පාපන්දු ලෝක කුසලානය ළං වෙද්දී කම්කරු උද්ඝෝෂණ යළි මතු වෙයි

2022 කටාර් පාපන්දු ලෝක කුසලානය

304

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වීම ආසන්න වෙමින් තිබිය දී සත්කාරක කටාර් රාජ්‍යය නැවත වතාවක් කම්කරුවන්ගේ ශ්‍රමය සූරාකෑමේ චෝදනාවන්ට ලක්ව සිටිනවා.

ඒ, මාස ගණනාවක් පඩි රහිතව සේවය කිරීමට සිදුවීම පිළිබඳව විරෝධය දැක්වූ විදෙස් ශ්‍රමිකයන් 60 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් කිහිප දෙනෙකු රටින් නෙරපා හැරීම හේතුවෙන්.

අනෙක් ගල්ෆ් අරාබි රටවල් මෙන් ම කටාරය ද විදේශීය කම්කරු ශ්‍රමය මත යැපෙමින් සිටින අතර මේ සිදුවීම වාර්තා වන්නේ තරගාවලියට පෙර එරට කම්කරු වෘත්තියේ යෙදී සිටින පුද්ගලයන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් කටාර් දේශය තියුණු ජාත්‍යන්තර පිරික්සීමකට ලක්ව සිටින මොහොතකයි. මීට දින කිහිපයකට පෙර ඇතිවූ කම්කරු උද්ඝෝෂණය සහ කටාරය ඊට දැක්වූ ප්‍රතිචාරය තත්ත්වය තවත් බරපතළ කිරීමට ඉඩ තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කම්කරු උපදේශක මණ්ඩලයේ ප්‍රධානියා පවසන්නේ මේ අත්අඩංගුවට ගැනීම නිසා, කම්කරුවන්ට සැලකීම දියුණු කරන බවට කටාරය දුන් ප්‍රතිඥාවන් වසාගෙන නව සැකයක අඳුරු පැල්ලමක් මතු වන බවයි.

මෙය කම්කරුවන් සම්බන්ධයෙන් වන කටාර් රජයේ පිළිවෙතේ නියම යථාර්ථය පෙන්නුම් කිරීමක් ද?“ යනුවෙන් Equidem Research සමූහයේ විධායක අධ්‍යක්ෂ Mustafa Qadri ප්‍රශ්න කරනවා.

මහජන ආරක්ෂක නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විරෝධතාකරුවන් කිහිප දෙනෙක් රඳවා ගත් බවට පිළිගනිමින් කටාර් රජය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහෙත් හිරභාරයට ගැනීම හෝ රටින් නෙරපීම සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම ඔවුන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

තමන්ගේ වේතන පිළිබඳව කෝපයට පත් කම්කරුවන් 60 දෙනෙකු පමණ ඉදිකිරීම්, ඉඩකඩම්, ‍හෝටල, ආහාර සේවා සහ අනෙකුත් ව්‍යාපාර ඇතුළත් සංස්ථාවක් වන Al Bandary ජාත්‍යන්තර සමූහයේ ඩෝහා අගනුවර කාර්යාල ඉදිරියේ විරෝධතාව දක්වන වීඩියෝපට සමාජ ජාලාවල ප්‍රසිද්ධ වී තිබෙනවා. එසේ විරෝධය දක්වන සමහරුන්ට මාස හතක පමණ වැටුප් ලැබී නැති බව Equidem ප්‍රකාශ කරනවා.

විරෝධතාකරුවන් Al Shoumoukh Tower ඉදිරිපිට දෝහා හි C Ring මාවතේ මංසන්ධියක් අවහිර කර සිටින අයුරු දිස්වන වීඩියෝ පටයේ දැක්වෙන එම මාවතේ ප්‍රසිද්ධ සලකුණු අතර මාර්ගයේ ගමන් කරන්නන් දෙස බලා සිටින කටාරයේ පාලක Sheikh Tamim bin Hamad Al Thani එමිර්වරයාගේ දැවැන්ත ඡායාරූප කිහිපයක් ද දර්ශනය වනවා.

පෞද්ගලික අයිතියක් තිබෙන Al Bandary ජාත්‍යන්තර සමූහ ආයතනය වැටුප් ගෙවා නැති බව පිළිගත් කටාර් රජය කම්කරු අමාත්‍යංශය විසින් ප්‍රමාද වූ සියලුම වැටුප් සහ සේවක සුබසාධන ගෙවන බවට ප්‍රකාශ කර තිබෙනවා.

