ක්‍රීඩාලෝලීන්ට නවාතැන් දෙන්න විදෙස් ශ්‍රමිකයින් නිවෙස්වලින් දොට්ට

673

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා පැමිණෙන සංචාරක පාපන්දු ක්‍රීඩාලෝලීන්ට නවාතැන් සැපයීම පිණිස දෝහා අගනුවර මධ්‍යයේ තිබෙන නිවාස සංකීර්ණ කටාර් රජය විසින් හිස් කර තිබෙන්නේ එහි ජීවත් වූ දහස් සංඛ්‍යාත විදෙස් ශ්‍රමිකයින් දොට්ට දමමින්.

දුසිමකට වැඩි ගොඩනැගිලි හිස් කර ඒවා වසා දමා ඇත්තේ විශේෂයෙන් ආසියානු සහ අප්‍රිකානු සම්භවයකින් යුත් කම්කරුවන්ට ඔවුන් මෙතෙක් කල් දිවි ගෙවූ නිවාසවලට පිටතින් තිබෙන පදික වේදිකාවේ නිදා ගැනීම ඇතුළු වෙනත් සෙවණක විකල්පයක් සොයා ගැනීමට බල කරමින් බව සිය නිවෙස්වලින් නෙරපනු ලැබූ ශ්‍රමිකයින් ‘රොයිටර්’ පුවත් සේවයට පවසා තිබෙනවා.

ලෝක පාපන්දු තරගාවලිය ආරම්භ වීමට දින ගණනාවක් පමණක් ඉතිරිව තිබිය දී මේ සිදුවීම වාර්තා වන්නේ විදෙස් ශ්‍රමිකයන්ට සලකන ආකාරය සහ සීමිත සමාජයීය නීති සම්බන්ධයෙන් කටාර් දේශය තියුණු ජාත්‍යන්තර පිරික්සීමකට ලක්ව තිබෙන මොහොතක.

දෝහා අගනුවර Al Mansoura දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 1,200ක් වෙසෙන එක් ගොඩනැගිල්ලක ජනතාවට පැය දෙකකින් ඉවත් වන ලෙස ට බලධාරීන් පවසා ඇත්තේ රාත්‍රි 8.00ට පමණ බව එම නිවැසියන් කියා සිටිනවා.

එදින රාත්‍රි 10.30ට පමණ නැවත පැමිණි නගර සභා නිලධාරීන් විසින් සියලු දෙනාට ම නිවෙස්වලින් පිටවන ලෙසට බල කර ගොඩනැගිල්ලට ඇතුළු වන දොරවලට අගුළු දැමූ බව ඔවුන් ප්‍රකාශ කරනවා. සමහරුන් ට තමන්ගේ බඩු බාහිරාදිය එකතු කර ගැනීම පිණිස නැවත පැමිණීමට පවා වෙලාවක් තිබී නැහැ.

“අපට යන්න තැනක් නැහැ” යනුවෙන් එක් පුද්ගලයෙක් ඊළඟ දිනයේ දී ‘රොයිටර්’ වෙත පැවසුවේ තවත් පුද්ගලයින් දස දෙනෙකු සමඟ දෙවැනි රාත්‍රියත් පදික වේදිකාවේ ගත කිරීමට සූදානම් වෙමින්. මෙයින් සමහරු සිටියේ සරත් සෘතුවේ පවතින ග්‍රීෂ්මය සහ ආර්ද්‍රතාව මධ්‍යයේ ෂර්ට් කමිස නොමැතිව උඩුකය නිරාවරණය කරගෙන.

බලධාරීන් හෝ හාම්පුතුන්ගේ පළිගැනීමකට ලක්වනු ඇතැයි යන බියෙන් මේ පුද්ගලයින් ඔවුන්ගේ නම් හෝ පෞද්ගලික විස්තර ‘රොයිටර්’ පුවත් සේවයට ලබා දීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අසල, පුද්ගලයින් පස් දෙනෙක් මෙට්ටයක් සහ කුඩා ශීතකරණයක් ‘පික්අප්’ ට්‍රක් රථයකට පටවමින් සිටියා. දෝහාවලට කිලෝමීටර් 40ක් (සැතපුම් 25) උතුරු දෙසින් වන Sumaysimah හි කාමරයක් සොයා ගත් බව ඔවුන් පැවසුවා.

නිවැසියන් මෙසේ පිටමං කිරීම ලෝක කුසලාන තරගාවලියට සම්බන්ධ ක්‍රියාවලියක් නොවන බවත්, එය සකස් කළේ දෝහා අගනුවර ප්‍රදේශ ප්‍රතිසංවිධානය කිරීම පිණිස දැන් ක්‍රියාත්මක වන පරිපූර්ණ සහ දිගු කාලීන සැලසුම්වලට අනුකූලව බවත් කටාර් රාජ්‍ය නිලධාරියෙක් පවසනවා.

