යුද පිටියක හැදී වැඩී පාපන්දු පිටියට ආ Luka Modrić

443

“අපි පාපන්දු පුහුණුවීම්වලට යනවා, ටික වෙලාවකින් අහසින් බෝම්බ වැටෙනවා, අපි පුහුණුවීම් අතෑරලා කොහේ හරි ගිහිං හැංගෙනවා. මේක මගේ කුඩා කාලයේ මිලියන වතාවක් විතර වෙලා ඇති,” ක්‍රොඒෂියානු යුද්ධය නිසා අනාථ කඳවුරුවල තම ළමා කාලය ගෙවපු Luka Modric සිය අතීතය මතක් කරන්නේ ඒ විදිහට!

අද වෙද්දී Luka Modrić කියන්නේ කවුද කියලා අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ, පාපන්දු ක්‍රීඩකයෙක් විදිහට Luka Modrić කියන්නේ මොන වගේ දක්ෂතාවක් පෙන්වපු කෙනෙක් ද කියලත් අමුතු වෙන් විස්තර කරන්න අවශ්‍ය නැහැ.

පාපන්දු ක්‍රීඩාවේ ඉහළතම සම්මානයක් විදිහට පිළිගැනෙන Ballon d’Or සම්මානය 2007 වර්ෂයේ දී දිනා ගන්නේ බ්‍රසීල ක්‍රීඩක Kaka විසින්, හැබැයි එදයින් පස්සේ 2021 වෙනකම් 12 වතාවක් මේ සම්මානය දිනා ගන්නේ ක්‍රීඩකයින් දෙදෙනක් විසින්. ඒ තමයි පාපන්දු ලෝකයේ ශ්‍රේෂ්ඨතම ප්‍රතිවාදීන් දෙදෙනා වුනු Cristiano Ronaldo සහ Lionel Messi.

හැබැයි 2018 දී මේ දෙන්නට ම ඔය සම්මානය හිමි වෙන්නේ නැහැ, 2018 Ballon d’Or සම්මානය දිනා ගන්න සමත් වුනේ අපේ කතා නායකයා Luka Modrić විසින්.

Modrić කියන්නේ කවුද කියලා හඳුන්වා දෙන්න ඊටත් වඩා හොඳ විදියක් නැහැ.

අන්න ඒ Modrićගේ ළමා කාලය, එහෙම නැත්නම් පාපන්දු ක්‍රීඩකයෙක් විදිහට අත්පොත් තියපු කාලය පුදුම තරම් දුෂ්කර කාලයක්.

කෙනෙකුට කියවලා පුදුම වෙන්න හිතෙන ළමා කාලයක් ඔහු ගත කරනවා.

මේ කතාව Luka Modricගේ ළමා කාලය ගැන!

Luka Modricගේ කතාව පටන් ගැනෙන්නේ 1985 සැප්තැම්බර් 09 වැනිදා ඉඳන්. ඔහු උපත ලබන්නේ ක්‍රොඒෂියාවේ Hamlet වල දී.

අපිට Modrićගේ ළමා කාලය ගැන කතා කරද්දී අත්හැරලා දාන්න බැරි දේ තමයි ක්‍රොඒෂියානු නිදහස් සටන කියන්නෙ.

නිදහස සඳහා වූ ක්‍රොඒෂියානු සටන (Croatian war of independence)

පළමු ලෝක යුද්ධය නිසා 1918 දී රටවල් කිහිපයක් එකතුවෙන් බිහි වෙන යුගොස්ලාවියාව කියන්නේ ආරම්භක පාපන්දු ලෝක කුසලාන තරගාවලි වල ඉතා හොඳ දස්කම් පෙන්වපු රාජ්‍යයක්.

