Home Sinhala දුර්වල පන්දු රැකීම සහ පිතිකරණය අවසන් පූර්ව සිහිනය බොඳ කරයි!

දුර්වල පන්දු රැකීම සහ පිතිකරණය අවසන් පූර්ව සිහිනය බොඳ කරයි!

636

2023 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයේ නවසීලන්තය සමඟ පැවති තරගයෙන් අද (20) ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණු 102ක දරුණු පරාජයක් අත්වුනා. ඒ මුල් වරට කාන්තා ලෝක කුසලාන අවසන් පූර්ව වටයකට පිවිසීමේ සිහිනය ද බොඳකර දමමින්.

දකුණු අප්‍රිකාවේ Boland Park හිදී පැවති අද තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත නායිකා Sophie Devine සමත් වුනා. ඒ අනුව ඇය තීරණය කළේ මුලින් පිතිකරණයේ යෙදීමටයි.

ඒ අනුව ඉනිම ඇරඹූ Bernadine Bezuidenhout සහ සුපිරි පිතිකාරිණී Suzie Bates පළමු කඩුල්ලට ලකුණු 46ක් එක් කළේ පවර්ප්ලේ අවස්ථාව නිමා වීමටත් පෙරයි. නවසීලන්තය තමන්ට විටින් විට ලැබෙන දුර්වල පන්දු හතරේ සීමාව වෙත හරවා යවමින් හැකි සෑම විටම ඉක්මන් ලකුණු සඳහා දිව යමින් හොඳ පීඩනයක් ශ්‍රී ලංකාවට එල්ල කළා.

ශ්‍රී ලංකාව අතට ලැබෙන පහසු දුවද්දී දැවී යාමේ අවස්ථා සහ උඩපන්දු මග හැරීම නිසා නවසීලන්තය තව තවත් අවදානම් පහරවල් කරා යොමු වුනේ තරග ආරම්භයේ දී තමන් වෙත තිබූ පීඩනය සම්පූර්ණයෙන්ම දියකර හරිමින්. Bernadine දැවී යන විට පන්දු 20කින් ලකුණු 32ක් රැස් කරගෙන තිබුණා.

නැවතත් දෙවැනි කඩුල්ලට ශතක සබඳතාවයක් වර්ධනය වූ අතර Suzie Bates ඒ අතරේ තම 25 වැනි විස්සයි විස්ස අර්ධ ශතකය වාර්තා කළා. පන්දු 49කට පමණක් මුහුණ දුන් ඇය අවසන් පන්දුවාරයේ දී දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 56ක්.

යොවුන් පිතිකාරිණී Amelia Kerr අද තම මංගල එක්දින අර්ධ ශතකය ලෙස පන්දු 48කින් ලකුණු 66ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් 20 වැනි පන්දුවාරය දක්වා දවා ගත් එකම කඩුල්ලට හිමිකම් කියූ අචිනි කුලසූරිය පන්දු යවන අතරේ පාදයේ ආබාධයකට ලක්වීම නිසා චමරි අතපත්තුටත් අද පන්දුවාර 4ම යැවීමට සිදු වුනා.

අවසානයේ නියමිත පන්දුවාර 20 අවසානයේ නවසීලන්තය කඩුලු 3ක් පමණක් දැවී අභියෝගාත්මක ලකුණු 162ක් වාර්තා කළේ ශ්‍රී ලංකාවට දැවැන්ත තර්ජනයක් එල්ල කරමිනුයි.

එහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් මෑත කාලයේ හොඳින් දස්කම් දැක්වූ ඉනෝකා රණවීර, මල්ෂා ශෙහානි වැනි පන්දු යවන්නියන් අසාර්ථක වීම ශ්‍රී ලංකාවේ පසුබෑමට දැවැන්ත හේතුවක් වුනා.

මෙම දැවැන්ත ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්ම කඩුල්ල ලෙස හර්ෂිතා මාධවී ලකුණු 08කට දැවී ගියා. ඒ පන්දු 14කට මුහුණ දීමෙන් පසු තමන් මුල් වරට එල්ල කළ විශාල පහරම වරද්දා ගනිමින්. විශ්මි ගුණරත්න ආ විගසම යාර 30 සීමාවෙන් එළියට යැවීමට උත්සාහ කළ පන්දුව Suzie Bates විසින් අනර්ඝ ලෙස ඩැහැගත්තා.

නවසීලන්ත කණ්ඩායමේ පන්දු රැකීම අද දිනයේ ශ්‍රී ලංකාවට වඩා ගව් ගණනක් ඉදිරියෙන් තිබූ බව කිව හැකියි. මේ නිසාම ගොඩ නැගෙන පීඩනය හමුවේ පිතිකාරිණියන් ආ පයින්ම ක්‍රීඩාගාරයට හැරී ගිය අතර ශ්‍රී ලංකා ලකුණු පුවරුව තනි ඉලක්කම්වලින් පෝෂණය වුනේ දුරකථන අංකයක් ලෙසයි.

සාර්ථක එකම ඉනිම ලෙස හැඳින්විය හැකි චමරි අතපත්තු රැස් කළේත් පන්දු 21කින් ලකුණු 19ක් පමණයි. ඇය කඩුල්ල මුවා කළ අවස්ථාවක් තෙවැනි විනිසුරුට යොමු කරමින් කඩුල්ල දවා ගැනීමට නවසීලන්ත නායිකා Sophie Devineට හැකි වුනා. චමරි හැරෙන්නට වෙනත් කිසිදු පිතිකාරිණියක් ලකුණු 10 සීමාව පවා පසුකර ගියේ නැහැ.