මේ සිද්ධිය ඇති වීමට පෙර සිට ම, කම්කරුවන්ගේ වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් මේ ආයතනය බලධාරීන්ගේ පරීක්ෂාවට ලක්ව තිබුණා. හිඟ වැටුප් ගෙවීම සඳහා ලබා දී තිබූ කාලසීමාව දැන් ඉක්මවා ගොස් ඇති බැවින් ඒ සම්බන්ධව වැඩිදුර ක්‍රියාමාර්ග ගන්නා බව රජය ප්‍රකාශ කර තිබෙනවා.

විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිසිය විසින් ඔවුන් වායු සමනය නොකෙරුණු, හුස්ම ගැනීමට අමාරු තරමේ රස්නයකින් යුත් ස්ථානයක රඳවා තබා ගෙන සිටි බව Qadri පවසනවා. ඒ වන විට දෝහා හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 41ක් (ෆැරන්හයිට් අංශක 105.8) වී තිබුණා. උෂ්ණත්වය වැඩි දේශගුණයක වැඩ වර්ජනය කළ හැකි නම් ඔවුන්ට වායු සමනයක් නැතිව නිදා ගත හැකි බවට පොලිසිය විරෝධතාකරුවන්ට පවසා ඇති බව ද Qadri විස්තර කර තිබෙනවා.

තමා සමඟ රැකියාව කරන බංග්ලාදේශය, ඊජිප්තුව, ඉන්දියාව, නේපාලය සහ පිලිපීනය යන රටවලින් පැමිණ සිටින 300 දෙනෙකු පමණ රැඳවුම් ස්ථානයේ දී දුටු බවත්, ඉන් සමහරුන්ට වැටුප් ගෙවා තිබෙන්නේ විරෝධතාවට පසුව වන අතර අනෙක් අයට තවමත් වැටුප් ගෙවා නැති බවත් අත්අඩංගුවේ පසුවන එක් කම්කරුවෙකු දුරකථනයෙන් Equidem අමතමින් කියා සිටි බවත් Qadri ප්‍රකාශ කරනවා.

අතීතයේ දී, අනෙක් ගල්ෆ් අරාබි රටවල් මෙන් කටාරය ද උද්ඝෝෂණය කරන්නන් රටින් පිටුවහල් කර තිබෙන අතර රැකියාව සමඟ නේවාසික වීසා සම්බන්ධ කර තිබෙනවා. වෘත්තීය සංගම් පිහිටුවීම දැඩි පාලනයකට යටත් කර ඇති අතර ඒකරාශි වීමේ සීමාසහිත අයිතිය ලබා දී තිබෙන්නේ කටාර් ජාතිකයන්ට පමණක් බවත් සඳහන් වෙනවා.

ජගත් පාපන්දු සම්මේලනය විසින් 2010 වසරේ දී කටාර් දේශයට ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ප්‍රදානය කිරීමෙන් පසුව රටේ රැකිරක්ෂා ක්‍රමවේදයේ තත්ත්වය දෙස සුපරික්ෂාකාරී බැලීමට රජය පියවර ගෙන තිබෙනවා. සේවකයන්ට ඔවුන්ගේ රැකියාවලින් ඉවත් විය හැකි ද පමණක් නොව ඔවුන්ට රටින් පිටවීම පවා තීරණය කිරීම හාම්පුතුන්ට අයිති වන පරිදි සේවකයා ඔහුගේ සේවාදායකයා සමග බැඳුණු ‘කෆාලා‘ රැකියා ක්‍රමවේදය අහෝසි කිරීම ද මේ නව පියවරයන්ට ඇතුළත්ව තිබුණා.

සේවකයන් සඳහා කටාරි රියාල් 1,000ක (ඩොලර් 275) අවම මාසික වැටුපක් ද නියම කර ඇති කටාරය ආහාර සහ නවාතැන් පහසුකම් වෙනුවෙන් අමතර දීමනාවක් ගෙවන ලෙසට ද නියම කර තිබෙනවා.

විශේෂයෙන් සේවකයන්ට කලට වේලාවට වැටුප් ලබා දීම සහ ඔවුන් සේවාදායකයන්ගේ හිරිහැරවලින් ආරක්ෂා කිරීම යන කාරණාවල දී මීට වඩා හොඳින් කටයුතු කරන ලෙසට Qadri වැනි දේශපාලනික ක්‍රියාකාරීන් කටාර් රජයෙන් ඉල්ලා තිබෙනවා.

