අවසන් මහා තරගයේ දී Messi සතු විය හැකි වාර්තා 7ක්!

FIFA World Cup 2022

1431
Lionel Messi

ආජන්ටිනා කණ්ඩායමට මෙවර පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගය තෙක් පැමිණීමට ප්‍රධානතම හේතුව වුනේ ඔවුන්ගේ නායකයා මෙන්ම සුපිරි තම ක්‍රීඩකයා වන Lionel Messi බව නොරහසක්.

අද (18) රාත්‍රියේ පැවැත්වීමට නියමිත මෙවර පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගය ආජන්ටිනාව සහ වත්මන් ලෝක ශූරයින් වන ප්‍රංශය අතර පැවැත්වීමට නියමිත අතර, මෙය පාපන්දු ලෝකයේ පුරාවෘත්තයක් බඳු වූ Lionel Messiගේ අවසන් පාපන්දු ලෝක කුසලාන තරගය ද වනු ඇත.

Messi විසින් මෙම තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමඟ තරගයට සහභාගී වීමත් සමඟම සිය ක්‍රීඩා දිවියේ තරග 1000 කඩඉම පසු කර යාමට සමත් වූ අතර මෙවර තරගාවලියේ එක් තරගයක දී හැර මෙතෙක් ක්‍රීඩා කළ අනෙක් සියලුම තරගවල ගෝල වාර්තා කිරීමට ද සමත් වී තිබෙනවා.

මේ වන විට මෙවර තරගාවලියේ වැඩිම ගෝල ලාභීන්ගේ ලැයිස්තුවේ ද Messi Kylian Mbappe සමඟින් ඉදිරියෙන් ම සිටිනවා.

මේ අතර Messiට අද පැවැත්වෙන තරගයේ දී පසු කර යා හැකි වාර්තා හතක් පහතින් දැක්වෙනවා.

ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ජයග්‍රහණ වාර්තා කළ ක්‍රීඩකයා –

මේ වන විට ජර්මානු ක්‍රීඩක Miroslav Klose විසින් මෙම වාර්තාවට හිමිකම් කියන්නේ ලෝක කුසලාන තරග 17ක් ජයග්‍රහණය කිරීමට සමත් වෙමිනුයි. එම ලැයිස්තුවේ දෙවැනි තැන රැඳී සිටින Messi දැනට ජයග්‍රාහී තරග 16කට සහභාගී වී ඇති අතර අද තරගය ජයග්‍රහණය කළහොත් මෙම වාර්තාවේ සම හිමිකරු බවට පත්වීමට Messiට හැකියාව ලැබෙනවා.

වැඩිම ලෝක කුසලාන තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා –

අද තරගය ක්‍රීඩා කිරීමත් සමඟ වැඩිම ලෝක කුසලාන තරග ප්‍රමාණයක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා වෙමින් (තරග 26ක්) ජර්මනියේ Lothar Matthaus අබිබවා යෑමට ද Messiට හැකියාව ලැබෙනු ඇත.

ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම මිනිත්තු ප්‍රමාණයක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා –

මේ වන විට මෙම වාර්තාවෙ අයිතිය ඉතාලියේ Paolo Maldini සතුව පවතින්නේ මිනිත්තු 2,217ක් ක්‍රීඩා කරමින් වන අතර, Messi විසින් දැනට මිනිස්සු 2,194ක් ක්‍රීඩා කර තිබෙනවා.

ඒ අනුව අද තරගයේ දී තවත් මිනිත්තු 23ක් ක්‍රීඩා කළහොත් එම ලෝක කුසලාන වාර්තාවත් Messi සතු වනු ඇත.

ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක් ගෝලවලට සහය (assists) දැක්වූ ක්‍රීඩකයා –

මේ වන තෙක් Messi විසින් assists 9ක් ලබා දී ඇති අතර, මෙහි ලෝක කුසලාන වාර්තාවට හිමි කම් කියන්නේ බ්‍රසීල පාපන්දු පුරාවෘත්තය වන Pele විසිනුයි.