මේ නිසාම ශ්‍රී ලංකාවට තම ඉනිම අවසානයේ සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 60ක් පමණයි. තරගයේ වීරවරිය ලෙස ලකුණු 66ක්, කඩුලු 2ක් සමඟින් එක් උඩපන්දුවක් ලබා ගත් Amelia Kerr සම්මානයට පාත්‍ර වුනා.

මෙම දරුණු පරාජයත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව ද මගහැරී ගියා. ඒ මූලික වටයේ තරග 4ම ක්‍රීඩා කිරීමෙන් පසු ඔවුන් මේ වන විට තුන්වැනි ස්ථානයේ රැඳී සිටින බැවින්. නවසීලන්තය තම දල ලකුණු වේගය ද වර්ධනය කරගෙන මේ වන විට එහි දෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා.

Result


New Zealand Women
162/3 (20)

Sri Lanka Women
60/10 (15.5)

Batsmen R B 4s 6s SR
Bernadine Bezuidenhout c Chamari Athapaththu b Achini Kulasuriya 32 20 5 0 160.00
Suzie Bates st Anushka Sanjeewani b Inoka Ranaweera 56 49 6 0 114.29
Amelia Kerr run out (Kavisha Dilhari) 66 48 6 0 137.50
Sophie Devine not out 3 3 0 0 100.00
Maddy Green not out 0 0 0 0 0.00


Extras 5 (b 3 , lb 0 , nb 0, w 2, pen 0)
Total 162/3 (20 Overs, RR: 8.1)
Bowling O M R W Econ
Sugandika Kumari 4 0 29 0 7.25
Achini Kulasuriya 2.1 0 14 1 6.67
Oshadi Ranasinghe 3 0 27 0 9.00
Malsha Shehani 2 0 17 0 8.50
Inoka Ranaweera 4 0 27 1 6.75
Kavisha Dilhari 1 0 12 0 12.00
Chamari Athapaththu 3.5 0 33 0 9.43


Batsmen R B 4s 6s SR
Harshitha Samarawickrama c Georgia Plimmer b Eden Carson 8 14 0 0 57.14
Chamari Athapaththu lbw b Amelia Kerr 19 21 2 0 90.48
Vishmi Gunaratne c Suzie Bates b Hannah Rowe 0 2 0 0 0.00
Nilakshika Silva b Jess Kerr 0 4 0 0 0.00
Anushka Sanjeewani b Lea Tahuhu 1 8 0 0 12.50
Kavisha Dilhari c Amelia Kerr b Lea Tahuhu 4 0 0 0 0.00
Oshadi Ranasinghe b Fran Jonas 3 10 0 0 30.00
Malsha Shehani b Amelia Kerr 10 13 1 0 76.92
Sugandika Kumari run out (Bernadine Bezuidenhout) 1 3 0 0 33.33
Inoka Ranaweera not out 5 12 1 0 41.67
Achini Kulasuriya timed-out b 0 0 0 0 0.00


Extras 9 (b 0 , lb 1 , nb 0, w 8, pen 0)
Total 60/10 (15.5 Overs, RR: 3.79)
Bowling O M R W Econ
Eden Carson 2 0 14 1 7.00
Jess Kerr 2 0 7 1 3.50
Hannah Rowe 3 0 12 1 4.00
Amelia Kerr 2.5 0 7 2 2.80
Lea Tahuhu 4 1 12 2 3.00
Fran Jonas 2 0 7 1 3.50



වත්මන් ලෝක ශූරියන් වන ඕස්ට්‍රේලියාව තමන් ක්‍රීඩා කළ තරග 4ම ජය ගනිමින් අවසන් පූර්ව වටය සඳහා මේ වන විටත් සුදුසුකම් ලබා සිටින අතර සත්කාරක දකුණු අප්‍රිකාවට හෙට (21) බංග්ලාදේශය සමඟ පැවැත්වෙන තරගය ජය ගතහොත් නවසීලන්තය පසුකරමින් අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාවක් තිබෙනවා.

අනෙක් කාණ්ඩයේ අවසන් පූර්ව වටයට පිවිසීමේ වැඩි අවස්ථාවක් නිර්මාණය වී තිබෙන්නේ එංගලන්තයට සහ ඉන්දියාවටයි. ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවත් වුවද, ඔවුන් වෙනදාට වඩා ඉහළ දස්කම් මෙවර ලෝක කුසලානයේ දී පෙන්නුම් කළා. එහි දී ඔවුන් සුවිශාල ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ සත්කාරක දකුණු අප්‍රිකාව පරාජය කිරීම විශේෂ සිදුවීමක්.

මීට අමතරව ඔවුන් ශතක සබඳතාවයක් සමඟින් බංග්ලාදේශය පහසුවෙන් පරාජය කළා. නමුත් ලෝක කුසලානයක අවසන් සිව්දෙනා අතරට පිවිසීමට නම් ඔවුන් තවදුරටත් තම පන්දු රැකීම සහ පිතිකරණය වර්ධනය කර ගත යුතු බව ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය පෙන්වා දුන්නා.

කාන්තා ලෝක කුසලානයේ ඉදිරි ගමන් මඟ ගැන සියලු තතු විත්ති එසැණින් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<