මොරොක්කෝව ඉතිහාස ගත වෙයි; Modrić වීරයෙක් වගේ ගෙදර යයි!

FIFA World Cup 2022

446

මෙවර පාපන්දු ලෝක කුසලානයේ තුන්වැනි ස්ථානය දිනා ගැනීමට ක්‍රොඒෂියාව ඊයේ (17) සමත් වූ අතර, ඔවුන් හමුවේ ගෝල 2-1ක් ලෙස පරාජය වූ පෙරළිකාර මොරොක්කෝ දේශය තරගාවලියේ සිව්වැනි ස්ථානයට පත් වුනා.

ක්‍රොඒෂියානු පාපන්දු පුරාවෘත්තයක් බඳු Luka Modrićගේ අවසන් ලෝක කුසලාන තරගය මෙන්ම, අප්‍රිකානු දේශයක් ලෙස කණ්ඩායමක් ලෝක කුසලාන ඉතිහාසයේ ලබා ගත් ඉහළම ස්ථානය සටහන් කිරීමේත් තරගය වූ නිසා මෙය කණ්ඩායම් දෙකටම ඉතා තීරණාත්මක එකක් වුනා.

තරගාවලිය පුරාවටම ගෝල රකින්නන්ගේ සහ ආරක්ෂක පෙළේ දක්ශතාවය වඩාත් ඉස්මතු කළ කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන තරගයක් නිසා බොහෝ දෙනා මේ තරගය දඬුවම් පහර තෙක්ම ඇදී යනු ඇතැයි අනුමාන කළත්, තරගය ආරම්භ වී මිනිත්තු හතක් ගත වන මොහොතේ ක්‍රොඒෂියානු ක්‍රීඩක Joško Gvardiol විසින් තරගයේ පළමු ගෝලය රැස් කිරීමට සමත් වුනා.

ඊට පිළිතුරු වශයෙන් තරගයට නොසිතූ විරූ ආරම්භයක් ලබා දීමට සමත් වූ මොරොක්කෝ කණ්ඩායමේ Achraf Dari විසින් තරගයේ 9 වැනි මිනිත්තුවේ දී මොරොක්කෝව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වුනා.

Dari විසින් ලබා ගත් ගෝලය ඔහුගේ පළමු ජාත්‍යන්තර ගෝලය වීම ද විශේෂත්වයක්.

ඉන්පසුව කණ්ඩායම් දෙකම නැවතත් ප්‍රතිවාදී ගෝල ආක්‍රමණය කිරීමට උත්සාහ ගත් අතර එහි දී ක්‍රොඒෂියානු ක්‍රීඩකයින්ගේ උත්සාහයන් තරගයේ පළමු භාගයේ වැඩි වශයෙන් කැපී පෙනුණා.

ඔවුන්ගේ උත්සාහයන් නැවත වරක් මල් ඵල ගන්වන්නට Mislav Oršić විසින් සමත් වුනේ තරගයේ 42 වැනි මිනිත්තුවේ දී ක්‍රොඒෂියාව වෙනුවෙන් දෙවැනි ගෝලය ද වාර්තා කරමිනුයි.

තරගයේ දෙවැනි භාගයේ දී නැවතත් තරගයට අවතීර්ණ වීමට මොරොක්කෝව දැඩි ලෙස උත්සාහ කළ ද, ඒ සියල්ලම ක්‍රොඑ්ෂියානු පසුපෙළ මෙන්ම, මොරොක්කෝවේ අවාසනාව ද නිසා ව්‍යර්ථ වුනා. එහි දී මොරොක්කෝව වෙනුවෙන් Hakim Ziyech සහ Youssef En-Nesyriගේ උත්සාහයන් කැපී පෙනුණා.

එමෙන්ම තරගයේ විනිසුරු තීරණ පිළිබඳව මොරොක්කෝ ක්‍රීඩකයින් ඒ තරම්ම සතුටක් නොදැක්වූ බව ද ඔවුන්ගේ හැසිරීම් වලින් දකින්න ලැබුණා.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ කිසිදු ගෝලයක් වාර්තා නොවූ බැවින් මෙවර තරගාවලියේ තුන්වැනි ස්ථානය මොරොක්කෝවට එරෙහිව ගෝල 2-1ක ජයක් ලැබූ ක්‍රොඒෂියාව විසින් දිනා ගැනීමට සමත් වුනා.

මෙම තරගයේ වීරයා ලෙස තරගයේ පළමු ගෝලය රැස් කළ Joško Gvardiol නම් කළා.

තරගාවලියේ අවසන් මහා තරගය ආජන්ටිනාව සහ ප්‍රංශය අතර අද (18) පැවැත්වීමට නියමිත අතර එය ශ්‍රී ලංකා වෙලාවෙන් රාත්‍රි 8.30ට ආරම්භ වනු ඇත.

අවසන් ලකුණු තත්වය: ක්‍රොඒෂියාව 2 – 1 මොරොක්කෝව

ගෝල රැස් කළ ක්‍රීඩකයින්:

  • ක්‍රොඒෂියාව; Joško Gvardiol 7’, Mislav Oršić 42’
  • මොරොක්කෝව; Achraf Dari 9’

මෙවර පාපන්දු ලෝක කුසලානයේ සියලු තතුවිත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<