ශ්‍රී ලංකා පිහිනුම් ශූර මැතිව් අබේසිංහ අද (27) ටෝකියෝ ඔලිම්පික් උළෙලට පිවිසියේ පිරිමි මීටර 100 නිදහස් ආර ඉසව්වේ මූලික තරග වටයට සහභාගී වෙමින්. එහි දී ඔහු සහභාගී වූ තරගය තත්පර 50.62කින් නිමා කරමින් 8 වැනි ස්ථානය හිමිකර ගැනීමට මැතිව් අබේසිංහ සමත් වුනා. 

>> මැතිව්ගේ ඉසව්වේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

මෙම තරගයේ දී පළමු මීටර 50 තත්පර 23.47කින් නිමා කරමින් පෙරමුණ ගැනීමට මැතිව් අබේසිංහ සමත් වීම විශේෂත්වයක්. 

රටවල් 62ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 71 දෙනෙකු තරග වැදුණු මෙම මූලික වටයේ තරග අවසානයේ ශ්‍රී ලංකා පිහිනුම් ශූර මැතිව් අබේසිංහ හට 48 වැනි ස්ථානය හිමි වුනා. 

මූලික තරග වටයේ දී හොඳම කාලය වාර්තා කරන ක්‍රීඩකයින් 16 දෙනෙකු පමණක් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබන බැවින් මැතිව් අබේසිංහ හට මෙවර ඔලිම්පික් උළෙලෙන් ඉවත් වීමට සිදු වුනා. 

මෙවර ඔලිම්පික් උළෙලේ දී ඔහු නියෝජනය කළ පිරිමි මීටර 100 නිදහස් ආර ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවට (51.23) සහ ජාතික වාර්තාවට (49.11) හිමිකම් කියන මැතිව් අබේසිංහ සතුව තවත් පිහිනුම් ඉසව් 4ක දකුණු ආසියානු වාර්තා සහ ඉසව් 7ක ජාතික වාර්තා තිබෙනවා. 

ජාතික පිහිනුම් ශූර මැතිව් අබේසිංහගේ මෙවර ඔලිම්පික් සිහිනය සැබෑ නොවුනත් තම ඉදිරි ක්‍රීඩා දිවිය වඩාත් සාර්ථක කරගනිමින් මව්බිමට තව තවත් කීර්තියක් ගෙන ඒමට හැකි වේවා’යි ThePapare.com අප හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.  

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල ආවරණය කරන්නට ThePapare.com අපිත් ටෝකියෝවට ගොස් අවසන්. ඔලිම්පික් ක්‍රීඩා පුවත් ඇතුළු තරගාවලියේ සිරි අසිරිය ඡායාරූප, වීඩියෝ ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අපි සූදානම්. රැඳී සිටින්න ThePapare.com අපි සමඟින්ම. 

>> 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ සියලුම තොරතුරු <<