වේල්සයට අනපේක්‍ෂිත පරාජයක්; සෙනෙගාලයට පහසු ජයක්

FIFA World Cup 2022

414

කටාර් රාජ්‍යයේ මේ වන විට පැවැත්වෙමින් තිබෙන 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය යටතේ අද (25) පැවති තරග වලින් ජයග්‍රහණ හිමිකර ගන්නට ඉරාන සහ සෙනෙගාල කණ්ඩායම් සමත් වුනා.

ප්‍රබල නෙදර්ලන්තය සහ ඉක්වදෝරය අතර පැවති තරගය අවසන් වුණේ ජය-පරාජයෙන් තොරවයි.

වේල්සය සහ ඉරානය

දිනයේ පැවති ප්‍රථම තරගයේ දී ප්‍රබල ක්‍රීඩක Gareth Bale ප්‍රමුඛ වේල්ස් කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජයට පත්කරමින් තියුණු ජයග්‍රහණයක් වාර්තා කරගැනීමට සමත් වූයේ ඉරාන කණ්ඩායමයි.

තරගයට ආක්‍රමණශීලී ආරම්භයක් ලබා ගත් ඉරාන කණ්ඩායමේ මැදපෙළ ක්‍රීඩක Ali Gholizadeh විසින් 16 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කළ සේයාවක් දිස්වුනත්, VAR තාක්ෂණය හරහා එම ගෝලය වාර්තා කර ගැනීමේ දී offside නීතිය උල්ලංඝණය වූ බව ස්ථාපිත වීමත් සමඟ එම ගෝලය ඔවුන්ට පිරිනැමුණේ නැහැ.

අනතුරුව පළමු අර්ධය පුරාවට කණ්ඩායම් දෙකට ම ගෝල වාර්තා කරගැනීමට පැහැදිලි අවස්ථාවන් හිමිනොවීමත් සමඟ ගෝල විරහිතව එම අර්ධය අවසන් වුනා.

දෙවැනි අර්ධයට ද සාර්ථක ආරම්භයක් ලබා ගත් ඉරාන කණ්ඩායමේ Gholizadeh හට එහි දී ගෝලයක් ලබා ගැනීමට පහසු අවස්ථාවක් හිමි වුවත්, ඔහු එල්ල කළ පහර ගෝල රාමුවේ වැදී ඉවතට ඇදී යන්නට වුනා. අනතුරුව එහි දී පන්දුව ලබා ගත් Sardar Azmoun එල්ල කළ පහර ද ගෝල රාමුවෙන් ඉවතට ඇදී යන්නට වුනා.

පසුව කණ්ඩායම් දෙකට ම ගෝල වාර්තා කරගැනීමට අවස්ථාවන් කිහිපයක් හිමි වූ නමුත් ඒවා සාර්ථක කරගන්නට දෙපිළේ ම ක්‍රීඩකයින් අසමත් වූ අතර 86 වැනි මිනිත්තුවේ දී වේල්ස් ක්‍රීඩක Wayne Hennessey විසින් ප්‍රතිවාදී ක්‍රීඩක Mehdi Taremi හමුවේ සිදු කළ foul කිරීමක් හේතුවෙන් Hennessey හට දෙවැනි කහ කාඩ්පත සමඟ රතු කාඩ්පතක් නිකුත් වී ඔහුව ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමත් සමඟ තරගයේ වාසිය ඉරානය දෙසට දෝලනය වන්නට වුනා.

ඒ අනුව ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් ඉරාන කණ්ඩායමේ Rouzbeh Cheshmi සහ Ramin Rezaeian විසින් නියමිත විනාඩි 90 අවසානයේ එක්කරන ලද කාලයේ දී ගෝලය බැගින් වාර්තා කර ගනිමින් ඉරානයට තරගයේ ජයග්‍රහණය හිමිකර දෙන්නට සමත් වුනා.

මෙම ජයග්‍රහණයත් සමඟ ඉරානය B කාණ්ඩයේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට එද්දී, වේල්සය එහි සිව්වැනි ස්ථානය දක්වා පසුබසින්නට වුනා.

අවසන් ලකුණු තත්වය: වේල්සය 0 – 2 ඉරානය

ගෝල රැස්කළ ක්‍රීඩකයින්:

  • ඉරානය – Rouzbeh Cheshmi 90+8’, Ramin Rezaeian 90+11’

සෙනෙගාලය සහ කටාර් රාජ්‍යය

මෙම කණ්ඩායම් දෙක අතර පැවති තරගයෙන් ගෝල 3-1ක පහසු ජයක් හිමිකර ගැනීමට සමත් වූයේ සෙනෙගාල කණ්ඩායමයි.

පළමු අර්ධයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකට ම ගෝල වාර්තා කරගන්නට අවස්ථාවන් කිහිපයක් හිමිවුවත්, එහි දී පන්දුව සාර්ථකව ගෝල රාමුව තුළට යොමුකරන්නට කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් සමත් වූයේ නැහැ.

