පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් ඉදිවන සැණකෙළි උද්‍යාන

2022 කටාර් පාපන්දු ලෝක කුසලානය

296

පාපන්දු ක්‍රීඩාලෝලීන් වෙනුවෙන් සැණකෙළි සිරියෙන් යුත් උද්‍යාන ලෝක කුසලාන පාපන්දු තරගාවලියක සත්කාරක රටෙන් එපිට ලෝකයට ප්‍රථම වතාවට හඳුන්වා දීමට ගෝලීය පාපන්දුවේ පාලකයන් වන ජගත් පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.

මේ අනුව කටාර් දේශයෙන් පිට රටවල දී රොද බැඳ ගෙන කා බී විනෝද වෙමින් තරග ආස්වාදය විඳ ගැනීමට පාපන්දු ලෝලීන්ට අවස්ථාව හිමි වෙනවා.

2022 කටාර් ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අරබයා ජගත් පාපන්දු සම්මේලනය විසින් ක්‍රීඩාලෝලීන්ගේ මේ උත්සවාකාර සැණකෙළි උද්‍යාන ලොව පුරා දියත් කිරීමට සැලසුම් කර තිබෙන්නේ ක්‍රීඩාංගණවලට නොපැමිණෙන පාපන්දු අනුගාමිකයන්ට ද තරගාවලියට සමීප වීම සඳහා වැඩි අවස්ථාවක් ලබා දීමේ අරමුණින්.

මේ ගෝලීය ක්‍රීඩාලෝලීන්ගේ සැණකෙළි උද්‍යානයක සත්කාරකත්වය ලබා ගැනීමට ලන්ඩනය ද උත්සාහ කරමින් සිටින අතර ඒ අවස්ථාව ලබා ගැනීමට සමත් වුවහොත් ලන්ඩනයට එහි නගර මධ්‍යයේ පැවැත්වෙන ‘ශීත සෘතුවේ විස්මලන්තය‘ නමැති ඉතාමත් ම ජනප්‍රිය ඉසව්ව සමඟ තරග කිරීමට සිදු වන්නේ එම සිදුවීම ද ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන කාලවකවානුවට ම නියමිතව ඇති නිසාවෙන්.

නිල වශයෙන් බලපත්‍ර හිමි ‘ක්‍රීඩාලෝලීන්ගේ සැණකෙළිය’ 2006 වසරේ ජර්මනියේ පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් ආරම්භ වූ අතර එතැන් සිට නොකඩවා එය පවත්වා තිබෙනවා.

රුසියාවේ දී 2018 වසරේ පැවති පසුගිය ලෝක කුසලාන පාපන්දු  තරගාවලියේ දී ක්‍රීඩාලෝලීන්ගේ සැණකෙළි උද්‍යාන 11ක් තරග පැවති සෑම නගරයක ම පැවැත්වුනා.

මීට පෙර පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලි හතරේ දී මහද්වීප පහක් හරහා මිලියන 40ක ජනතාවක් මේ උද්‍යාන විසින් ප්‍රමෝදයට පත් කර තිබෙනවා.

ජගත් පාපන්දු සම්මේලනයේ මේ අලුත් පියවර සම්බන්ධයෙන් එහි සභාපති Gianni Infantino මෙසේ ප්‍රකාශ කරනවා.

පාපන්දු ක්‍රීඩාව ඇත්ත වශයෙන් ම ගෝලීය කිරීමටත්, එය වඩාත් ළඟා විය හැකි දෙයක් බවට පත් කිරීමටත් සඳහා වන අපේ මෙහෙවරට ආධාරකයක් ලෙසින් අනාගත ජගත් පාපන්දු සම්මේලන ලෝක කුසලාන තරගාවලි ආශ්‍රිත විනෝද ජනක අත්දැකීමක් සඳහා මේ නව දැක්ම හඳුන්වා දෙන්නේ ඉමහත් ප්‍රීතියෙන්.”

ක්‍රීඩාංගණවලට පිටතින් සිට තරග පිටියේ ක්‍රීඩාව සමඟ එක් වෙමින් අලුත් සහ අද්විතීය ක්‍රම මගින් පාපන්දු ක්‍රීඩාවේ අත්දැකීමක් ලබා ගැනීමට ජගත් පාපන්දු සම්මේලනයේ මේ උත්සව උද්‍යානවලින් ක්‍රීඩාලෝලීන්ට අවස්ථාව ලැබෙනවා.”

