තවමත් ජීවමාන මෙසීගේ ලෝක කුසලාන අවසාන නර්තනයේ සිහිනය

FIFA World Cup 2022

819
Messi’s last dance in World Cup

ආජන්ටිනාව ලෝක කුසලානයේ කීර්තිය කරා මෙහෙයවීමේ Lionel Messiගේ යාව ජීව සිහිනය කටාර් 2022 තරගාවලියේ අවසාන දිනය දක්වා ම ප්‍රාණවත්ව තිබෙනු ඇත.

ඒ, විඩාපත් පෙනුමකින් යුක්තව සිටි ක්‍රොඒෂියානු කණ්ඩායම ගෝල 3-0කින් අවසන් පූර්ව තරගයේ දී පරාජය කිරීමෙන් පසුව.

මේ ජයග්‍රහණයත් සමඟ ආජන්ටිනාව හයවැනි වතාවටත් ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසාන මහා තරගයට පිවිසීමට සමත්ව සිටිනවා.

පළමුව මෙසීගේ පැනල්ටියෙන් සහ දෙවනුව Julian Alvarezගේ තනි වෑයමේ ගෝලය හේතුවෙන් විවේක කාලය එළඹෙන විට ආජන්ටිනාව තරගය සිය අණසකට යටත් කරගෙන සිටි අතර නැති වූ දේ ආපසු ලබා ගැනීමක් ක්‍රොඒෂියාවෙන් දිස්වුනේ ම නැහැ.

මෙසීගේ ආශ්චර්යජනක සහයෝගයකින් තරගයේ දෙවැනි භාගයේ දී Alvarez ආජන්ටිනාවේ තෙවැනි ගෝලය වාර්තා කරමින් ජයග්‍රහණය තහවුරු කළේ මේ දකුණු ඇමෙරිකානු කණ්ඩායමට සහ එහි 35 හැවිරිදි නායකයාට 2014 ලෝක කුසලාන අවසාන තරග පරාජයේ යක්ෂයින් පලවා හැරීමට මෙන් ම 1986න් පසුව ආජන්ටිනාවේ පළමු ලෝක කුසලානය හිමික‌ර ගැනීමට ද අවස්ථාවක් උදා කරමින්. Alvarez මේ තරගයේ දී ගෝල ද්විත්වයක් වාර්තා කිරීම විශේෂත්වයක්.

මෙසීට තරගයේ සමහර තැන්වල දී ඔහුගේ වම් කලවේ නහරයේ ආබාධය දැනෙමින් තිබුනත් ඔහු අපහසුවෙන් සිටින බවට කාටත් සිතා ගත නොහැකි වූයේ ඔහු ආජන්ටිනාවේ තෙවැනි ගෝලය නිර්මාණය කිරීම පිණිස මේ තරගාවලියේ සිටින ඉතාම දක්ෂ ආරක්ෂක ක්‍රීඩකයෙකු වන Josko Gvardiol මුලා කළ ආකාරය ඇතුළු මුළු තරගයේ දී ම ඔහුගෙන් දිස්වුනු කැපී පෙනෙන ක්‍රීඩාව නිසා.

මෙසී ඔහුගේ ක්‍රීඩා දිවියේ සැඳෑ සමයට පිවිසෙමින් සිටින හෙයින් ඔහුගේ මනුෂ්‍යත්වය ඉක්මවූ ජවය සැකයකින් තොරව ක්ෂය වේගෙන යමින් තිබුනත් තම රටට තමාව වඩාත් ම අවශ්‍ය මොහොතේ දී ශ්‍රේෂ්ඨ ක්‍රීඩාවක් ලබා දීමේ හැකියාව ‌මේ පුංචි මැජික්කාරයා සතුව තවමත් තිබෙනවා.

මේ ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ දී මෙක්සිකෝවට එරෙහිව ඔහු ලබා ගත් ගෝලය, අර්ධ අවසන් පූර්ව තරගයේ දී නෙදර්ලන්තයට එරෙහිව ගෝලයක් ලබා ගැනීම පිණිස ඔහු දුන් උපකාරය සහ අඟහරුවාදා ක්‍රොඒෂියාවට එරෙහි අවසන් පූර්ව තරගයේ ඔහුගේ සමස්ත ක්‍රීඩාව මගින් මෙසී දෙවියකුට සමාන ලෙසින් සලකන මිලියන 45කින් යුත් රටකට අමතක නොවන අවස්ථාවන් බොහොමයක් ලබා දී තිබෙනවා.