සියලු දෙනට ම ආරක්ෂිත සහ යෝග්‍ය නවාතැන් ලබා දෙමින් නැවත පදිංචි කර තිබෙනවා,” යැයි එම නිලධාරියා ප්‍රකාශ කළේ නිවෙස්වලින් පිටවන ලෙස ට ඉල්ලා සිටියේ නියමාකාර දැනුම් දීමක් කරමින් බව ට වැඩි දුරටත් සඳහන් කරමින්.

කටාර් දේශයේ මිලියන තුනක ජනගහණයෙන් සියයට 85ක් පමණ සමන්විත වන්නේ විදෙස් ශ්‍රමිකයන්ගෙන්. නිවෙස්වලින් දොට්ට දමන ලද පුද්ගලයින්ගෙන් බොහෝ දෙනෙක් රැකියාව කරන්නේ රියදුරන්, දවසේ කම්කරුවන් හෝ කොම්පැණිවල කොන්ත්‍රාත් සේවකයින් ලෙස. දස දහස් ගණන් පුද්ගලයන් ජීවත් වන කඳවුරුවල සිටින ප්‍රධාන ඉදිකිරීම් ආයතනවල සේවකයින් හැරුණු විට අනෙක් ශ්‍රමිකයන් සිය නවාතැන් ඔවුන් විසින් ම සපයා ගත යුතුව තිබෙනවා.

නිවෙස්වලින් නෙරපීම තනි පුද්ගලයින් ඉලක්ක කර සිදු වූ බවත්, පවුල් පිටින් සිටින විදෙස් ශ්‍රමිකයින්ට මෙයින් බලපෑමක් ඇති නොවූ බවත් එක්‌ සේවකයෙක් ප්‍රකාශ කළා.

ජනතාව පිටමං කෙරුණු දුසිමකට වැඩි ගොඩනැගිලි ‘රොයිටර්’ වාර්තාකරු දැක තිබෙන අතර සමහර ගොඩනැගිලිවල විදුලිය ක්‍රියා විරහිත කර තිබුණා.

මේ ගොඩනැගිලි බොහොමයක් තිබුණේ රජය විසින් ලෝක කුසලාන ක්‍රීඩාලෝලීන්ගේ නවාතැන් සඳහා කුලියට ලබා දී තිබූ ගොඩනැගිලි පිහිටි පලාත්වල. තරගාවලි‌යේ සංවිධායකයින්ගේ වෙබ් අඩවියේ ලැයිස්තුගත කර තිබෙන Al Mansoura සහ අනෙක් දිස්ත්‍රික්කයන්හි ගොඩනැගිලිවල තට්ටු නිවාස මිල ගණන් එක් රාත්‍රියකට ඩොලර් 240 සිට ඩොලර් 426 දක්වා වන බවට දැන්වීම් පළ කර තිබෙනවා.

‘පවුල් නේවාසික පලාත්වල ශ්‍රමිකයින්ගේ කඳවුරු’ තහනම් කෙරෙන 2010 කටාර් නීතිය නාගරික බලධාරීන් විසින් ක්‍රියාත්මක කරමින් සිටින බව කටාර් නිලධාරියා පවසනවා. මධ්‍යම දෝහා නුවර වැඩි පෙදෙසක් වට කෙරෙන මේ නියමයට අනුව ජනතාව ඉවත් කිරීමේ බලය බලධාරීන්ට ලැබෙන බවත් එම නිලධාරියා පෙන්වා දෙනවා.

සිය රැකියාවන්ට යාමට බොහෝ දුරක් ඇති දෝහා හි නිරිතදිගට යාබද පෙදෙසේ හෝ ඊට දුරින් පිහිටි කාර්මික කලාපය අවට පිහිටා ඇති ශ්‍රමිකයින් සඳහා වන නවාතැන්වල තැනක් සොයා ගැනීම ට අපේක්ෂා කරන බව නිවෙස්වලින් නෙරපනු ලැබූ සමහර කම්කරුවන් ප්‍රකාශ කරනවා.

කටාරයේ විචිත්‍රවත් සහ ධනවත් මුහුණුවර පවත්වා ගෙන යාමට උපකාරී වන ලාබ ශ්‍රමය ප්‍රසිද්ධියේ පිලිනොගෙන ඒ මුහුණත ප්‍රදර්ශනය කිරීමට මේ නෙරපීමෙන් ඉඩ සැලසෙන බව මැද පෙරදිග විදෙස් ශ්‍රමිකයන් වෙනුවෙන් පෙනී සිටින Migrant-Rights.org ව්‍යාපෘති අධ්‍යක්ෂ Vani Saraswathi පවසනවා.

මෙය හිතාමතා ම පුද්ගලයන් මුඩුක්කුවකට වෙන් කිරීමේ ක්‍රියාවලියක්. ඊටත්, කිසිම දැනුම් දීමකින් තොරව නිවෙස්වලින් දොට්ට දැමීම තේරුම් ගැනීමට නොහැකි අනුකම්පා විරහිත ක්‍රියාවක්,” තමන් අනුක්‍රමික නෙරපීම් අත්විඳි බව සමහර ශ්‍රමිකයින් කියා සිටිනවා.

