එංගලන්තය සහ නෙදර්ලන්තය ජයග්‍රහණ ලබයි

685
FIFA World cup Day 02

2022 පාපන්දු ලෝක කුසලානයේ තරග තුනක් ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (21) සහ අද (22) අලුයම පැවැත්වුනා.

එහි දී එංගලන්තය හමුවේ ඉරාන ක්‍රීඩකයින් දැවැන්ත පරාජයක් ලබද්දී, අවසන් මොහොතේ නෙදර්ලන්තය හමුවේ පරාජය වන්නට සෙනගාලයට සිදු වුනා. වේල්සය සහ ඇමරිකා එක්සත් ජනපද තරගය සමව අවසන් වුනා.

එංගලන්තය සහ ඉරානය

දෝහා නුවර Khalifa International ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ පළමු ගෝලය වාර්තා කළේ එංගලන්ත ක්‍රීඩක Jude Bellingham විසිනුයි. ඒ 35 වැනි මිනිත්තුවේ දී Luke Shaw ලබා දුන් පන්දුවක් පහසුවෙන්ම ගෝලයට එල්ල කරමිනුයි.

පසුව සිය කණ්ඩායම වෙනුවෙන් ක්‍රියාත්මක වූ එංගලන්ත ක්‍රීඩක Bukayo Saka තරගයේ දෙවැනි ගෝලය වාර්තා කළේ තරගයේ 43 වැනි මිනිත්තුවේ දීයි.

එම ගෝලයේ උණුසුම මැකී යාමටත් පෙර Harry Kane පළමු අර්ධයේ අමතර කාලයේ දී ලබා දුන් පන්දුවක් ගෝලයේ දකුණු කෙළවරින් දැල වෙත යොමු කරමින් තරගයේ ආධිපත්‍ය සිය කණ්ඩායමට ගෙන ඒමට එංගලන්ත ක්‍රීඩක Raheem Sterlingට හැකි වුනා.

සාර්ථක පළමු අර්ධයකින් පසුව දෙවැනි අර්ධයේ 62 වැනි මිනිත්තුවේ දී නැවතත් ක්‍රියාත්මක වූ Bukayo Saka සිය දෙවැනි ගෝලය රැස් කරමින් කණ්ඩායමේ ගෝල පරතරය වැඩි කළා.

ගෝල හතරකට පසුව සිය කණ්ඩායමට යම් අස්වැසිල්ලක් ගෙන දෙමින් තරගයේ ඉරාන කණ්ඩායමේ පළමු ගෝලය 64 වැනි මිනිත්තුවේ දී වාර්තා කිරීමට Mehdi Taremiට හැකි වුනා.

ක්‍රීඩක ආදේශනයක් ලෙසින් පිටියට පැමිණ මිනිත්තුවක් ගත වීමටත් පෙර හිමි වූ පන්දුවක් තනිව ගෝලය වෙත ගෙන ගොස් එල්ල කිරීමෙන් එංගලන්තයට පස්වැනි ගෝලය වාර්තා කිරීමට Marcus Rashfordට හැකි වුනා.

තරගය අවසන් වීමට මිනිත්තු කිහිපයක් තිබිය දී Callum Wilson ලබා දුන් පන්දුවක් ගෝලයට එල්ල කරමින් හයවැනි ගෝලය වාර්තා කිරීමට Jack Grealishට හැකි වුනා.

එංගලන්තය හමුවේ ලද දැවැන්ත ප්‍රහාරයට පසුව තරගයේ අවසන් අතිරේක කාලය අවසන් වීමට මත්තෙන් හිමි වූ දඬුවම් පහරක් සාර්ථකව ගෝලයට එල්ල කරමින් සිය කණ්ඩායමට තරමක සහනයක් ගෙන ඒමට Mehdi Taremiට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: එංගලන්තය 06 – 02 ඉරානය

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්,

  • එංගලන්තය: Jude Bellingham 35’, Bukayo Saka 43’ & 62’, Raheem Sterling 46+1’Marcus Rashford 71’, Jack Grealish 90’
  • ඉරානය: , Mehdi Taremi 64’ & 90+13’ (P)

සෙනගාලය සහ නෙදර්ලන්තය

Al Thumama ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයෙන් තියුණු සටනකින් පසු ජයග්‍රහණය ලැබුවේ නෙදර්ලන්තයයි.

