40 වසරකට පසු ඉරාන කාන්තාවන්ට දේශීය පාපන්දු තරග නැරඹීමේ අවස්ථාව

173

1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසුව පළමු වරට ඉරාන කාන්තාවන්ට ඉරාන දේශීය පාපන්දු තරගයක් නැරඹීමේ අවස්ථාව උදා වුනා. ඒ Estaqlal (එස්ටාක්ලාල්) කණ්ඩායමට එරෙහිව Mes-e-Kermen (මෙස්’එ කෙර්මෙන්) කණ්ඩායම අතර තරගයයි.

තරගය පැවැත්වුණේ පසුගිය බ්‍රහස්පතින්දා (25) ටෙහෙරාන් නුවර අසාදි ක්‍රීඩාංගණයේ දීයි. පිරිමින්ගෙන් වෙන්වූ ස්ථානයක් කාන්තාවන් සඳහා වෙන්වූ අතර ඔවුන් ධජ අතැතිව තරගය නැරඹුවා.

ඉස්ලාමීය විප්ලවයෙන් පසුව ඔවුන්ට දේශීය පාපන්දු තරග නැරඹීම තහනම්ව තිබුණා.

බොහෝ ප්‍රේක්ෂිකාවන් Blue Girl (නිල යුවතිය) නම් උදාන ගීය ගයමින්, ඉරානයේ කාන්තාවන්ට පාපන්දු තරග නැරඹීමේ අවස්ථාව ඉල්ලා ගිනි තබාගෙන මිය ගිය සහාර් ඛෝදයාරි ව සිහි කළා. ඇය විසින් සහාය දුන් නිල් පැහැති ජර්සි සහිත කණ්ඩායම නිසා ඇයව හඳුන්වන්නේ “නිල් යුවතිය” ලෙසින්.

ඉරාන කාන්තාවන් පාපන්දු ක්‍රීඩාවට ඇලුම් කරන බැවින් එය තහනම්ව තිබූ සමයේ ඔවුන් පිරිමින් ලෙස හැඳ පැළඳ තරග නරඹන්නට ගිය අවස්ථා ගැන ද වාර්තා වුනා.

2019 දී ආසියානු පාපන්දු කවුන්සිල කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය නැරඹීමේ අවස්ථාව ඔවුනට ලැබුණා. එමෙන්ම 2022 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ ඉරාකයට එරෙහි තරගය නැරඹීමේ අවස්ථාව ද ඔවුන්ට ලැබුණා.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<