ලෝක කුසලාන බලන්න කටාර් යමු ද?

382

ඉතිහාසයේ දරුණුතම ආර්ථික කඩා වැටීමට ලක්ව සිටියත්, ශ්‍රී ලංකාව පිළිබඳ අවසන් මාසයේ දී පමණ අසන්නට ලැබුණු පුවත් “තරමක්” ධනාත්මක ය.

ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට ඔන්න මෙන්න කියා තිබිය දී අසිත ප්‍රනාන්දු විසින් පිත්ත පාවිච්චි කළ ආකාරය එය තවත් වැඩි කළේය.

බංකොලොත් ආර්ථිකය ගොඩනැගීමට දිවා රෑ නොබලා වෙහෙස විය යුතු බොහෝ අංශ තිබේ. මේ ලිපිය ඒ සම්බන්ධව නොවුනත්, ශ්‍රී ලංකා පාපන්දු ප්‍රේක්ෂකයන්ටත් 2022 පාපන්දු ලෝක කුසලාන නැරඹීමට හැකිය” යන ධනාත්මක පුවත ඔබ හමුවේ තැබීමටයි මේ උත්සාහය.

කටාර් යනු ශ්‍රී ලංකාවේ සිට බලන විට රැකියා යායකි. මෙහෙකාර සේවයේ සිට වෛද්‍ය වෘත්තිය, ව්‍යාපාරික වෘත්තිය දක්වා වූ නොයෙක් ආකාර වල වෘත්තීන් වල නියැලෙන ශ්‍රී ලාංකිකයන් කටාර් රාජ්‍යයට අලුත් නොවේ. කාන්තාර මහපොළොවෙන් උල්දිය දමන පොසිල ඉන්ධන, එසේත් නැත්නම් ගෑස් සහ තෙල් නිසා කටාර්හි මූල්‍යමය පදනම ශක්තිමත් ය.

2010 වැනි වර්ෂයක සිට පාපන්දු ලෝක කුසලාන සත්කාරකත්වය සඳහා වූ තරගයේ ඉදිරිපෙළ අශ්වයෙකු වූ කටාර් රාජ්‍යය නිශ්චිතවම ඒ වරම දිනා ගත්තේ මින් වසර කිහිපයකට පෙර දීයි. එබැවින් 2022 ලෝක කුසලාන සත්කාරකත්වය ඔවුනට භාර ය.

ලොව සතර දිගින් මිලියනයකට අධික ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට කටාර් වෙත පැමිණෙතැයි බලාපොරොත්තු වේ. යුරෝපය, උතුරු සහ දකුණු ඇමරිකා මහාද්වීපය, ඕස්ට්‍රේලියාව වැනි ඈත ධනවතුන් වෙසෙන කලාපවලින් මෙන්ම ඉරාන, සවුදි, එමීර් රාජ්‍ය, ඕමාන් ආදී සමීප ධනවතුන් වෙසෙන මැදපෙරදිගින් ඒ ප්‍රේක්ෂකයන් කටාර් බලා එනු ඇත.

ඔවුනට සත්කාර දැක්වෙන්නේ කෙසේ ?

කටාර්හි උත්තරීතර කමිටුවේ නවාතැන් පහසුකම් පිළිබඳ විධායක අධ්‍යක්ෂ ඕමාර් අල් ජබාර් විසින් පවසා ඇති පරිදි,

මේ අවුරුද්දේ දී, වෙන කවරදාටවත් වඩා ප්‍රේක්ෂකයන්ට විවිධත්වයකින් යුත් විකල්ප තිබෙන බවයි පෙනෙන්නේ. කෙනෙක් අඩු මිලට නවාතැන් පහසුකම් සොයනවා නම් ඔවුන්ට එය සොයා ගන්න පුළුවන්. කවුරුහරි කෙනෙක් සුඛෝපභෝගී නවාතැන් පහසුකම් සොයනවා නම් පාවෙන හෝටල් වගේම හෝටලුත් තියෙනවා,” යැයි කිව හැකිය.

මහල් නිවාස සහ විලා (Apartments and Villas)

කටාර්හි පෞද්ගලික විලාවක්

මේවා තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ ආශ්‍රිතව, ඒවාට ගමන් කිරීමට පහසු දුරින් පිහිටා ඇත. අමුත්තෙකුට අවශ්‍ය සියලු පහසුකම් සමඟින් තනි කාමරවල සිට හයදෙනෙකුට නවාතැන් ගත හැකි කාමර දක්වා එම පහසුකම් සපයා ඇත. වැඩි සුඛය වෙනුවෙන් ඉහළම තට්ටුවේ ඇති පිහිනුම් තටාක සහ ශරීර සුවතා උපකරණ දක්වාම ඔබට යා හැකිය.