තරගය ආරම්භයේ සිටම දෙපිලෙන් ඉතා සමබර ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ අතර දෙපිලටම ගෝල ලබා ගැනීමට අවස්ථා නිර්මාණය කර ගැනීමට පළමු අර්ධයේ මුල් භාගයේ දී හැකි වුනේ නැහැ.

එම අර්ධය අවසන් වන තුරුම දෙපිලෙහිම ආරක්ෂක ක්‍රීඩකයින් දැක්වූ ඉහළ දස්කම් නිසා පළමු අර්ධය අවසන් වුනේ ගෝල රහිතවයි.

දෙවැනි අර්ධයේ අවසන් මිනිත්තු කිහිපය තෙක්ම දෙපිලමට ගෝල ලබා ගැනීමට නොහැකි වූවත් සෙනගාල් ප්‍රේක්ෂකයින්ගේ හදවත මොහොතකට නතර කරමින් ගෝලයක් වාර්තා කිරීමට Cody Gakpoට හැකි වුනා.

84 වැනි මිනිත්තුවේ දී Frenkie de Jong ලබා දුන් පන්දුවක් හිසින් ගෝලයේ වම් කෙළවරට එල්ල කරමින් ඔහු එම ගෝලය වාර්තා කළා.

තරගය අවසන් වීමට මිනිත්තුවක් ඉතිරිව තිබිය දී ක්‍රියාත්මක වූ නෙදර්ලන්ත ක්‍රීඩක Davy Klaassen පන්දුව ගෝලය තුළට එල්ල කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා.

අවසන් ලකුණු තත්වය: නෙදර්ලන්තය 02 – 00 සෙනගාලය

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්,

  • නෙදර්ලන්තය: Cody Gakpo 84’, Davy Klaassen 90+9’

ඇමරිකා එක්සත් ජනපදය සහ වේල්සය

Ahmad bin Ali ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය අවසන් වුනේ ගෝල 1-1ක් ලෙස දෙපිලම සම තත්වයේ තබමිනුයි.

ආරම්භයේ සිට තරමක උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගයේ පළමු ගෝලය වාර්තා කළේ ඇමරිකා ක්‍රීඩක Timothy Weah විසිනුයි. තරගයේ 36 වැනි මිනිත්තුවේ දී Christian Pulisic ලබා දුන් පන්දුවක් දඬුවම් රාමුව තුළ සිට ලබා ගනිමින් ගෝලයට තුළට එල්ල කර ඔහු එම ගෝලය ලබා ගත්තා.

එම අර්ධය තුළ කිසිඳු ගෝලයක් ලබා ගැනීමට වේල්ස් ක්‍රීඩකයින්ට ඉඩ ලැබුණේ නැහැ.

දෙවැනි අර්ධයේ ද අවසන් භාගය වන තුරුම තරගය සිය ආධිපත්‍ය යටතේ තබා ගැනීමට ඇමරිකා ක්‍රීඩකයින්ට හැකි වූවත් 81 වැනි මිනිත්තුවේ දී Walker Zimmerman සිදු කළ වරදක් නිසා වේල්සයට දඬුවම් පහරක් හිමි වුනා.

එම තීරණාත්මක දඬුවම් පහර එල්ල කිරීමේ අභියෝගය භාර ගත් අත්දැකීම් බහුල ක්‍රීඩක Gareth Bale පන්දුව ගෝලයේ දකුණු කෙළවරේ උඩ කොටසට එල්ල කරමින් සිය කණ්ඩායම පරාජයෙන් ගලවා ගත්තා.

අවසන් ලකුණු තත්වය: වේල්සය 01 – 01 ඇමරිකා එක්සත් ජනපදය

ගෝල වාර්තා කළ ක්‍රීඩකයින්,

  • ඇමරිකා එක්සත් ජනපදය: Timothy Weah 36’
  • වේල්සය: Gareth Bale 81’ (P)

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ උණුසුම විඳ ගන්න රැඳී සිටින්න ThePapare.com අප සමග.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<