“ලෝක කුසලාන පිරිමි හා කාන්තා තරගාවලි ක්‍රීඩාලෝලීන් හා අපේ හවුල්කරුවන් සමීප කිරීමට මෙන් ම ගෝලීය පාපන්දු සංස්කෘතිය වෙනුවෙනුත් සංවිධානය කරන මේ ක්‍රීඩාලෝලීන්ගේ උත්සව උද්‍යානවලින් සැපයෙන වර්ධනය කෙරුණු විනෝදය සහ මේ උත්සවවල අනාගතය පිළිබඳවත් අපි ඇත්ත වශයෙන් ම සිටින්නේ මහත් ප්‍රබෝධයෙන්.”

‘යූරෝ 2020’ පාපන්දු තරගාවලිය වෙනුවෙන් යුරෝපයේ රටවල් 11ක පවත්වනු ලැබූ ක්‍රීඩාලෝලීන්ගේ උද්‍යාන ඉතාමත් සාර්ථක වී තිබෙන අතර එංගලන්තය සහ ක්‍රොඒෂියාව අතර 2018 ‍වසරේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව තරගය වෙනුවෙන් ලන්ඩනයේ හයිඩ් පාක් හි පැවති ක්‍රීඩාලෝලීන්ගේ උද්‍යානයට ඇතුළු වීමේ ප්‍රවේශ පත්වලට තිබුණේ විශාල ඉල්ලුමක්.

Al Bidda Park
Al Bidda Park

ප්‍රමාණයෙන් කුඩා රටක් වන කටාර් දේශයේ පැවැත්වෙනු ඇත්තේ මෙවැනි එක් උද්‍යානයක් පමණයි. පසුබිමෙන් දෝහා අගනුවර ක්ෂිතජය දිස්වන දෝහා Al Bidda Park හි ප්‍රතිපරිකල්පනය කරන ලද අවකාශයක මේ උද්‍යානය පිහිටුවා තිබෙනවා.

මෙහි දී දැවැන්ත තිර මත සෑම තරගයක් ම සජීවිව විකාශය කෙරෙනු ඇති අතර ලොව ඉහළ ම පෙළේ ගායක ගායිකාවන්ගේ සංදර්ශන, දේශීය ඉවුම් පිහුම් සහ ජාත්‍යන්තර ප්‍රණීත ආහාරවලින් සමන්විත බොජුන් හල්, ජගත් පාපන්දු සම්මේලනයේ පුරාවෘත්ත ක්‍රීඩකයන් සමඟ තරග, පරිගණක ක්‍රීඩා සහ ජගත් පාපන්දු සම්මේලනයේ නිල වෙළඳසැලකින් මේ උද්‍යානය සමන්විතයි.

මීට පෙර පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලි හා සැසඳීමේ දී කටාර් දේශය ළං විය නොහැකි රටක් වන්නේ එහි වියදම ඉතා ඉහළ අගයක් ගනු ඇති බවට අපේක්ෂා කරන බැවින්.

ආපසු ඒමේ ගුවන් ගමන් ටිකට් පතක් සහිතව ලන්ඩනයේ සිට සංචාරය කරන එංගලන්ත ක්‍රීඩාලෝලියෙක් අවසාන මහා තරගය දක්වා එංගලන්ත කණ්ඩායම (එම කණ්ඩායම අවසාන තරගයට පිවිසියහොත්) පසුපස යමින් ඒ අතරවාරයේ තරග අට ම නැරඹුවහොත් සහ ක්‍රීඩාංගණයේ අවම අසුනේ වාඩි වෙමින් ඉතාම අඩු වියදමින් යුතුව නවාතැන් ගතහොත්, ආහාර පාන සඳහා ගෙවීමට පෙර ඔහුට පවුම් 5,000ක මුදලක් වැය වනු ඇතැයි පාපන්දු ආධාරකරුවන්ගේ සංගමය ගණන් බලා තිබෙනවා.

තත්තවය එසේ වුවත් මේ වන විට මිලියන 2.5කට ආසන්න ටිකට් පත් විකිණෙමින් තරගාවලියේ ප්‍රවේශ පත් අලෙවිය ඉතාමත් ම ශක්තිමත් වී තිබෙනවා.