එදා මේ රට හැඳින්වුණේ යුගොස්ලාවියානු සමාජවාදී ෆෙඩරල් ජනරජය යන නමින්. යුගොස්ලාවියානු හිටපු අගමැති Marshal Titoගේ Oqරය නිමdවීමත් එක්ක මේ එකිනෙකට වෙනස් සංස්කෘතීන් සහිත රටවල් ගණනාවක් එකතු වෙලා හැදුණු රාජ්‍යය වෙන් වෙන්න පටන් ගත්තා.

ඒ වෙන් වීමේ එක කොටසක් තමයි 1991-95 කාල සීමාව තුල ක්‍රොඒෂියාව යුගොස්ලාවියාවෙන් වෙන් වෙලා ස්වාධීන රාජ්‍යයක් විදිහට ස්ථාපිත වෙන්න දැරූ සටන එහෙම නැත්නම් ක්‍රොඒෂියානු නිදහස් සටන විදිහට හඳුන්වන්නේ.

(යුගොස්ලාවියාව පස්සේ ස්ලෝවේනියාව, ක්‍රොඒෂියාව, බොස්නියාව, සර්බියාව, මැසිඩෝනියාව වගේ රටවල් ගණනකට බෙදිලා වෙන් වුනා. වැදගත් ම දේ තමයි මේ ගොඩක් රටවල් තවමත් පාපන්දු ක්‍රීඩාවේ සාපේක්ෂව හොඳ දස්කම් පෙන්වන රටවල් වීම.)

1991 දී ආරම්භ වුනු 1995 දී අවසන් වුනු මේ සටන එහෙම නැත්නම් යුද්ධය නිසා ක්‍රොඒෂියාවට නිදහස හිමිවුන අතරේ ම ජීවිත ගණනාවක් අහිමි වුනා.

ඒ ජීවිත දාස් ගණන අතරෙන් එක අයෙක් වුනේ Luka Modrićගේ සීයා, ඔහුගේ නමත් Luka මයි.

අපේ කතානායක Modrić හැදී වැඩෙන්නේ ඔහුගේ සීයා එක්ක, ඒත් සර්බියානු සටන්කාමීන් විසින් සීයාව මරලා දාලා ඔවුන් ජීවත් වුනු ගෙදර ගිනිබත් කලයින් පස්සේ Lukaට සිද්ධ වෙනවා තමන්ගේ දෙමාපියන් එක්ක අනාථ කඳවුරු වල ජීවිතය ගත කරන්න.

Lukaගේ සීයාට සහ ඔහුගේ නිවහනට සිදු වුන ඛේදවාචකයෙන් පස්සේ Luka තමන්ගේ දෙමාපියන් එක්ක ක්‍රොඒෂියාවේ Zadar නගරයට අවතැන් වූ වන් විදිහට එන්නේ ඒ විදිහට.

පුංචි Modrićගේ කතාව වෙනස් වෙන්න පටන් ගන්නෙත් එතැනින්.

ඉන්න තැන වෙනස් වුනා වුනත්, පුංචි Modrićගේ ජීවිතයට අහසින් වැටුණු බෝම්බවල කිසිම අඩුවක් නොවුනු තරම්. ඒ වගේ වටපිටාවක ඔහුගේ පියාට සිදු වෙනවා ක්‍රොඒෂියානු හමුදාවේ ගුවන් යානා කාර්මිකයෙක් විදිහට අලුත් රැකියාවකට යන්න. Modrićට තමන්ගේ මව එක්ක වැඩි කාලයක් ගත කරන්න ලැබෙන්නේ ඒ විදිහට.

රටේ තිබුණු තත්වය එක්ක බොහෝ දෙමාපියන් තමන්ගේ දරුවන් පාපන්දු වලට යොමු කරවන ප්‍රවණතාවක් තිබුණා. ඔවුන්ගේ අනාගතය සුඛවත් කරන බලාපොරොත්තුවටත් වඩා එහෙම කළේ ඔවුන්ට ජීවත් වෙන්න සිදු වුනු පීඩාකාරී වටපිටාවෙන් මිදෙන්න රුකුලක් විදිහට පාපන්දු පාවිච්චි කරවන අදහසින්.