ක්‍රීඩාංගණ ආසන්නයේම ඇති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ සහ විලා එක් රැයකට ඇමරිකානු ඩොලර් 350-400 අතර මුදලක් අය කරයි. අඩු මුදලකට එවැනි නවාතැන් සොයන්නන්ට ඇමරිකානු ඩොලර් 80 සිට ඉහළට මුදලකට එවැනි නවාතැනක් භාවිතා කළ හැකිය.

මගී නෞකා (Cruise ships)

Blue economy
MSC යුරෝපා නෞකාව

MSC පෝෂියා සහ MSC යුරෝපා නෞකා දෙක ලෝක කුසලාන ප්‍රේක්ෂකයින් සඳහාම දෝහා නගරාසන්නයෙහි වරායේ නවතා ඇත. මේවා පාවෙන හෝටල් ලෙස හැඳින්විය හැකිය. දෝහා නගර මධ්‍යයේ සිට වරාය වෙතට පොදු ප්‍රවාහන සේවය ඔස්සේ ගතවන්නේ මිනිත්තු 10කි.

යුරෝපා නෞකාව තුළ මගී කැබින් 2633ක්, පිහිනුම් තටාක 6ක්, සම්බාහන සුවතා මධ්‍යස්ථානයක්, වෙළඳසැල්, අවන්හල් 30ක් ඇත. පෝෂියා සහ යුරෝපා නෞකා දෙක සසඳන කල ඒවායින් විශාල නෞකාව වන්නේ යුරෝපා නෞකාවයි.

ප්‍රේක්ෂක ගම්මාන සහ කඳවුරු (Fan Villages and Camps)

දෝව් නමින් හැඳින්වෙන නවාතැනක්

කටාර් සංස්කෘතිය හා ලෝක සංස්කෘතිය අතර ගැටෙන්නට කැමති ප්‍රේක්ෂකයන්ට මෙම විකල්පය වඩාත් ගැළපේ. කටාර්හි සාම්ප්‍රදායික කඳවුරු බැඳීමේ තාක්ෂණයට මේවා බැඳ ඇත. මෙය ප්‍රේක්ෂකයන්ට වෙනස් අත්දැකීමක් වනු ඇතැයි අල් ජබාර් පවසයි.

මෙහෙ තියෙන ප්‍රේක්ෂක ගම්මානය වෙනස්. ඒක වෙනස් වර්ගයක එකක්. වෙනස් ස්ථානයක්. ඒක අපේ සංස්කෘතියේ කොටසක්. අපට කූඩාරම් තියෙනවා, දෝව් (ඔරු තුළ තැනූ සාම්ප්‍රදායික කටාර් කූඩාරම්) තියෙනවා. ප්‍රේක්ෂකයන්ට වෙනස් අත්දැකීමක් දෙන එක හොඳයි.”

එළඹෙන නොවැම්බර් මාසයේ දී තරගාවලිය ඇරඹීමට සියලු කටයුතු සම්පාදනය කෙරෙමින් තිබේ. මින් වසර 4-5කට පෙර සිටම කටාර්හි රැකියා වෙළඳපොළ විශාල විය. ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය වෙනුවෙන් සැරසෙන ඒ ගමනේ දී යටිතල පහසුකම් ගොඩනැගීමට සහ අවශේෂ සේවා ලබා දීමට එරට මිලියන 2.8ක සුළු මහජනතාවට නොහැකි වීම නිසයි.

කම්කරුවන්ගේ සිට විශේෂ සේවා දක්වා වූ විශාල රැකියා ප්‍රමාණයක් විවෘත වීමත් සමඟ දකුණු ආසියානු, අග්නිදිග ආසියානු සහ අප්‍රිකානු කලාප වල රැකියා වියුක්තිකයන්ට මැද පෙරදිග බලා ගොස් රැකියාවල නියුක්ත වීමේ වරම උදා විය. ඒත් සමඟින් අසන්නට ලැබුණු ඍණාත්මක පුවත වූයේ ඔවුන් හා සම්බන්ධ මානව හිමිකම් විශාල වශයෙන් කඩවීමේ පුවතයි.

ක්‍රීඩාංගණ, කාර්යාල, මහල් නිවාස, විලා, ගම්මාන විවෘත වූවාට පසුව ඒවා ගොඩනැගූ සේවකයන්ට ඒවාට ළඟා වීම වත් අපහසු ය. එය ලෝක ධර්මතාවයකි.

ශ්‍රී ලංකාවේ සිට කටාර් බලා යන ගුවන් යානයක අවම ප්‍රවේශ පතක් රුපියල් 200,000 ඉක්මවයි. කටාර්ට එරෙහිව ඉක්වදෝරය තරග වදින 2022 ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක තරගයේ ප්‍රවේශපතක් රුපියල් 200,000 සිට 500,000 අතර මුදලකට සොයාගත හැකිය.

ලෝකය හමුවේ අප අතරමංව ඇති බව සැබෑවක් වුවත්, පාපන්දු ආලය නිසාම මේ අභියෝග ජය ගන්නට හැකි ප්‍රේක්ෂකයන් ද නැතුවාම නොවේ.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<