පළමු වතාවට ඕස්ට්‍රේලියාව සහ නවසිලන්තයේ පැවැත්වීමට නියමිත 2023 කාන්තා ලෝක කුසලාන පාපන්දු  තරගාවලියේ දීත් ක්‍රීඩාලෝලීන්ගේ සැණකෙළි උද්‍යාන දැක ගැනීමට හැකි වේවි.

Village of fans Qatar
Village of fans Qatar

ජූලි මාසයේ දී ජගත් පාපන්දු සම්මේලනය ‘කූඩාරම් නගරය’ක් නිරාවරණය කළා. ‘ක්‍රීඩාලෝලීන්ගේ ගම්මානය’ක කඳවුරු බඳින අත්දැකීමක කොටසක් ලෙසින් ලෝක කුසලාන තරගාවලියට නවාතැන් සැපයෙන Al Khor හි පිහිටි මේ කූඩාරම් නගරයේ එක් රාත්‍රියක් ගත කිරීම සඳහා පවුම් 350ක මුදලක් වැය කිරීමට ක්‍රීඩාලෝලීන්ට සිදු වෙනවා. තරගාවලිය වෙනුවෙන් හෝටල පහසුකම් සීමිතව තිබෙන මේ කුඩා රටේ මෙය තවමත් සැලකෙන්නේ මිලෙන් අඩු නවාතැන් ක්‍රමයක් ලෙසයි.

මේ කූඩාරම් සාමාන්‍යයෙන් අප දන්නා පරිදි තදට හිරවුනු ඒවා නෙවෙයි. සෑහෙන ඉඩ ඇති මේ කූඩාරම් වායු සමනය කර ඇති අතර යාබද වූ නාන කාමරයකින් සමන්විතයි. තමන්ට ම තේ සාදා ගත හැකි පහසුකම් සහිතයි.

මීට අමතරව රූපවාහිනියක්, හිසකෙස් වේලන යන්ත්‍රයක්, ඇඳුම් මදින උපකරණයක් හා ඇඳුම් මදින ලෑල්ලක්, ශීතකරණයක් සහ අන්තර් ජාල සබඳතාව යන සංකේතමය හෝටල කාමරයක තිබෙන දේවලට සමාන කළ හැකි සුඛෝපභෝගී පහසුකම් ද මේ කූඩාරමේ තිබෙනවා.

කූඩාරම් නගරය Al Khor හි ස්ථාපිත කෙරෙනවා යනු එය මෙවර ලෝක කුසලාන තරග ද පැවැත්වෙන එක් නගරයක පිහිටුවීමක් වෙනවා. නොවැම්බර් 25 වැනිදා එංගලන්තය සහ ඇමරිකාව අතර ‘බී’ කොටසේ තරගය මෙන් ම දෙසැම්බර් 14 වැනිදාට පැවැත්වීමට නියමිත එක් අවසන් පූර්ව තරගයක් ක්‍රීඩා කෙරෙන්නේ ද මේ නගරයේ. දෝහා අගනුවර සිට මේ ස්ථානයට පැමිණීමට ගත වන්නේ මිනිත්තු 40ක් පමණයි.

කටාර් රාජ්‍යයේ සංස්කෘතිය සමඟ බද්ධ වීමේ මං විවර කෙරෙන මේ Al Khor ක්‍රීඩාලෝලීන්ගේ ගම්මානයේ නවාතැන් ගැනීම කටාර් දේශයේ සාම්ප්‍රදායන් පිළිබිඹු කෙරෙන සහ එහි සංස්කෘතියට අනුගත වන, අරාබියානු කඳවුරු බැඳීමේ ක්‍රියාවේ අපූරු අත්දැකීමක් ලෙසටයි ජගත් පාපන්දු සම්මේලනය හඳුන්වන්නේ.

මේ කූඩාරමක ස්ථානගත වීම නිසා කෙළින් ම Farkiah වෙරළ ඇසුරු කිරීමට ලැබීමෙන් නගරයේ තදබදයෙන් නිදහස් වී කටාරයේ සොබා දහම, සංස්කෘතිය සහ රන් පැහැති වැල්ලේ සුන්දරත්වය අත්විඳීමේ දුර්ලභ අවස්ථාව හිමි වෙනවා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<