Modricගේ පාපන්දු හීනයට ඔහුගේ මවගේ අනුග්‍රහය ලැබෙන්න පටන් ගන්නේ ඒ විදිහට.

” මගේ දෙමාපියන් මට ඒ විදිහට පාපන්දුවලට අනුබල දුන්නේ මම ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙක් වේවි කියන බලාපොරොත්තුවෙන් නෙවෙයි, ඔවුන්ට අවශ්‍ය වුනේ ඔවුන්ගේ දරුවාට උදව් කිරීම පමණයි. රටේ කලබල අවසන් වුනායින් පස්සේ ඔවුන්ගේ යහළුවෝ ඔක්කොම වගේ ආයෙත් තමන්ගේ උපන් ගම් වලට ගියා, ඒ වගේම මගේ දෙමාපියන්ටත් කිවුවා යමු කියලා.

නමුත් ඔවුන් ඒ වෙලාවේ කිව්වේ නැහැ අපි Zadar වල ඉන්නවාකියලා. ඒ ඉන්නේ තමන්ගේ දරුවා ආදරය කරන දෙයට උදව් කරන චේතනාවෙන් බව ඔවුන් පිළිතුරු විදිහට ලබා දුන්නා. ඒ වගේ දෙමාපියන් මට හිටපු එක ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා.”

මූල්‍යමය පැත්තෙන් මහා ලොකු ස්ථාවරයක් ගොඩ නගා ගෙන නොතිබුනත්, තමන්ගේ දරුවා නිකම් විනෝදයට පාපන්දු ක්‍රීඩා කරන තවත් එක පොඩි කොල්ලෙක් විතරක් ම නෙවෙයි කියලා තේරුම් ගත්තු Modrićගේ දෙමාපියන් ඔහුව පාපන්දු පුහුණු කඳවුරු වලට ඇතුළත් කරනවා.

තමන්ට ජීවිතය පහසුවෙන් ගෙනියන්න පුළුවන් උපන් බිමට නොයා නුහුරු නුපුරුදු Zadar වලම තවදුරටත් රැඳී ඉන්න ඔවුන් තීරණය කරන්නේ දරුවාගේ හීනය තමන්ගේත් එකම හීනය බවට පත් කරගනිමිනුයි.

Modrićගේ ළමා කාලයේ කැමති ම ක්‍රීඩා සමාජය වෙන්නේ Hajduk Split කියන ක්‍රීඩා සමාජය, එදා Modrić පළමුව මේ ක්‍රීඩා සමාජයට එකතු වෙන්න උත්සාහ කරද්දී ඔහු එයින් ප්‍රතික්ෂේප වෙනවා. හේතුව තමයි Modrić ළාබාල, පොඩි කොල්ලෙක් කියන එක!

නමුත් ඔහු තමන්ගේ හීනය අත්හරින්නේ නැහැ.

ඔහුට වයස අවුරුදු 16 දී (2001 දී) Dinamo Zagreb ක්‍රීඩා සමාජය එක්ක එකතු වෙනවා, 2003 දී ඔහු Zrinjski Mostar ක්‍රීඩා සමාජය එක්ක එකතු වෙලා බොස්නියානු ප්‍රිමියර් ලීගයට ක්‍රීඩා කරනවා.

“බොස්නියානු ප්‍රිමියර් ලීගය ක්‍රීඩා කරපු කෙනෙකුට ලෝකේ කොහෙත් එකයි.”

වයස අවුරුදු 18 දී බොස්නියානු ප්‍රිමියර් ලීගයේ හොඳම ක්‍රීඩකයා බවට පත්වෙන්න සමත් වුන Modrić පස්සේ කාලෙක දී එහෙම කියනවා.

