අහම්බයක් නොවන මොරොක්කෝවේ ලෝක කුසලාන සාර්ථකත්වය

FIFA World Cup 2022

652
Morocco’s World Cup success

පැය තුනක් තිස්සේ එක දිගට නොවෙනස්ව පැවති ඝෝෂාවෙන් පසුව Education City ක්‍රීඩාංගණය පුස්තකාලයක වැනි නිශ්ශබ්දතාවකට පත්වූයේ Achraf Hakimi පැනල්ටිය එල්ල කිරීමට සූදානම් වූ අවස්ථාවේ දීයි.

Hakimi ඉපදුණේ ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් අගනුවර වූවත්, ඒ මොහොතේ මුළු මහත් අප්‍රිකාවේත්, අරාබි ලෝකයේත් බර පැටවී තිබුණේ ඔහු කර මත. එහෙත් මේ Paris Saint-Germain සමාජ ක්‍රීඩකයා දැල තුලට පන්දුව යැවුවේ ඉතාමත් සන්සුන් විලාසයෙන්. ඒ සමඟ ම ක්‍රීඩාංගණය පමණක්‌ නොව මොරොක්කෝව සහ මොරොක්කානු ඩයස්පෝරාවත් උත්සව සිරියෙන් උමතුවට පත්වුනා.

මෙය මොරොක්කෝවටත්, අප්‍රිකාවටත්, අරාබි ජාතිකයන්ටත් ‌ඉතිහාසගත දිනයක් වුනා. මොරොක්කෝ කණ්ඩායම 2010 ලෝක කුසලාන ජයග්‍රාහකයින් වන ස්පාඤ්ඤය අන්දමන්ද කරමින් 2022 කටාර් ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයට ඇවිත්. මෙහි තිබෙන වැදගත්කම පිළිබඳව සඳහන් කිරීමට ප්‍රධාන පුහුණුකරු Walid Regraguiට අමතක වුනේ නැහැ.

“මීට පෙර අපට ‘සපෝට්’ කළේ මොරොක්කෝ ජනතාව පමණයි. දැන් අප්‍රිකානුවන් සහ අරාබිවරුනුත් අපට සහාය පල කරනවා,” යැයි ඔහු ස්පාඤ්ඤය සමඟ තරගයට පෙර පවසා සිටියා.

මේ උතුරු අප්‍රිකානුවන් ලෝක කුසලාන තරගාවලියක එදාමෙදාතුර ඔවුන්ගේ පළමු knockout තරගය ජය ගැනීම බොහෝ දෙනෙකුට ලෝක කුසලාන තරගාවලියේ විස්මය දනවන සිදුවීමක් වුනා. එහෙත් ලෝක පාපන්දුවේ වඩාත් ම වටිනා තරගාවලියේ අවසාන කණ්ඩායම් අට දෙනා අතරට මොරොක්කෝව පිවිසුණේ කෙසේ ද?

මොරොක්කෝ කණ්ඩායම කටාර් 2022 සුදුසුකම් ලබා ගැනීමේ වටය හරහා ගෙන ආ බොස්නියානු පුහුණුකරු Vahid Halilhodzic ලෝක කුසලාන තරගාවලියට මාස තුනකට වැඩි කාලයක් පමණක් ඉතිරිව තිබිය දී නෙරපා හැරීමට මොරොක්කෝ පාපන්දු සම්මේලනය ගත් තීරණයෙන් බොහෝ දෙනාගේ ඇස් උඩ ගියා.

නමුත් ඒ වෙනුවට Regraguiගේ පැමිණීම මොරොක්කානුවන්ට නම් මොරොක්කෝවේ පාපන්දු පුහුණු කිරීමේ ඔටුන්න හිමි උරුමක්කාරයා නියම වෙලාවට ඔහුගේ තැන ගැනීමක් වුනා.

අලිගැටපේර ගෙඩියක් වැනි තට්ට හිස නිසා Rass l’Avocat (Avocado Head) යන ආදරණීය හුරතල් නාමයෙන් හඳුන්වනු ලබන Regragui ප්‍රබල ආරක්ෂක ක්‍රීඩකයෙකුව සිටි අතර ප්‍රංශයේ උපත ලබා තිබුනත්, තමන්ගේ පවුලේ රට නියෝජනය කිරීම තෝරා ගත් ඔහු තරග 45කට ක්‍රීඩා කර තිබෙනවා.

Feature Article of Morocco’s World Cup successපුහුණුකරු බවට පත්වීමෙන් පසුව Regragui ඔහු ගිය සෑම තැනක ම සාර්ථකත්වය භුක්ති විඳ තිබෙන්නේ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ මැද සිටි මොරොක්කානු ක්‍රීඩා සමාජයක් වන FUS Rabat ඔවුන්ගේ එක ම ලීග් ශූරතාව වෙත ගෙන යමින්.

