පහර ලබා ගත් Lionel Messi මෙවර තරගාවලියේ සිය හය වැනි ගෝලය ලබා ගැනීමට සමත් වුනේ ආජන්ටිනාවට ජයග්‍රහණයේ මාවත විවර කර දෙමිනුයි.

නැවතත් 36 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ ආජන්ටිනා ක්‍රීඩකයින් දියත් කළ වේගවත් තරග රටාවේ ප්‍රතිඵලයක් ලෙස Angel Di Maria විසින් ආජන්ටිනාව වෙනුවෙන් වාර්තා වූ දෙවැනි ගෝලය ලබා ගැනීමට සමත් වුනා.

ඒ අයුරින් තරගයේ ප්‍රථම අර්ධය නිමා වෙද්දී ආජන්ටිනාව ප්‍රංශයට එරෙහිව ගෝල 2-0ක් ලෙස ඉදිරියෙන් පසු වීමට සමත් වුනා.

තරගයේ දෙවන අර්ධය ආරම්භ වීමෙන් පසුව නැවත දෙපිළම තරගකාරී ක්‍රීඩා රටාවක් පෙන්වූ අතර, කණ්ඩායම් දෙකම සාධනීය ගෝල ලබා ගැනීමේ අවස්ථා කිහිපයකට ම උත්සාහ කළ නමුත් ඒවා අසාර්ථක වුනා.

කෙසේ වෙතත් 80 වැනි මිනිත්තුවේ දී ආජන්ටිනා ක්‍රීඩකයකු අතින් ප්‍රංශ දඬුවම් කලාපය තුල සිදු කළ වරදක් නිසා ප්‍රංශයට දඬුවම් පහරක් හිමි වුනා.

එය සාර්ථක කර ගැනීමට සමත් වූ Klyan Mbappe විසින් මෙවර තරගාවලියේ සිය හයවැනි ගෝලය ලබා ගනිමින් Lionel Messi හා සම වැඩිම ගෝල ලාභියා බවට පත් වූ අතර, එම ගෝලයෙන් විනාඩි දෙකක් ගෙවී යාමටත් ප්‍රථම Mbappe විසින් ප්‍රංශය වෙනුවෙන් දෙවැනි ගෝලය ද වාර්තා කිරීමට සමත් වුනා.

ඒ අනුව එතෙක් තරගාවලියේ වැඩිම ගෝල ලාභියා ව සිටි Messiව ඉක්මවා යාමට ද Mbappe සමත් වූ අතර එතෙක් වෙලා තරගයේ සියලු ම වාසි තමන් සතු කර ගෙන සිටි ආජන්ටිනා ක්‍රීඩකයින් වික්ෂිප්ත වී සිටි අයුරු දකින්න ලැබුණා.

එයින් පසු තරගයේ දෙවැනි භාගය අවසන් වන තෙක් කිසිදු කණ්ඩායමක් ගෝල රැස් කිරීමට අසමත් වූ අතර, Messi විසින් දැරූ විශිෂ්ටතම ගෝල ප්‍රයත්නයක් දෙවැනි අර්ධයේ අවසන් මොහොතේ දී සාර්ථකව නතර කිරීමට ප්‍රංශ ගෝල රකින්නා සමත් වුනා.

නියමිත කාලය අවසන් වන විට ගෝල 2-2ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්වයේ පසු වූ නිසා මිනිත්තු 30ක අමතර කාලයක් හිමි වූ අතර, එහි ප්‍රථම මිනිත්තු 15 දී ද දෙපිළම ගෝල වාර්තා කිරීමට අපොහොසත් වුනා.

එහි දී ද Messiගේ විශිෂ්ට උත්සාහයක් ඇතුළු ආජන්ටිනා ගෝල ප්‍රයත්නයන් කිහිපයක් ම නතර කිරීමට ප්‍රංශ පසුපෙළ ක්‍රීඩකයින් සමත් වුනා.

අතිරේක කාලයේ දෙවැනි මිනිත්තු 15 ආරම්භ වී සුළු මොහොතකින් Lionel Messi විසින් ආජන්ටිනාව වෙනුවෙන් තෙවැනි ගෝලය වාර්තා කළ අතර, එය තරගාවලියේ ඔහුගේ හත්වැනි ගෝලය බවට වුනා.

