සත්කාරකයින්ට පරාජය ගෙන දෙමින් ලෝක කුසලානය ඇරඹෙයි

පාපන්දු ලෝක කුසලානය 2022

276

ලෝක ක්‍රීඩා පිටියෙහි විශාලතම ක්‍රීඩා සැණකෙළියක් වන පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අද (20) කටාර් දේශයේ දී නිල වශයෙන් ආරම්භ වුනා.

මේ දක්වා වැඩිම වියදමක් දැරූ පාපන්දු ලෝක කුසලානය වන මෙම ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වුනේ දෙස් විදෙස් ප්‍රේක්ෂකයින් විමතියට පත් කළ දැවැන්ත සමාරම්භක උත්සවයකින් පසුවයි.

එම සමාරම්භක උළෙලෙන් පසුව තරගාවලියේ පළමු තරගය ලෙස පැවති තරගයෙන් සත්කාරක කටාර් කණ්ඩායම පරදවා ජයග්‍රහණයකින් තරගාවලිය ආරම්භ කිරීමට ඉක්වදෝරයට හැකි වුනා.

Al Bayt ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ තෙවැනි මිනිත්තුවේ දීම ගෝලයක් වාර්තා කිරීමට ඉක්වදෝර ක්‍රීඩක Enner Valencia සමත් වූවත් එය VAR තාක්ෂණය ඔස්සේ නැවත නැරඹීමෙන් අනතුරුව ක්‍රීඩක අනිසි ස්ථාන ගත වීමක් ලෙස තහවුරු වීම නිසා ගෝලය විනිසුරුවරයා අවලංගු කළා.

නමුත් තරගයේ 15 වැනි මිනිත්තුවේ දී කටාර් ක්‍රීඩක Saad Al Sheeb දඬුවම් සීමාව තුළ සිදු කළ වරදක් නිසා ඉක්වදෝර ක්‍රීඩකයින්ට දඬුවම් පහරක් හිමි වුනා.

එම දඬුවම් පහර එල්ල කිරීමේ වගකීම ලබා ගත් ඉක්වදෝර ක්‍රීඩක Enner Valencia ගෝලයේ දකුණු කෙළවරින් පන්දුව දැල වෙත එල්ල කරමින් ගෝල කුසලානයේ පළමු ගෝලය වාර්තා කළා.

එයින් කෙටි වේලාවකට පසුව නැවතත් ක්‍රියාත්මක වූ Enner Valencia තවත් ගෝලයක් සිය කණ්ඩායම වෙනුවෙන් වාර්තා කළේ තරගයේ 31 වැනි මිනිත්තුවේ දී යි.

පළමු අර්ධ තුළ කිසිදු ගෝලයක් ලබා ගැනීමට සත්කාරක කටාර් කණ්ඩායමට හැකි වුනේ නැහැ.

පළමු අර්ධයේ ලද ආධිපත්‍ය දෙවැනි අර්ධයේ ද ප්‍රදර්ශනය කිරීමට ඉක්වදෝර ක්‍රීඩකයින්ට හැකි වූවත් ගෝල ලබා ගැනීමට තිබූ ආසන්නතම අවස්ථා කිහිපයක් සාර්ථක කර ගැනීමට ඔවුන්ට හැකි වුනේ නැහැ.

එම අර්ධය තුළ ද තරගයට පිවිසීමට කටාර් ක්‍රීඩකයින්ට නොහැකි වීම නිසා තරගය අවසන් වුනේ ගෝල 2-0ක්  ලෙස ඉක්වදෝරයට තරගාවලියේ මුල්ම ජයග්‍රහණය ලබා දෙමිනුයි.

අවසන් ලකුණු තත්වය: කටාර් 00 – 01 ඉක්වදෝරය

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්,

ඉක්වදෝරය: Enner Valencia 16’  (P) & 31’

2022 පාපන්දු ලෝක කුසලානයේ උණුසුම විඳ ගන්න රැඳී සිටින්න ThePapare.com අප සමඟ.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<