Ronaldoගෙන් ඉතිහාසගත ගෝලයක්: පෘතුගාලයට තියුණු ජයක්

පාපන්දු ලෝක කුසලානය 2022

6271

කටාර් හී පැවැත්වෙන 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අද (24) පැවති තරගවලින් ජයග්‍රහණ හිමිකර ගැනීමට පෘතුගාලය, ස්විස්ටර්ලන්තය සහ බ්‍රසීලය සමත් වුනා.

එමෙන්ම අද (24) උරුගුවේ සහ දකුණු කොරියාව අතර පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනේ ගෝල රහිතවයි.

පෘතුගාලය සහ ඝානාව

ලෝක කුසලානයේ විශේෂතම ක්‍රීඩාංගණයක් වන 974 ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයෙන් ගෝල 3-2ක තියුණු ජයක් ලබා ගැනීමට පෘතුගාලයට හැකි වුනා.

තරගය ආරම්භයේ සිටම වැඩි පාලනයක් රඳවා ගත් පෘතුගාලය වෙනුවෙන් 31 වැනි මිනිත්තුවේ දී  ගෝලයක් වාර්තා කිරීමට Cristiano Ronaldo සමත් වූවත්, එය අවලංගු කිරීමට විනිසුරුවරයා කටයුතු කළේ ගෝලය ලබා ගැනීමට පෙර ක්‍රීඩකයෙකු කළ වරදක් නිසයි.

පළමු අර්ධය තුළ ගෝල ලබා ගැනීමට අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය වූවත් ඒවා සාර්ථක කර ගැනීමට පෘතුගාල ක්‍රීඩකයින්ට හැකි වුනේ නැහැ.

දෙවැනි අර්ධයේ දී පෙරට වඩා ආක්‍රමණශීලි ක්‍රීඩා විලාශයක් පෘතුගාල ක්‍රීඩකයින්ගෙන් දක්නට ලැබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 63 වැනි මිනිත්තුවේ දී ඝානා ක්‍රීඩකයෙකු කළ වැරදි වැළැක්වීමක් නිසා පෘතුගාලයට දඬුවම් පහරක් හිමි වුනා.

සුපුරුදු පරිදි එම දඬුවම් පහර එල්ල කිරීමේ වගකීම ලබා ගත් සුපිරි ක්‍රීඩක Cristiano Ronaldo එය සාර්ථකව ගෝලය තුළට එල්ල කරමින් ලෝක කුසලාන පහක දී ගෝල ලබා ගත් පළමු ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක් වුනා.

එම ගෝලයේ උණුසුම පහව යාමටත් මත්තෙන් ක්‍රියාත්මක වූ ඝානා ක්‍රීඩක Andre Ayew අලංකාර ගෝලයක් වාර්තා කරමින් ගෝල තත්වය සම කළා.

එයට පිළිතුරු ලෙස ක්‍රියාත්මක වූ පෘතුගාල ක්‍රීඩක Joao Felix දඬුවම් රාමුවට ගෙන ආ පන්දුවක් ගෝල රකින්නාගේ වම් පසින් ගෝලය තුළට එල්ල කරමින් පෘතුගාලයට තරගයේ පෙරමුණට ගෙන ආවේ 78 වැනි මිනිත්තුවේ දීයි.

එම ගෝලය වාර්තා වී මිනිත්තු දෙකක් ගත වෙද්දී තවත් ගෝලයක් වාර්තා කරමින් ඝානා ක්‍රීඩකයින්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට Rafael Leaoට හැකි වුනා.

ඝානා ක්‍රීඩකයින් නැවත තරගයට ගෙන එමින් 89 වැනි මිනිත්තුවේ දී දෙවැනි ගෝලය වාර්තා කිරීමට ඝානා ක්‍රීඩක Osman Bukari සමත් වුනේ මෙතෙක් නිහඬව සිටි ගහනා ප්‍රේක්ෂකයින්ගේ සතුට ඉහළ නංවමිනුයි.

තරගය අවසන් වීමට මිනිත්තුවක් තිබිය දී පෘතුගාල ගෝල රකින්නා සිදු කළ වරදක් නිසා ඝානාවට ගෝලයක් ලබා ගැනීමට විශාල අවස්ථාවක් හිමිවූවත් එය සාර්ථකව වළකාලමින් පෘතුගාලයට ජය තහවුරු කිරීමට පෘතුගාල ආරක්ෂක ක්‍රීඩකයින්ට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: පෘතුගාලය 03 – 02  ඝානාව

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

පෘතුගාලය: Cristiano Ronaldo 65’ (P), Joao Felix 78’. Rafael Leao 80’

ඝානාව: Andre Ayew 73’, Osman Bukari 89’

කැමරන් සහ ස්විස්ටර්ලන්තය

තරගය ආරම්භ වී මිනිත්තු 10ක් ගත වෙද්දී කැමරන් ක්‍රීඩක  Karl Toko Ekambi හට ගෝලයක් ලබා ගැනීමට අවස්ථාවක් හිමිවූවත් එය සාර්ථකව අවසන් කිරීමට ඔහුට හැකි වුනේ නැහැ.