කටාර් හි කෙටි කාලයක් ගත කරමින් Al Duhail ක්‍රීඩා සමාජය සමග ලීග් තරගාවලිය ජය ගැනීමෙන් පසුව නැවත මොරොක්කෝවට ගිය ඔහු Wydad Cassablanca කණ්ඩායම මේ වසර මුලදී ලීග් සහ චැම්පියන්ස් ලීග් යන ද්විත්ව ශූරතා කරා මෙහෙයවීමට සමත් වුනා.

කටයුත්ත වී තිබුණේ ඔහු මොරොක්කෝවේ ජාතික පාපන්දු කණ්ඩායම බාර ගන්නේ කවදාද යන්න මිස ඔහු එය බාර ගනීවි ද කියා නෙවෙයි. බොහෝ මොරොක්කානුවන් සිතුවේ එය ලෝක කුසලාන තරගාවලියෙන් පසුව හෝ වසර කිහිපයකට පසුව හෝ සිදු වනු ඇතැයි යනුවෙන් වුව ද, කටාර් 2022 ලෝක කුසලාන තරගාවලියේ මොරොක්කෝවේ පළමු තරගයට දින 100කට වඩා අඩුවෙන් තිබිය දී ඔහු ජාතික කණ්ඩායම බාර ගන්නා බවට නිවේදනය කරද්දී කිසිම කෙනෙක් අසතුටට පත්වුනේ නැහැ.

අප්‍රිකානු පාපන්දු ක්ෂේත්‍රයේ Regragui බොහෝ විට Jose Mourinho සමඟ සසඳා බැලුණේ ඔහුගේ උපායශීලී සංයමය සහ සුවිශේෂ මිනිස් කළමනාකරණ හැකියාවන්ට ස්තූතිවන්ත වන්නට. මේ දෙදෙනා ම ලෝක කුසලාන තරගාවලියට පෙනී සිට තිබෙනවා.

දැන් පැවැත්වෙන තරගාවලියේ දී මොරොක්කෝව මිනිත්තු 400කට වැඩි පාපන්දු ක්‍රීඩාවක් කර තිබෙන අතර පැනල්ටි shootout එකක් සමඟ ද ගනුදෙනු කර තිබෙනවා. එසේ තිබිය දීත් ඔවුන් ලබා දී ඇත්තේ එක ම එක ගෝලයක් පමණයි. එය ද කැනඩාව සමඟ පැවති මොරොක්කෝ කණ්ඩායමේ අවසාන F කොටසේ තරගයේ දී තම කණ්ඩායමේ ක්‍රීඩකයෙකුගෙන් ම සිදු වූ (own goal) අවාසනාවන්ත ගෝලයක්.

ස්පාඤ්ඤයට එරෙහි ප්‍රබෝධමත් penalty shootout ජයග්‍රහණයෙන් පසුව Regragui නරඹන්නන් සිටින ක්‍රීඩා මණ්ඩපය වෙත දුවමින් එහි සිටි ඔහුගේ මව වැළඳ ගෙන සිප ගන්නා අයුරු දිස්වන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වුනා.

Regragui ප්‍රංශයේ උපන් මොරොක්කානුවෙක්. ඔහු එකතු කරගෙන තිබෙන්නේ ලෝක කුසලාන තරගාවලියේ සිටින ජාතික වශයෙන් වඩාත් ම අසමාන කණ්ඩායමක්. ක්‍රීඩකයන් 26 දෙනාගෙන් 14 දෙනෙකු ම උපත ලබා තිබෙන්නේ මොරොක්කෝවෙන් පිට විවිධ රටවල් හයක. ඔහු ලොව වටා සිටින මේ ක්‍රීඩකයන් සුමුදු ලෙසින් එකට එකතු කර ගැළපෙන සංචිතයකට ගෙනැවිත් තිබෙනවා.

ක්‍රීඩකයන් සති ගණන් ඔවුන්ගේ නිවෙස්වලින් බැහැරව සිටින බැවින් ලෝක කුසලාන තරගාවලි යාත්‍රා කිරීමට දුෂ්කර වූ නෞකාවක් විය හැකි වූව ද Regragui එයට පිළියමක් යොදා තිබෙන්නේ ක්‍රීඩකයන්ගේ පවුල්වලටත් කණ්ඩායම සමග කටාර් හි කඳවුරේ සිටීමට අවසර ලබා දෙමින්.

Regragui ඔහුගේ මව සිප වැළඳ ගන්නා හැඟීම්බර වීඩියෝව මෙන් ම තවත් හද උණුසුම් කරවන ලෝක කුසලාන ඡායාරූපයක් වූයේ ස්පාඤ්ඤයට එරෙහි මොරොක්කෝවේ ජයග්‍රහණයෙන් පසුව Hakimi ඔහුගේ මව සිප ගන්නා මොහොත. ස්පාඤ්ඤය ඔවුන්ගේ පැනල්ටි තුන ම අසාර්ථක කර ගනිද්දී මොරොක්කෝවේ ජයග්‍රාහී පැනල්ටිය ලබා ගත්තේ Hakimi.