කටාර් හි තිබෙන ආජන්ටිනා තානාපති කාර්යාලයට අනුව ආජන්ටිනා ක්‍රීඩාලෝලීන් 40,000ක් මේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වෙනුවෙන් කටාර් දේශයට පැමිණ තිබෙන අතර අඟහරුවාදා රාත්‍රියේ Lusail ක්‍රීඩාංගණයෙන් නැගුණු මහා ශබ්දයෙන් දැනුණේ ඒ සියලු දෙනාම ක්‍රීඩාංගණය තුළ සිටින බවක්.

තරගයේ අතිරේක කාලයේ ගැඹුරට ඔරලෝසුව පිවිසෙමින් ආජන්ටිනා ජයග්‍රහණය සැකයකින් තොර තත්ත්වයට පත්ව තිබිය දී ආජන්ටිනා බංකුව සහ පුහුණුකාර සේවක මණ්ඩලය ද නරඹන්නන්ගෙන් නැගුණු රිද්මීය ගීත ගායනයට සම්බන්ධ වීමට පටන් ගත්තා.

තරගයේ අවසාන විසිල් හඬ නිකුත් වීමෙන් පසුව ආජන්ටිනා ක්‍රීඩකයන් නිල් සහ සුදු පැහැති කමිසවලින් යුත් දැවැන්ත මිනිස් පවුර ඉදිරියේ සිට ගනිමින් ඔවුන්ගේ ආදරණීය ක්‍රීඩාලෝලීන්ගේ අධික ප්‍රශංසාව පිලිගත්තා.

මීට සති තුනකට පමණක් පෙර සිය ආරම්භක මූලික වට තරගයේ දී සෞදි අරාබියට ගෝල 2-1කින් පරාජය වූයේ මේ කණ්ඩායම ම ද කියා විශ්වාස කළ නොහැකි තරම් ය. එදා ආජන්ටිනා කණ්ඩායමේ උනන්දුවක් සහ ප්‍රබෝධයක් නැති ක්‍රීඩාවේ තරම කොතරම් ද කිවතොත් ඔවුන් මූලික වටයෙන් ම තරගාවලියෙන් ඉවතට විසි වනු ඇතැයි සමහරු කල්පනා කරන්නට වුනා.

ආජන්ටිනාව ඔවුන්ගේ පළමු තරගයේ දී ම මේ ආකාරයෙන් ම කැමරූන් විසින් අන්දමන්ද කළේ 1990 වසරේ ලෝක කුසලාන තරගාවලියේ දී. එහෙත් අවසාන තරගයට ගිය ආජන්ටිනාව එහි දී ගෝල 1-0කින් බටහිර ජර්මනියට පරාජය වුනා.

දැන්, ඊට වඩා එක් පියවරක් ඉදිරියට තබමින් ප්‍රංශයට හෝ මොරොක්කෝවට එරෙහිව ජයග්‍රහණයක් ලබා තමන් වඩාත් ම ආශාවක් දක්වන කුසලානය දිනා ගැනීමේ තවත් එක ම එක අවස්ථාවක් මෙසීට උදා වී තිබෙනවා.

ආජන්ටිනාවේ Lionel Messi සහ ක්‍රොඒෂියාවේ Luka Modric යන නායකයන් දෙදෙනා ම ඔවුන්ගේ රටවල් පරාජිත ලෝක කුසලාන පාපන්දු අවසාන තරග සඳහා මෙහෙයවා තිබෙන අතර පාපන්දුවේ වඩාත් ම අගනා ත්‍යාගය අත්කර ගැනීම සඳහා අවසාන අවස්ථාව දැන් මේ දෙදෙනා අතරින් මෙසීට ඉතිරි වී තිබෙනවා.

මේ කණ්ඩායම් දෙකෙන් එකක් හෝ 2022 කටාර් ලෝක කුසලා තරගාවලියට පෙර එහි ජයග්‍රාහී ජනප්‍රිය කණ්ඩායම් ලෙසින් සැලකුණේ නැහැ. නමුත් ක්‍රොඒෂියාව මීට සිව් වසරකට පෙර ලෝක කුසලාන අවසාන තරගයට පිවිසෙමින් ලෝකය මවිත කළ අතර මෙවර ද නැවත වතාවක් එවැනි විස්මිත දෙයක් කළේ කටාර් හි මීට කලින් වටයේ දී දැඩි අධිෂ්ඨානය ප්‍රදර්ශනය කරමින් මේ තරගාවලියට පෙර ජනප්‍රිය කණ්ඩායමව සිටි බ්‍රසීලය පැනල්ටි මගින් පරාජය කරමින්.