එම අර්ධය තුළ ස්විස්ටර්ලන්ත ක්‍රීඩකයින්ට ද ගෝල ලබා ගැනීමට නොහැකි වීම නිසා අර්ධය අවසන් වුනේ ගෝල රහිතවයි.

දෙවැනි අර්ධය ආරම්භයේම ක්‍රියාත්මක වූ ස්විස්ටර්ලන්ත ක්‍රීඩක Breel Embolo විසින් තමන්ගේ උපන් රට වූ කැමරන් දේශයට එරෙහිව ගෝලයක් වාර්තා කළා. 48 වැනි මිනිත්තුවේ දී ලැබූ පන්දුවක් දඬුවම් රාමුව තුළ සිට ගෝලයට එල්ල කරමින් ඔහු එම ගෝලය වාර්තා කළා.

එම ගෝලයට පිළිතුරු ලෙස ගෝලයක් වාර්තා කිරීමට කැමරන් ක්‍රීඩකයින් උත්සහ දැරුවත් ප්‍රතිවාදී ක්‍රීඩකයින්ගේ ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශය නිසා ඔවුන්ගේ උත්සහයන් සාර්ථක වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: ස්විස්ටර්ලන්තය 01 – 00 කැමරන්

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්,

  • ස්විස්ටර්ලන්තය: Breel Embolo 48’

උරුගුවේ සහ දකුණු කොරියාව

ආරම්භයේ සිටම උණුසුම් වූ මෙම තරගයේ 34 වැනි මිනිත්තුවේ දී ගෝලයක් ලබා ගැනීමට දකුණු කොරියාවට අවස්ථාවක් හිමි වූවත් එම පහර ගෝලයට ඉහළින් ඇදී යාම නිසා එය අසාර්ථක වුනා.

එම අර්ධය අවසන් වීමට පෙර උරුගුවේ ක්‍රීඩකයින්ට ගෝල ලබා ගැනීමට තිබූ අවස්ථාව ද අසාර්ථක වීම නිසා තරගයේ පළමු අර්ධය අවසන් වුනේ ගෝල රහිතවයි.

දෙවැනි අර්ධයේ ද කණ්ඩායම් ද්විත්වයම සමබර ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළත් ගෝලයක් වාර්තා කරමින් තරගයේ පෙරමුණ ගැනීමට දෙපිලටම හැකි වුනේ නැහැ.

එම නිසාවෙන් තරගය ගෝල රහිතව අවසන් වුනේ දෙපිලේම පළමු තරගය ජය පැරදුමෙන් තොර තරගයක් බවට පත් කරමිනුයි.

අවසන් ලකුණු තත්වය: උරුගුවේ 00 – 00 දකුණු කොරියාව

බ්‍රසීලය සහ සර්බියාව

Lusail Iconic ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ආරම්භයේ සිටම ප්‍රබල බ්‍රසීලයට සර්බියානු ක්‍රීඩකයින්ගෙන් හොඳ අභියෝගයක් එල්ල වුනා.

පළමු අර්ධයේ අමතර කාලයේ දී බ්‍රසීල ක්‍රීඩක Raphinha එල්ල කළ පහරක් ගෝලයක් ලබා ගැනීමට ආසන්නම අවස්ථාවක් ලෙස ඇදී ගියත්, එය දක්ෂ ලෙස නවතාලීමට ප්‍රතිවාදී ගෝල දකින්නාට හැකි වුනා.

තරගයේ පළමු ගෝලයට වාර්තා වුනේ 62 වැනි මිනිත්තුවේ දීයි. Vinicius Junior ගෝලය අසලට ලබා දුන් පන්දුවක් ගෝල රකින්නාට නවතාලීමට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් Richarlison එම ගෝලය වාර්තා කළා.

එම ගෝලය ලබා වැඩි වේලාවක් යාමට මත්තෙන් නැවතත් Vinicius Junior ලබා දුන් පන්දුවකට ගුවනේ සිට අගනා පහරක් එල්ල කරමින් ගෝලය තුළට එල්ල කිරීමට Richarlison හැකි වුනේ තරගයේ දෙවැනි ගෝලය සිය නාමය ඉදිරියේ සටහන් කරමිනුයි.

සර්බියාවට තරගයේ මුළු කාලය අවසන් වන තුරුම ගෝලයක් ලබා ගැනීමට අවස්ථාවක් නිර්මාණය කිරීමට බ්‍රසීල ආරක්ෂක ක්‍රීඩකයින්ගෙන් අවස්ථාව හිමි වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: බ්‍රසීලය 02 – 00 සර්බියාව

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

  • බ්‍රසීලය: Richarlison 62’ & 73’

පාපන්දු ලෝක කුසලානයේ තවත්  තරග කිහිපයක් හෙට (25) පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<