ඉන්පසුව තරගයේ 117 වැනි මිනිත්තුවේ දී නැවතත් ප්‍රංශයට දඬුවම් පහරක් හිමි වූ අතර, Klyan Mbappe විසින් එය ද සාර්ථක කර ගනිමින් ගෝල ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් වුනේ නැවත ලකුණු තත්වය සම කරමිනුයි.

එය Mbappeගේ අට වැනි ගෝලය වූ අතර, ඒ අනුව ඔහු මෙවර තරගාවලියේ Golden Boot සම්මානය හිමි කර ගන්නට ද සමත් වුනේ තරගයට නියම වූ කාලය අවසන් වන තෙක් තවත් කිසිදු ගෝලයක් වාර්තා නොවුනු අතරෙයි.

ඒ අනුව ප්‍රංශය සහ ආජන්ටිනාව ගෝල 3 බැගින් ලබා ගනිමින් තරගය සම තත්වයෙන් අවසන් වූ අතර, දඬුවම් පහර මගින් තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීමට පියවර ගත්තා.

ඒ අනුව දඬුවම් පහර එල්ල කිරීමට කණ්ඩායම් යොමු වුනා. එහි දී ප්‍රංශය වෙනුවෙන් පළමු දඬුවම් පහර සාර්ථක කර ගැනීමට Klyan Mbappe සමත් වූ අතර, ආජන්ටිනාව වෙනුවෙන් Lionel Messi පළමු දඬුවම් පහර සාර්ථක කර ගත්තා.

නමුත් ඉන්පසුව පිට පිටම ප්‍රංශ දඬුවම් පහර දෙකක් ව්‍යර්ථ වූ අතර (එකක් දැල මග හැරී යාමෙන් සහ එකක් Emi Martinez ගේ විශිෂ්ට ගෝල රැකීම නිසා), ආජන්ටිනාව දිගින් දිගටම දඬුවම් පහර හතරක් සාර්ථකව ලබා ගැනීමට සමත් වුනා.

ඒ අනුව දඬුවම් පහර 4-2ක් ලෙස සාර්ථක කර ගනිමින් 26 වැනි පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ආජන්ටිනා කණ්ඩායම සමත් වුනා.

තම ආරම්භක තරගය සෞදි අරාබිය හමුවේ අනපේක්ෂිත ලෙස පරාජය වීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මෙන්ම, ප්‍රේක්ෂකයින් අතින් ද දැඩි ලෙස උපහාසයට ලක් වුන ආජන්ටිනා කණ්ඩායම වසර 36කට පසුව නැවතත් පාපන්දු ලෝක කුසලාන කිරුල සිය රටට රැගෙන යාමට සමත් වුනා.

ඒ අනුව මෙය පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ දඬුවම් පහර මගින් ජයග්‍රාහකයා තෝරා ගත් තෙවැනි ලෝක කුසලානය ලෙස ඉතිහාසයට එක් වන අතර, ප්‍රංශ ක්‍රීඩක Klyan Mbappe පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයක ගෝල ත්‍රිත්වයක් ලබා ගත් ලොව දෙවැනි ක්‍රීඩකයා බවට පත් වීමට ද සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: ආජන්ටිනාව 3 (4) – 3 (2) ප්‍රංශය

ගෝල රැස් කළ ක්‍රීඩකයින් :

  • ආජන්ටිනාව: Lionel Messi (p) 23′, 208′, Angel Di Maria 36′
  • ප්‍රංශය: Klyan Mbappe – 80′, 81′, 118′

දඬුවම් පහර සාර්ථක කර ගත් ක්‍රීඩකයින් :

  • ආජන්ටිනාව: Lionel Messi, Paulo Dybala, Leandro Paredes, Gonzalo Montiel
  • ප්‍රංශය: Klyan Mbappe, Randal Kolo Muani

22 වැනි පාපන්දු ලෝක කුසලානයේ සම්මාන ලබා ගත් ක්‍රීඩකයින්:

  • FIFA Young Player Award – Enzo Fernandez
  • Adidas Golden Glove Award – Emi Martinez
  • Adidas Golden Boot Award – Klyan Mbappe
  • Adidas Golden Glove Goal – Lionel Messi

මෙවර පාපන්දු ලෝක කුසලානය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත රැගෙන ආ ThePapare.com ඉදිරියටත් ඔබ වෙත ක්‍රීඩාවේ නැවුම් පුවත් ගෙන ඒමට සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<