ක්‍රොඒෂියාවේ සුපිරි පාපන්දු තරුවක් මෙන් ම මිලියන හතරකටත් අඩු ජනගහණයක් තිබෙන කුඩා Balkan රටේ ජීවමාන පුරාවෘත්තයක් වන Modric වැදගත් තරගවල දී ප්‍රබල සටන්කාමී ක්‍රීඩකයෙකු වන අතර Mateo Kovacic සහ Marcelo Brozovic සමඟ කටාර් තරග බිමේ සිටින හොඳ ම මැදපෙළක් ලෙසින් සලකනු ලබනවා.

තරගාවලිය වයස්ගත වෙද්දී ආජන්ටිනාව ද දියුණුවට පත්ව සිටිනවා. ඊටත්, සෞදි අරාබිය හමුවේ ලැබූ විස්මිත පරාජයෙන් පසුව ආජන්ටිනාවට ඊටත් වඩා ගැඹුරට වැටෙන්න තරම් තවත් පහළ අඩියක් තිබුණේ නැහැ.

එදා සෞදි අරාබිය සමග තරග වැදුණු ආජන්ටිනා කණ්ඩායම සහ අද සිටින කණ්ඩායම හඳුනා ගැනීමට නොහැකි තරමට වෙනස්. ආජන්ටිනා කණ්ඩායම දැන් විශ්වාස කරන්නේ Lionel Messiගේ අවසාන ලෝක කුසලාන නර්තනය මේ ඉරිදා කීර්තියෙන් අවසන් වන අත්පිටපත දැනටමත් ලියා ඇති බව.

ක්‍රොඒෂියාවට එරෙහි අවසන් පූර්ව තරගයේ ගෝල ලබා ගැනීම ආරම්භ කරමින් මෙසී සාර්ථකව එල්ල කළ පැනල්ටිය මෙසීගේ 11 වැනි ලෝක කුසලාන ගෝලය වූයේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිවල එදාමෙදාතුර ආජන්ටිනාවේ වැඩි ම ගෝල ලාභියා ලෙස ඉතිහාසගත වෙමින්. මෙසී අභිබවා ගියේ Gabriel Batistutaගේ වාර්තාව.

ලෝක කුසලානය දිනා ගැනීමේ අනෙකුත් තරගකරුවන්ට සාපේක්ෂව බාල මට්ටමේ තරගකරුවෙකු ලෙසින් බොහෝ දෙනා විසින් පසෙකට දමා තිබූ ආජන්ටිනාව කටාර් හි අවසාන මහා තරගයට පිවිසෙනු ඇතැයි උපකල්පනය කෙරුණේ නැහැ. එහෙත් මෙය තමන්ගේ ම ලෝක කුසලාන තරගාවලියක් බවට පත් කර ගෙන සිටින අධිෂ්ඨානයෙන් සහ තනි මතයෙන් යුත් මෙසී එය එසේ සිදු වන බවට වග බලා ගෙන තිබෙනවා.

එළඹෙන ඉරිදා අවසාන මහා තරගය ද පැවැත්වීමට නියමිත 89,000කට තරග නැරඹිය හැකි ලුසේල් ක්‍රීඩාංගණයේ පැවති ආජන්ටිනා – ක්‍රොඒෂියා තරගයේ ක්‍රොඒෂියානු ආධාරකරුවන් ඉක්මවා සිටියේ ආජන්ටිනා ක්‍රීඩාලෝලීන්.

ප්‍රවේශ පත්‍ර නැති ක්‍රීඩාලෝලීන් සඳහා මධ්‍යම දෝහා හි පිහිටුවා තිබෙන FIFA Fan Festival භූමියේ ද ක්‍රොඒෂියානුවන්ට වඩා ඉතාමත් වැඩි ආජන්ටිනා සෙනඟක් ප්‍රීති ඝෝෂා පවත්වමින් සිටියා. ආජන්ටිනාවේ උමතු ජය ඝෝෂාව කටාර් දේශය ට පමණක් සීමා නොවී මව්රටේ ද දෝංකාර වුනා.

2018 වසරේ රුසියාවේ දී අවසාන කණ්ඩායම් හතර ට පිවිසි ක්‍රොඒෂියාව තවත් විස්මිත ක්‍රීඩාවක නියැලෙමින් නැවත වතාවක් අවසන් පූර්ව වටයට පිවිසෙනු නැරඹූ ක්‍රොඒෂියානු ක්‍රීඩාලෝලීන් තම කණ්ඩායම මෙවර තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා තරග කරනු නැරඹීම පිණිස තවත් වතාවක් ඔවුන්ගේ ජාතික කොඩි ලෙලවමින් ක්‍රීඩාංගණයට පැමිණෙනු ඇත.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<