කාලය ගෙවිලා යනවා, Modrićගේ පාපන්දු ජීවිතය ටිකෙන් ටික හොඳ තත්වයට එනවා. 2005-06 තරග සමය වෙනුවෙන් ඔහු Dinamo Zagreb ක්‍රීඩා සමාජය සමඟ වසරක ගිවිසුමක් ලබා ගන්නවා. එහි දී ඔහුට ලැබෙන මුදලින් ඔහු තමන් වෙනුවෙන් Zadar වල නතර වුන තමන්ගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් නිවසක් මිල දී ගන්නවා.

කොහොමින් කොහොම හරි 2008 වෙද්දී ඔහු යුරෝපා පාපන්දු ලීගය පැත්තට එනවා, ඔහු මුලින් ම ගිවිසුම් ගතවෙන්නේ Tottenham ක්‍රීඩා සමාජය සමඟ, ඒ 2008 දී. නමුත් ඔහු Tottenham එක්ක ලබා ගන්නේ ඉතාමත් මන්දගාමී ආරම්භයක්. ඔහුට ගොඩක් විවේචන එල්ල වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම ඔහුගේ කුඩා සිරුර සහ අඩු බර ගැන සඳහන් කරමින්.

“ඒ වගේ විවේචන ඔබව තවත් ඉස්සරහට තල්ලු කරනවා. මොකද ඔබට ඔවුන් වැරදි බව පෙන්වන්න අවශ්‍ය වෙනවා. සමහර විට ඔබට මම පොඩි මනුස්සයෙක් වගේ පේනවා ඇති, ඒත් මම ශාරීරිකව වගේම මානසික වත් ශක්තිමත් මනුස්සයෙක්. ඒ වගේම මට කවදාවත් මගේ ශරීර ප්‍රමාණය ගැට‍ලුවක් වුනේ නැහැ.”

ඒ විදිහට විවේචන මැද්දෙන් ඉදිරියට ආපු Modrić 2012 දී ස්පාඤ්ඤ ක්‍රීඩා සමාජයක් වෙන Real Madrid සමඟ ගිවිසුම් ගත වෙනවා.

ඔව් ඒ වගේ තැනකට ඔබ යද්දී ඔබට තවදුරටත් මුදල් කියන දේ ගැටලුවක් වෙන්නේ නැහැ, කුඩා කාලයේ දී සපත්තු කූට්ටමක් මිල දී ගන්න තරම් වත් වත්කමක් නොවුනා වුනත්.

Modrićගේ Real Madrid වල කතාවත් ඒ තරම් සුන්දර එකක් වුනේ නැහැ,

ඒක සුරංගනා කතාවක් නෙවෙයි. ඒ නිසා වැටීම් නැගිටීම් මැද තමයි Modrićට තමන්ගේ ගමන යන්න වුනේ.

ඒ වගේම ඔබ විශ්වාස කරනවා ද යම් කාලයක දී Modrićගේ හීනයක් බවට පත් වෙන්නේ Barcelona ක්‍රීඩා සමාජයට එකතු වීම.

නමුත් Barcelona වලින් වගේම Bayern Munich වලිනුත් ඔහුව ප්‍රතික්ෂේප වෙන්නේ පෙර හේතුව (කුඩා ශරීර ප්‍රමාණය) නිසාමයි.

“Modrić මටත් වඩා බාසිලෝනා රසිකයෙක්. මමත් ඔහු Madridලට ක්‍රීඩා කරනවා දකින්න අකමැතියි. සමහර වෙලාවට අපේ කණ්ඩායම් දෙක ක්‍රීඩා කරද්දී මම ඔහුට බාසිලෝනා ජර්සිය දීලා විහිළු කරනවා ‘දැන් ඔබට ඇත්තටම ගෙදර ගෙනියන්න ඕන ජර්සිය තියෙනවා’ කියලා. අපි (බාසිලෝනා වලට) ඒ වගේ ක්‍රීඩකයෙක් අහිමි කර ගැනීම ලැජ්ජා වෙන්න ඕන දෙයක්.”

