හීනය නම් තාමත් වැට උඩ; ඒත් Messi නම් දැනටමත් සතුටෙන්

FIFA World Cup 2022

422
LUSAIL CITY, QATAR - DECEMBER 13: Lionel Messi of Argentina celebrates the team's 3-0 victory in the FIFA World Cup Qatar 2022 semi final match between Argentina and Croatia at Lusail Stadium on December 13, 2022 in Lusail City, Qatar. (Photo by Clive Brunskill/Getty Images)

තරගාවලියේ ආරම්භක තරගයම (සෞදි අරාබියට එරෙහිව) පරාජය වී , අවසන් මහා තරගය තෙක් පැමිණීමට හැකි වීම පිළිබඳ Lionel Messi විසින් සිය කණ්ඩායමට ප්‍රශංසා කර තිබෙනවා.

මෙවර පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගය ආජන්ටිනාව (ක්‍රොඑ්ෂියාවට එරෙහිව ගෝල 3-0ක් ලෙස ජය ගත්) සහ ප්‍රංශ (මොරොක්කෝවට එරෙහි තරගය ගෝල 2-0ක් ලෙස ජය ගත්) කණ්ඩායම් අතර ලබන ඉරිදා (18) පැවැත්වීමට  නියමිතයි.

ක්‍රොඒෂියාවට එරෙහි තරගයේ 34 වැනි මිනිත්තුවේ දී Messi විසින් ගෝල ලබා ගැනීම (දඬුවම් පහරක් මගින්) ආරම්භ කළ අතර පසුව Julian Alvarez විසින් තවත් ගෝල දෙකක් ලබා ගැනීමට සමත් වුනා.

Messiගේ සහ Alvarezගේ මෙම ක්‍රියාදාමය හේතුවෙන් ක්‍රොඒෂියාව බිහි කළ විශිෂ්ටතම පාපන්දු තරුව වන Luka Modrićට සිය ලෝක කුසලාන සිහිනය අත් හැර ගන්නට ද සිදු වුනා.

නමුත් තරගාවලිය ආරම්භයේ ආජන්ටිනාව අවසන් මහා තරගයට කෙසේ වෙතත්, මූලික වටයෙන් හෝ ඉදිරියට යාවි ද යන ගැටලුව මතු වුනේ ශ්‍රේණිගත කිරීම්වල 51 වැනි ස්ථානයේ සිටින සෞදි අරාබි කණ්ඩායම හමුවේ ලද අනපේක්ෂිත පරාජය නිසායි.

මෙතෙක් පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ තම ආරම්භක තරගය පරාජය වී ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට සමත් වුනේ 2010 ලෝක කුසලානය ජයග්‍රහණය කළ ස්පාඤ්ඤ කණ්ඩායම පමණක් වන අතර, එම ඉතිහාසය වෙනස් කිරීමට දැන් ආජන්ටිනාවට ද අවස්ථාවක් හිමි වී තිබෙනවා.

“අඛණ්ඩව තරග 36ක් ජයග්‍රහණය කරලා හිටපු අපිට මේ තරගාවලියේ මුල්ම තරගය පරාජය වෙන්න සිදු වුන එක දරා ගන්න අමාරු දෙයක් වුනා.

අපි කොහොමටවත්ම හිතුවේ නැහැ සෞදි අරාබියට එරෙහි තරගය පරාජය වෙන්න වේවි කියලා, ඒක අපේ කණ්ඩායමට හොඳ පරීක්ෂණයක් වුනා එක අතකින්. නමුත් අපි පෙන්නුවා අපි කොච්චර ශක්තිමත් ද කියලා.

අපි අනෙක් හැම තරගයක් ම ජයග්‍රහණය කළා, ඒ හැම තරගයක් ම අවසන් තරග වගේ, අපි එකක් හරි පරාද වුනා නම් තත්වය තවත් සංකීර්ණ වෙනවා. අපි කළේ ගොඩක් කරන්න ගොඩක් ම අමාරු දෙයක්.

නමුත් අපිට විශ්වාසය තිබුණා ඒක කරන්න පුළුවන් කියලා, මොකද අපි දැනගෙන හිටියා අපිට මොනවද කරන්න පුළුවන් කියලා. මුල් තරගය පරාජය වුනා තමයි, නමුත් ඒකෙන් අපි තවත් ශක්තිමත් වුනා.