Feature Article of Morocco’s World Cup successසිය පවුල් සමග සිටියේ ක්‍රීඩකයන් පමණක් නෙවෙයි. නරඹන්නන් අතර සිටින තම මව වන ෆාතිමා හමුවට Regragui පැමිණීම ඇයට කොතරම් වටිනාකමක් ගෙන දුන්නේ ද කියා ෆාතිමා මොරොක්කෝ නිවේදක Arriyadiaට විස්තර කර දුන්නා.

“ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු ලෙස මම කවදාවත් ඔහුව බලන්න ගිහින් නැහැ,” යැයි ෆාතිමා පැවසුවා. “මම දැන් අවුරුදු 50කට වැඩියෙන් ප්‍රංශයේ ජීවත් වෙමින් සිටිනවා. මම පැරීසියෙන් පිටව ආපු පළමු තරගාවලිය මෙයයි.”

Atlas Lions ලෙසින් හැඳින්වෙන මොරොක්කෝ ජාතික පාපන්දු කණ්ඩායමේ කටාර් 2022 ලෝක කුසලාන තරගාවලියේ සාර්ථකත්වය සම්බන්ධයෙන් Royal Moroccan Football Federationට (FMRF) ද ගෞරවය හිමි විය යුතුයි.

දශක ගණනාවක සාමාන්‍ය පාපන්දු ක්‍රීඩාවකින් පසුව රටේ පාපන්දු ආකෘතිය ප්‍රතිසංස්කරණය කිරීමට FMRF තීරණය කළේ Mohammed V1 රජාගේ ආධාරය ඇතිව.

Nayef Aguerd සහ Youssef En-Nesryi වැනි වර්තමාන ජාත්‍යන්තර ක්‍රීඩකයන් දියුණු කිරීමට උපකාරී වීමට මෙන් ම මොරොක්කානු ඩයස්පෝරාවේ දක්ෂතාවන් ඉස්මතු කර ගැනීම පිණිස යුරෝපයේ සිටින සුදුසුකම් ඇති තරුණ ක්‍රීඩකයන් සොයා ගැනීම සඳහා මුදල් ගෙවා පුද්ගලයන් සේවයට ගනිමින් FMRF වසර 2009 දී ඔවුන්ගේ ජාතික පාපන්දු ඇකඩමිය වන Mohamed V1 පාපන්දු ඇකඩමිය විවෘත කළා.

සම්මේලනය කාන්තා පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් ද ආයෝජනය කිරීම ආරම්භ කළේ පාසල් සහ ක්‍රීඩා සමාජවල පාපන්දු ක්‍රීඩාව සංවර්ධනය කිරීමට මෙන් ම ජාතික ලීග් ආකෘතියක් නිර්මාණය කිරීම සඳහා ද මුදල් යොදවමින්. FMRF මුදල් ආධාර සමගින් මොරොක්කෝව වර්තමානයේ සම්පූර්ණයෙන් ම වෘත්තීය වූ කාන්තා පාපන්දු ශ්‍රේණි දෙකක් පවත්වා ගෙන යන ලෝකයේ එක ම රට බවට පත්ව සිටිනවා.

මොරොක්කෝවේ Rabat අගනුවරට යාබදව පිහිටා තිබෙන Mohamed V1 පාපන්දු සංකීර්ණය මොරොක්කෝවේ පාපන්දු ආයෝජනයේ ආභරණය යි.

මේ පුහුණු සංකීර්ණය තරු පහේ හෝටල හතරක්, FIFA මට්ටමේ පිට්ටනි (මෙයින් එකක් දේශගුණය පාලනය කරන ගොඩනැගිල්ලක පිහිටි ගෘහස්ථ පිටියක්) මෙන් ම දන්ත වෛද්‍යවරයෙකු ද ඇතුළුව වෛද්‍ය පහසුකම්වලින් සමන්විතයි.

පසුගිය දශකයේ කෙරුණු ඒ ආයෝජනයේ අස්වැන්න නෙලීම දැන් ආරම්භ වී තිබෙනවා.

ඉතිහාසයේ ප්‍රථම වතාවට, මොරොක්කානු පාපන්දු ක්‍රීඩා සමාජ අප්‍රිකානු චැම්පියන්ස් ලීග් පිරිමි සහ කාන්තා ශූරතා හිමිකරුවන් මෙන් ම අප්‍රිකාවේ Europa ලීගයේ පිරිමි Confederations කුසලානයේ ද හිමිකරුවන් වී සිටිනවා.

ලෝක කුසලානයේ මොරොක්කෝවේ සාර්ථකත්වය එම තරගාවලියේ මෙතෙක් ඇසෙන හොඳම කතාන්දරය වීමට ඉඩ තිබෙනවා. නමුත් එය වාසනාව සහ අධිෂ්ඨානයට වඩා කෘතහස්තභාවය සහ සැලසුම්කරණයේ ප්‍රතිඵලයක්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<