කටාරයට ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමේ අවස්ථාව හිමිවීමෙන් පසුව එහි ක්‍රීඩාංගණ, හෝටල සියයකට ආසන්න ප්‍රමාණයක්, නව ගුවන් තොටුපලක්, නව උමං දුම්රිය පද්ධතියක්, නව මහාමාර්ග ගණනාවක් සහ අවසාන මහා තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය වටා සම්පූර්ණයෙන් ම අලුත් නගරයක් ඉදිකිරීම සඳහා ඒ රට දහස් සංඛ්‍යාත විදෙස් කම්කරුවන් සේවයට ගෙන තිබෙනවා.

තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ ඉදිකිරීමට පමණක් විදෙස් ශ්‍රමිකයින් 30,000ක් කුලියට ගෙන තිබෙන බව කටාර් රජය පවසනවා. මෙයින් වැඩි දෙනා පැමිණ සිටින්නේ බංග්ලාදේශය, ඉන්දියාව, නේපාලය සහ පිලිපීන දූපත්වලින්.

මේ කම්කරු සේවකයින්ට ලැබෙන පහත් සැලකීම හා එහි මියගිය ගණන සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධාන නැවත නැවත චෝදනා කර තිබෙනවා. කම්කරුවන් 60 දෙනෙකු පසුගිය දා පැවැත්වූ උද්ඝෝෂණය මෙහි අලුත් ම තත්ත්වයයි.

කම්කරුවන්ගෙන් බලෙන් වැඩ ගැනීම සම්බන්ධයෙන් 2016 වසරේ දී Amnesty International සංවිධානය කටාරි ආයතනවලට චෝදනා කර තිබෙනවා. බොහෝ සේවකයින් ජීවත් වන්නේ අපිරිසිදු ස්ථානවල බව පවසා ඇති එම සංවිධානය රැකියාව ලබා දීම වෙනුවෙන් මුදලක් ඔවුන්ගෙන් බලෙන් අයකර ගන්නා බවත්, ඔවුන්ගේ වැටුප් රඳවා තබාගෙන ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්  බලයෙන් සතුකර ගෙන සිටින බවත් ප්‍රකාශ කර තිබුණා.

වසර 2017 සිට කටාර් රජය විදෙස් ශ්‍රමිකයන් උෂ්ණත්වය ඉතා අධික දේශගුණයක වැඩ කිරීමෙන් ආරක්ෂා කිරීම, ඔවුන්ගේ සේවා පැය ගණන සීමා කිරීම සහ කම්කරුවන්ගේ සේවා කඳවුරුවල තත්ත්වයන් දියුණු කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, Human Rights Watch සංවිධානය පසුගිය වසරේ නිකුත් කළ වාර්තාවකින් දැක්වුණේ විදෙස් කම්කරුවන් තවමත් ඉතා දැඩි සහ නීති විරෝධී ලෙස වැටුපෙන් ‘අය බදු‘ අඩු කර ගැනීම්වලින් තවමත් පීඩා විඳින බව සහ අතිශය වෙහෙසකර දීර්ඝ පැය ගණනක සේවය සඳහා මාස ගණනින් වැටුප් ලැබී නැතිව අසරණව සිටින බවයි.

International Labor Organization (ILO) වැනි සංවිධානවල පීඩනය හමුවේ කටාර් රජය ‘කෆාලා‘ රැකියා ක්‍රමය අහෝසි කළ ද, බලෙන් වැඩ ගැනීම කටාරයේ තවමත් පවතින බව Amnesty International සඳහන් කරනවා.

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලබා ගැනීමේ උත්සාහය ජය ගැනීමෙන් පසුව ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව යන රටවල සංක්‍රමික කම්කරුවන් 6,500ක් කටාරයේ දී මිය ගොස් ඇති බව The Guardian පසුගිය වසරේ පෙබරවාරියේ අනාවරණය කළා. ඔවුන් මේ සංඛ්‍යාව සඳහා පාදක කරගෙන තිබුණේ කටාරයේ ඇති ඒ ඒ රටවල තානාපති කාර්යාල විසින් ලබා දී තිබූ දත්තයි.

කෙසේ වෙතත්, වාර්තා වී තිබෙන‍ මේ සියලෙු මරණ ලෝක කුසලාන තරගාවලියට සම්බන්ධ ව්‍යාපෘතිවල සේවය කරන පුද්ගලයන්ගේ නොවන නිසා මේ සංඛ්‍යාව නොමඟ යවන සුළු එකක් බව කටාර් රජය පවසා තිබෙනවා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<