නිසි අවසරයකින් තොරව පුවත් පළ කිරීම නිසා Archer කුපිත වෙයි

3978

කලක පටන්ම ආබාධවලින් පීඩා විඳින එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු තුරුම්පුවක් වන Jofra Archer විසින් නිසි අවසරයකින් තොරව ඔහුගේ ආබාධය පිළිබඳව පුවත් පළ කළ එංගලන්ත පුවත් පතකට බැන වදිමින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

එංගලන්තයේ ප්‍රධාන පෙළේ පුවත්පතක් වන The Telegraph විසින් මීට පෙර දිනෙක පුවතකින් සඳහන් කර තිබුණේ, මෙම මස මුල දී Archer විසින් සිය දකුණු වැළමිටේ සුළු සැත්කමක් සිදු කර ඇති නමුත් එය එළඹෙන අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට බාධාවක් නොවනු ඇති බවයි. එමෙන් ම ඔහු එම සැත්කමේ ඉදිරි කටයුතු කිහිපයක් සඳහා බෙල්ජියම බලා පිටත් ව ගොස් ඇති බවත් Telegraph පුවත්පත විසින් වාර්තා කර තිබුණා.

නමුත් Telegraph පුවත්පත විසින් මෙම පුවත පළ කිරීම සම්බන්ධයෙන් Archer එතරම් කැමැත්තක් පළ කර තිබුණේ නැහැ.

“කරුණු කාරණා හරි හැටි නොදැන, මගේ අනුදැනුමකින් ද තොරව මෙවන් පුවතක් පළ කිරීම පිස්සු වැඩක්. වාර්තාකරු කවුරුන් වුවත් ඔබ ලැජ්ජා විය යුතුයි. ක්‍රීඩකයෙකු විසින් දැනටමත් කනස්සලු දායක සහ කරදරකාරී කාලයක් ගෙවන අතර ඔබ එයින් පෞද්ගලික වාසි ලබ‍ෙගෙන තිබෙනවා. ඔබ වැනි අය තමයි ගැටලුව වෙන්නේ.”

Archer විසින් Twitter සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කළා.

මේ අතර Archerට ඇති වී ඇති මෙම ආබාධ තත්වය නිසා ම ඔහු මෙවර IPL තරගාවලියේ තවමත් Mumbai Indians සමඟින් ක්‍රීඩා කර ඇත්තේ තරග දෙකක් පමණයි. එමෙන් ම එම තරග දෙකේ දී බලාපොරොත්තු වූ තරම් දස්කම් අතරට පැමිණීමට ඔහු අපොහොසත් වූ අතර ක්‍රීඩා කළ තරග දෙකේ දී ම ඔහු දවා ගැනීමට සමත් වුනේ කඩුලු 2ක් පමණයි.

පසුගිය අගහරුවාදා (25) Gujarat Titans සමඟ පැවැත්වුණු තරගයේ දී ද Archer කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා නොකළ අතර ලබන ඉරිදා Rajasthan Royals සමඟ තරගයේ දී ඔහු නැවත කණ්ඩායම සමඟ එකතු වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කරනවා.

2019 වසරේ අළුබඳුන තරගාවලියේ දී කඩුලු 22ක් දවා ගනිමින් විශිෂ්ට දක්ෂතා පෙන්වීමට සමත් වූ Archer 2021 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව තවමත් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර නැහැ.

මෙවර IPL තරගාවලියේ සියලු ම තරඟ සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා. 2023 IPL තරගාවලියේ උණුසුම විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<