පසුව පළමු අර්ධය අවසන් වන්නට පෙර ක්‍රියාත්මක වූ සෙනෙගාල ක්‍රීඩක Boulaye Dia විසින් ප්‍රතිවාදී පසුපෙළ ක්‍රීඩක Boualem Khouki විසින් සිදු වූ අත්වැරදීමක් හරහා පන්දුව ලබා ගනිමින් ඉතාමත් පහසුවෙන් එය ගෝල රාමුව තුළට යොමුකරමින් තරගයේ පළමු ගෝලයට හිමිකම් කියනු ලැබීය.

අනතුරුව දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු 3ක් පමණක් ගතවෙද්දී සෙනෙගාලයට ලැබුණු කෝනර් අවස්ථාවක් ලබා ගත් Ismail Jacobs යොමුකළ පන්දුවකට Famara Diedhiou හිසින් පහරක් එල්ල කරමින් එය සාර්ථකව ගෝල රාමුව තුළට යොමුකළේ සිය කණ්ඩායමට තරගයේ දෙවන ගෝලය හිමිකර දෙමින්.

78 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ කටාර් රාජ්‍ය කණ්ඩායමේ ක්‍රීඩක Mohammed Muntari විසින් ගෝලයක් වාර්තා කරගනිමින් සිය කණ්ඩායම තරගයට අවතීර්ණ කරන්නට සමත් වුනා. මෙම ගෝලය ඉතිහාසයට එක්වන්නට වූයේ කටාර් රාජ්‍යය පාපන්දු ලෝක කුසලාන තරගාවලියක දී වාර්තා කර ගත් පළමු ගෝලය ලෙසයි.

කෙසේ නමුත් තරගය අවසන් වන්නට මත්තෙන් ක්‍රියාත්මක වූ සෙනෙගාල ක්‍රීඩක Bamba Dieng ගෝලයකට හිමිකම් කියන්නට සමත් වූයේ සිය කණ්ඩායමට මෙම තරගයෙන් ගෝල 3-1ක පහසු ජයක් හිමිකර දෙමින්.

ඒ අනුව සෙනෙගාලය සහ කටාර් රාජ්‍යය මේ වන විට A කාණ්ඩයේ පිළිවෙළින් තුන්වැනි සහ සිව්වැනි ස්ථානවල පසුවනවා.

අවසන් ලකුණු තත්වය: සෙනෙගාලය 3 – 1 කටාර් රාජ්‍යය

ගෝල රැස්කළ ක්‍රීඩකයින්:

  • සෙනෙගාලය – Boulaye Dia 41’, Famara Diedhiou 48’, Bamba Dieng 84’
  • කටාර් රාජ්‍යය – Mohammed Muntari 78’

නෙදර්ලන්තය සහ ඉක්වදෝරය

ඉක්වදෝරයට එරෙහිව පැවති තරගය ගෝල 1-1ක් ලෙස අවසන් වීමත් සමඟ ප්‍රබල නෙදර්ලන්ත කණ්ඩායමට මෙම තරගයෙන් එක් ප්‍රසාද ලකුණකින් පමණක් සෑහීමකට පත්වෙන්නට සිදු වුනා.

නෙදර්ලන්තය තරගයට ඉතා සාර්ථක ආරම්භයක් ලබා ගත්තේ 6 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරගනිමින් තරගයේ ඉදිරියට පැමිණෙමින්. Davy Klaasen ලබා දුන් පන්දුවක් ඉතා විශිෂ්ට ලෙස ගෝල රාමුව තුළට යොමුකරමින් එම ගෝලය වාර්තා කරගත්තේ Cody Gakpo විසින්.

අනතුරුව ඉක්වදෝර ක්‍රීඩකයින් ඉතා ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් දියත් කරන්නට වූ අතර පළමු අර්ධය අවසන් වන්නට ඉතා සුළු වේලාවක් ඉතිරිව තිබිය දී ඔවුන් ගෝල රාමුව තුළට පන්දුව යොමුකරන්නට සමත් වුනත්, එහි දී ඔවුන්ගේ ක්‍රීඩක Jackson Porozo නීතිය උල්ලංඝණය කළ බව විනිසුරුවරයා විසින් සංඥා කිරීමත් සමඟ එම ගෝලය ඔවුන්ට පිරිනැමුණේ නැහැ.

කෙසේ නමුත් දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු 4ක් පමණක් ගතවෙද්දී ගෝලයක් රැස්කර ගැනීමට ඉක්වදෝර කණ්ඩායම දැරූ වෑයම Enner Valencia විසින් පන්දුව පහසුවෙන් ගෝල රාමුව තුළට යොමුකිරීමත් සමඟ සාර්ථක වුනා.

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය පුරාවට කණ්ඩායම් දෙකට ම ගෝල වාර්තා කරගන්නට හිමි වුන අවස්ථාවන් ගිලිහී යාමත් සමඟ මෙම තරගය අවසන් වුනේ ගෝල 1-1ක් ලෙස ජය-පරාජයකින් තොරවයි.

අවසන් ලකුණු තත්වය: නෙදර්ලන්තය 1 – 1 ඉක්වදෝරය

ගෝල රැස්කළ ක්‍රීඩකයින්:

  • නෙදර්ලන්තය – Cody Gakpo 6’
  • ඉක්වදෝරය – Enner Valencia 49’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<