අපි මේ මොහොත රස විඳිමු, මෙහේ වගේම ආජන්ටිනාවෙත් ඉන්න අපේ රසිකයින්ගේ සතුට දකින්න ලැබීම ගොඩක් වටින දෙයක්. අපි අවසන් මහා තරගයේ දී අපිට දෙන්න පුළුවන් උපරිමය දෙනවා, ඒ වගේම අපි දැනට ළඟා කර ගත්තු දේවල් සමරන්නත් අවශ්‍යයි.

මම ගොඩක් සතුටින් ඉන්නේ. මීළඟ තරගය ගැන අපිට හොඳ විශ්වාසයක් තියෙනවා, ඒ වගේම පසුගිය තරගය (ක්‍රොඒෂියාව සමඟ) ඒ තරම් ම පහසු එකක් වුනෙත් නැහැ අපිට.”

ආජන්ටිනාව වෙනුවෙන් වැඩිම ලෝක කුසලාන ගෝල ලබා ගත් ක්‍රීඩකයා බවට පත් වීමට සමත් වූ (ගෝල 11) Messi (හිටපු ආජන්ටිනා ක්‍රීඩක Gabriel Batistuta පසුකර යමින්) විසින් අවසන් පූර්ව තරගයෙන් පසුව එසේ ප්‍රකාශ කළා.

එමෙන්ම ඔහු තවදුරටත් සඳහන් කළේ ලබන ඉරිදා පැවැත්වීමට නියමිත ලෝක කුසලාන අවසන් මහා තරගය සිය අවසන් ලෝක කුසලාන තරගය ද වනු ඇති බවයි.

“මේ දේ ළඟා කරගන්න හැකි වීම ගැන මම සතුටු වෙනවා, විශේෂයෙන්ම මගේ අවසන් ලෝක කුසලාන තරගය විදිහට ලෝක කුසලාන අවසන් මහා තරගයක් ක්‍රීඩා කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. මීළඟ ලෝක කුසලානයට තව ගොඩක් කල් තියෙනවා, මම හිතන්නේ නැහැ මම ඒ වෙනුවෙන් ඉඳී වී කියලා  සහ මේ විදිහට අවසන් කරන්න ලැබෙනවා නම් ඒක තමයි හොඳම.”

මේ අතර ක්‍රොඒෂියානු තරගයෙන් අනතුරුව තරගයේ වීරයා සම්මානය ද හිමිකර ගැනීමට සමත් වූ Messi, තරගයේ වැඩි ගෞරවය Julian Alvarez හට ලබා දීමට පැකිළුණේ නැහැ.

“අද රාත්‍රියේ (තරග දිනයේ) Julian ක්‍රීඩා කරපු ආකාරය ඉතාම විශිෂ්ටයි. ඔහු අගනා තරගයක් ක්‍රීඩා කළා. ඔහු ගොඩක් දිවුවා, ගොඩක් ගෝල අවස්ථා නිර්මාණය කරලා දුන්නා. ඔහු තමයි අපේ වටිනා ම ක්‍රීඩකයා. ඔහුට තරගයේ ක්‍රීඩකයා සම්මාන හිමි විය යුතුයි.”

මේ අතර තරගයෙන් අනතුරුව ක්‍රොඒෂියා පුහුණුකරු Zlatko Dalic විසින් ද Messiගේ මෙම ලෝක කුසලානයේ දස්කම් අගය කරනු ලැබුවා.

“ඔහු භයානකයි, ඒ වගේම දක්ෂයි. ඔහු තමයි ලෝකයේ හොඳම ක්‍රීඩකයා. ඔහුගේ තාක්ෂණය ඉතාම ඉහළයි, මේ තමයි අපි දකින්න බලාපොරොත්තුවෙන් හිටපු Messi.”

ආජන්ටිනාව මීට පෙර අවසන් වරට ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ 2014 දී වන අතර, එදා ඔවුන්ට ජර්මනිය හමුවේ පරාජය වීමට සිදු වුනා.

එමෙන්ම ලබන ඉරිදා (18) තරගය ජයග්‍රහණය කිරීමට හැකි වුවහොත් ඒ සමඟ ආජන්ටිනාවේ වසර 36ක ලෝක කුසලාන ඉඩෝරය ද නිමා වනු ඇත.

මෙවර පාපන්දු ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapar.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN ඇසුරිනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<