කාලයක් බාසිලෝනා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළ Modrićගේ ක්‍රොඒෂියානු කණ්ඩායම් සගයා Ivan Rakitić ඒ විදිහට Modrić ව බාසිලෝනා වලට අහිමි වීම ගැන දුක් වෙනවා.

Modrić ගැන ඔබ දන්නවා, ඔහු තමයි 2018 පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගය වෙන තෙක් ආපු ක්‍රොඒෂියානු පාපන්දු කණ්ඩායමේ කොඳුනාරටිය වෙන්නෙත්, ඒ වගේම ඊයේ (13) අවසන් පූර්ව වටයෙන් අවසන් වුන 2022 පාපන්දු ලෝක කුසලානයේත් ක්‍රොඒෂියානු කණ්ඩායමේ හයියට වයස අවුරුදු 37ක් වුණු Modrić හිටියා.

ඊයෙන් බොහෝ විට ඔහුගේ ලෝක කුසලාන කතාව ගමන නිමා වෙයි, මොකද වයස අවුරුදු 37ක් කියන්නේ පාපන්දු ක්‍රීඩකයෙකුට ලොකු වයසක්. අනාගතය ගැන අපේක්ෂා තියාගන්න අමාරු වයසක්. ඒත් මෙවර පාපන්දු ලෝක කුසලානයේ දීත් ඔහු ක්‍රොඒෂියාව වෙනුවෙන් තමන්ගේ උපරිමය දෙනවා. එතන දී ඔහුගේ බර කීය ද, උස කීය ද කියන දේවල්වලට වඩා ප්‍රතිවාදී කණ්ඩායම් වලට හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරමිනුයි

Modrić තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ.

මේ අපි දන්න Modrićගේ අපි නොදන්න, අප්‍රසිද්ධ කතාව.

තමන්ගේ අතීතය ගැන Modrić දවසක් මේ විදහේ මතකාවර්ජනයක් සිදු කරනවා. එතැනින් Modrićගේ අපි නොදන්නා කතාවට නිමාව සටහන් කරමු!

මගේ ළමා කාල ගොඩක් වේදනාකාරී එකක්, මට වයස අවුරුදු පහේදියී ක්‍රොඒෂියානු යුද්ධය ආරම්භ වුනේ. මම ජීවත් වුනේ යුද කලාපයක, යුද්ධය නිසා මට මගේ සීයා අහිමි වුනා.

අපිට අනාථ කඳවුරකට යන්න වුනා, අනතුරු අත ළඟ තියාගෙනම කඩදාසි බෝලවලට පයින් ගහමින් මම පාපන්දු ක්‍රීඩා කළා.

යුද්ධය ඉවර වෙනවාත් එක්කම මම පාපන්දු ක්‍රීඩා කරන්න පටන් ගත්තා.

මම කැමති ම පාපන්දු ක්‍රීඩා සමාජය මාව ප්‍රතික්ෂේප කළා, එහෙම ප්‍රතික්ෂේප කළේ මම පොඩි වැඩියි, මගේ බර මදියි කියලා. මගේ තාත්තට මාව පාපන්දු ඉගෙන ගන්න යවන්න, පාවහන් අරගෙන දෙන්න තරම් වත්කමක් තිබුණේ නැහැ. ඒත් ඔහු මාව දිරිමත් කළා. මට මම ගැන විශ්වාස කරන්න කියලා දුන්නා.

මම නතර වුනේ නැහැ, උපරිමයෙන් මහන්සි වුනා. මම ක්‍රොඒෂියාව වෙනුවෙන් ක්‍රීඩා කළා, Tottenham සමග ගිවිසුම් අත්සන් කළා. ඒත් ඔවුන් කිව්වා මට එංගලන්තයේ ක්‍රීඩා කරන්න බැහැ කියලා. මම ඔවුන් වැරදි බව ඔප්පු කළා. මම දැන් ලෝකේ තියෙන ලොකුම ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරනවා.”

මෙවර පාපන්දු ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමගින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<