Peleගේ නමට assist 10ක් ලියැවී තිබෙන අතර අද Messiට Pele හා සම වීමට හෝ Peleව පසු කර යාමට අවසන් අවස්ථාව ලැබෙනු ඇත.

Golden Ball සම්මාන දෙවරක් දිනූ ලොව ප්‍රථමයා බවට පත් වීම –

ලෝක කුසලානයක දක්ෂතම ක්‍රීඩකයාට පිරිනැමෙන Golden Ball සම්මාන මීට පෙර 2014 වසරේ දී හිමි කර ගැනීමට Messi සමත් වූ අතර, මෙතෙක් පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ කිසිදු ක්‍රීඩකයකු එම සම්මානය දෙවරක් දිනා ගැනීමට සමත් වී නැහැ.

මෙම තරගාවලියේ මෙතෙක් දැක්වූ දස්කම් අනුව මෙම සම්මානය සඳහා Messi ඉදිරියෙන් ම සිටින අතර, අද තරගය ඊට යම් සාධනීය බලපෑමක් එල්ල කරාවි ද කියා අපි බලා හිඳිමු.

ලෝක කුසලාන ඉතිහාසයේ Golden Boot සහ Golden Ball සම්මාන දෙකම දිනූ සුළු පිරිස අතරට එකතු වීම –

පාපන්දු ලෝක කුසලානයක වැඩිම ගෝල ලබා ගන්නා ක්‍රීඩකයාට මෙම Golden Boot සම්මානය පිරිනැමෙන අතර මේ වන විට Lionel Messi මෙවර ලෝක කුසලානයේ ඒ සම්මානය වෙනුවෙන් ද ඉදිරියෙන් ම සිටිනවා. අද තරගය අවසානයේ එයට ද නිසි ජයග්‍රාහකයකු (ඒ වෙනුවෙන් Messi සහ Mbappe අතර දැනට තියුණු සටනක් නිර්මාණය වී ඇති නිසා) තීරණය වනු ඇත.

මේ වන තෙක් මෙම සම්මාන ද්විත්වය ම ජයග්‍රහණය කිරීමට සමත් වී ඇත්තේ ක්‍රීඩකයින් හත් දෙනෙකු පමණයි.

Leônidas da Silva (1938), Garrincha (1962), Ronaldo (1998 Golden Ball, 2002 Golden Boot), Paolo Rossi (1982), Salvatore Schillaci (1990), සහ Mario Kempes (1978)

වැඩිම ගෝල ලබා ගැනීම් (Goals + Assists) ප්‍රමාණයකට සම්බන්ධ වූ ක්‍රීඩකයා –

Messi මේ වන තෙක් ගෝල 11ක් සහ Assists 9ක් සමඟින් සමස්ත අවස්ථා 20කට දායක වී ඇති අතර, මෙතෙක් ලෝක කුසලාන ඉතිහාසයේ ඔහුට ඉදිරියෙන් සිටින්නේ Pele පමණයි.

Pele විසින් ගෝල 12ක් සහ Assists 10ක් සමඟින් අවස්ථා 22කට දායක වී ඇති අතර Messiට අද දිනයේ එම වාර්තාව ද සම කිරීමට හෝ අබිබවා යෑමට අවස්ථාවක් හිමි වී තිබෙනවා.

මේ සෑම වාර්තාවක් ම එකකට එකක් සම්බන්ධ හෙයින් අද තරගයේ දී Messi ක්‍රීඩා කරන ආකාරය අනූව ඔහුගේ පළමු සහ එකම පාපන්දු ලෝක කුසලානය මෙන්ම පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයා වීමට ද අවස්ථාවක් හිමි වී තිබෙනවා.

මෙවර පාපන්දු ලෝක කුසලානයේ සියලු තතුවිත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<