ඉරුදින ඇරඹෙන 2022 පාපන්දු ලෝක කුසලානය!

556

මෙවර පාපන්දු ලෝක කුසලානය අදින් (20) ඇරඹෙන අතර, එය අද පටන් දින 29ක් පුරාවට කටාර් හී ක්‍රීඩාංගණ අටක දී පැවැත්වෙනු ඇත.

2022 පාපන්දු ලෝක කුසලානය අද (20) කටාර් සහ ඉක්වදෝර් කණ්ඩායම් අතර තරගයත් සමඟින් ආරම්භ වීමට නියමිත අතර, තරගය ආරම්භ වීමට පෙර මෙවර පාපන්දු ලෝක කුසලානයේ සමාරම්භක උළෙල උත්සවශ්‍රීයෙන් ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

මෙවර ලෝක කුසලානයේ සමාරම්භක උත්සවය පිළිබඳ සියලු විස්තර පහතින් දැක්වෙනවා.

සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ කවදා ද, කොහේ ද?

අද (20) කටාර් සහ ඉක්වදෝර් කණ්ඩායම් අතර තරගය ආරම්භ වීමට ප්‍රථම මෙම උත්සවය පැවැත්වීමට නියමිත අතර, එය ශ්‍රී ලංකා වෙලාවෙන් රාත්‍රි 7.30ට (1400 GMT) පමණ ආරම්භ වීමට නියමිත බව වාර්තා වනවා.

මීට පෙර සමාරම්භක උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබුණේ නොවැම්බර් 21 වැනිදා කටාර් කණ්ඩායම සහභාගී වන ප්‍රථම තරගයට පෙර වන අතර, නමුත් ඊට පෙර තවත් තරග දෙකක් පැවැත්වීමට නියමිතව තිබූ බැවින් මෙම කාලසටහන නැවතත් වෙනස් කිරීමට සංවිධායකයින්ට සිදු වුනා.

සමාරම්භ උත්සවය දෝහා හි සිට කිලෝමීටර් 40ක් උතුරින් පිහිටි Al Bayt ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර, එහි 60,000 පමණ ප්‍රේක්ෂක පිරිසකට ඉඩ පවතින බව එරටින් ආරංචි වනවා.

මෙම ක්‍රීඩාංගණය ගල්ෆ් හී සංචාරකයින් විසින් භාවිතා කරනු ලබන කූඩාරම් ආකෘතියක් අනුව නිර්මාණය කර ඇති අතර, එය දෝහා වලින් තරමක් දුරින් පිහිටිය ද, ලෝක කුසලානය වෙනුවෙන් සූදානම් කර ඇති ක්‍රීඩාංගණ අතරින් විශාලතම එකක් ලෙස සැලකෙනවා.

සමාරම්භක උත්සවය වර්ණවත් කරන්න එන සුපිරි තරු කවුද?

FIFA විසින් තවමත් සමාරම්භක උළෙලට සහභාගී වන සුපිරි තරු කවුරුන් ද යන වග නිල වශයෙන් ප්‍රකාශ කර නැතත්, ලෝක ප්‍රසිද්ධ දකුණු කොරියානු සංගීත කණ්ඩායමක් වන BTS හි සාමාජිකයකු වන Jung kook එයට සහභාගී වන වාර්තා වනවා.

මීට අමතරව ඇමරිකානු සංගීත කණ්ඩායමක් වන Black Eyed Peas, කොළොම්බියානු ගායකයකු වන J Balvin, නයිජීරියානු ගායකයකු වන Patrick Nnaemeka Okorie, ඇමරිකානු රැප් ගායකයකු වන Lil Baby සහ ඉන්දීය රංගන සහ නර්තන ශිල්පිනියක් වන Nora Fatehi යන අය ද අද මෙම සමාරම්භක උළෙලට සහභාගී වනු ඇති බව විදෙස් මාධ්‍ය මගින් නිල නොලත් අයුරින් වාර්තා කරනවා.

අදින් ඇරඹෙන 2022 පාපන්දු ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

The Independent ඇසුරිනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<