එක් පුද්ගලයෙක් පැවසුවේ Al Mansoura වල ගොඩනැගිල්ල මාරු කරන ලෙස තමාට සැප්තැම්බර් අග දී බල කර දින 11කින් පසුව තවත් පුද්ගලයින් 400 දෙනෙකු සමඟ තමාව පෙර දැනුම් දීමකින් තොරව නැවත වතාවක් මාරු කළ බව යි. “එක මිනිත්තුවක් ඇතුළත අපට වෙනත් තැනක ට යන්න සිද්ධ වුනා.”

පුද්ගලයින් 38 දෙනෙකු සමඟ තමා බෙදා ගත් නිවාසයෙන් පැය 48ක් ඇතුළත පිටවිය යුතු බවට නාගරික බලධාරීන් විසින් පවසන විට තමා ඒ පලාතේ අවුරුදු 14ක් ජීවත්ව සිටි බව බංග්ලාදේශයෙන් පැමිණ සිටින රියදුරෙකු වන මොහමඩ් කියනවා.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සත්කාරකත්වය දැක්වීම පිණිස කටාර් දේශයට මූලික පදනම ඉදි කළ කම්කරුවන් තරගාවලිය ළං වෙද්දී පසෙකට තල්ලු කර දමන බව ඔහු පවසනවා.

ක්‍රීඩාංගණ හැදුවේ කවුද? පාරවල් හැදුවේ කවුද? සියල්ල හැදුවේ කවුද? බෙන්ගාලුවන්, පාකිස්තානුවන්. අපි වැනි මිනිසුන්. දැන් ඔවුන් අපව එළියට දානවා.”

නොවැම්බර් 20 වැනි දින ඇරඹෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මානව හිමිකම් උල්ලංඝනය වීමේ සිද්ධීන් කිහිපයක මාතෘකාව බවට මේ වන විට පත්ව තිබෙනවා.

ශ්‍රමිකයින්ට අඩු වැටුප් ගෙවීම, අධික උෂ්ණත්වය යටතේ භයානක වෙහෙසකර ශ්‍රමය, සංක්‍රමික කම්කරුවන් මිය යාම මෙන් ම එරට තිබෙන LGBTQ විරෝධී නීති නිසා ද කටාර් දේශය විවේචනයට ලක්ව සිටිනවා.

කෙසේ වෙතත්, කටාර් හි ශ්‍රමිකයින් එක හඬින් කියා සිටින්නේ මේ තරගාවලිය සිදු විය යුතු බව යැයි එංගලන්ත පාපන්දු කණ්ඩායමේ කළමනාකරු Gareth Southgate ප්‍රකාශ කරනවා.

මම කිහිප වතාවක්ම කටාර් ගිහිං තියෙනවා. එහි දී කම්කරුවන් බොහෝ දෙනෙක් හමුවී තිබෙනවා. ඔවුන් එක දෙයක් ගැන එකමුතුයි. ඒ, මේ තරගාවලිය සිදු වනු දැකීමේ උවමනාව බවයි. ඔවුන් පාපන්දු ක්‍රීඩාවට ආදරය කිරීම ඊට හේතුවයි. පාපන්දුව කටාර් රටට පැමිණෙනු දකින්න ඔවුන් කැමතියි,” සවුත්ගේට් CNN පුවත් සේවයට කියා තිබෙනවා.

කටාර් රාජ්‍යයේ මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් සාමූහික ආකල්පයක් දැරීම සඳහා තමා ඩෙන්මාර්ක් පාපන්දු නායක Christian Eriksen සහ ප්‍රංශ පාපන්දු නායක Hugo Lloris සමඟ සාකච්ඡා කළ බව එංගලන්ත පාපන්දු කණ්ඩායමේ නායක Harry Kane ජුනි මාසයේ දී අනාවරණය කළා.

මේ අතර කටාර් දේශයේ මානව හිමිකම් වාර්තාවට එරෙහිව සාමූහික නිවේදනයක් නිකුත් කරමින් ඕස්ට්‍රේලියාව එවැන්නක් සිදු කළ පළමු 2022 ලෝක කුසලාන කණ්ඩායම බවට පත්ව සිටිනවා.

ඔවුන්ගේ වීඩියෝ පණිවිඩය මගින් ලෝක කුසලාන සත්කාරක රට සංක්‍රමික ශ්‍රමිකයින්ට සහ LGBTQ+ ප්‍රජාවට සලකන විදිය විවේචනය කර තිබෙනවා.

ඕස්ට්‍රේලියා පාපන්දු සම්මේලනය ද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙන්නේ මේ තරගාවලිය නිසා ශ්‍රමිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට අත්විඳීමට සිදු වූ වේදනාව නොසලකා හරින්න නොහැකි බවයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<