වට්මෝර්ගේ නමට ලියවුණු අමුතු වාර්තාව

ලෝක කුසලානයේ නෑසූ කතා (14)

221
Getty Images

ඩේව් වට්මෝර් 1996 ලෝක කුසලානය දිනා ගැනීම දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමට මග පෙන්වූ පුහුණුකරුවාය. 1954 වසරේ මාර්තු 16 වැනිදා කොළඹ දී උපත ලද වට්මෝර් මූලික අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විදුහලෙනි.

මහ සයුරේ ගැඹුරු දියේ ජීවිතය සොයා ගිය එංගලන්ත උපනායකයා

2007 ලෝක කුසලාන තරගාවලිය අතරතුර එංගලන්ත කණ්ඩායමේ…

1962 වසරේ වට්මෝර් සිය පවුලේ සෙසු සාමාජිකයින් සමග ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචියට ගියේය. ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත තරගවල දී වික්ටෝරියානු ප්‍රාන්තය නියෝජනය කළ වට්මෝර් තම ප්‍රාන්තය වෙනුවෙන් දැක්වූ දස්කම් නිසාම 1979 වසරේ මුල්ම වරට ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වාසනාවන්ත විය.

ටෙස්ට් තරග හතක දී සහ එක්දින තරගයක දී ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම නියෝජනය කළ වට්මෝර් සතුව ලෝක කුසලාන ඉතිහාසයේ අපූරු වාර්තාවක් තිබේ.

1979 ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර තරගය පැවැත්වුණේ නොටිංහැම්හි ටෙන්ට්බ්‍රිජ් ක්‍රීඩාංගණයේ දී ය. මෙම තරගයේ පාකිස්තානු ඉනිම  අතරතුර අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ඩේව් වට්මෝර් පන්දු රැකීමට පැමිණියේය. එසේ පැමිණි වට්මෝර් පාකිස්තානු නායක අසීෆ් ඉක්බාල් ඇලන් හර්ස්ට්ගේ පන්දුවක් හමුවේ ලබා දුන් උඩපන්දුවක් රැකගනු ලැබීය. ලෝක කුසලාන ඉතිහාසයේ අතිරේක පන්දු රකින්නෙකු විසින් රැකගත් මුල්ම උඩපන්දුව එය ලෙස ඉතිහාසගත විය.

1996 ලෝක කුසලානය දිනා ගැනීමට සාර්ථක අයුරින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීම මෙන්ම 2007 ලෝක කුසලානයේ බංගලාදේශ කණ්ඩායම ලබා ගත් සාර්ථකත්වයටත් වට්මෝර්ගෙන් ලැබුණේ සුවිශේෂී දායකත්වයක්.

එමෙන්ම ඩේව් වට්මෝර් 2015 ලෝක කුසලාන තරගාවලියේ දී සිම්බාබ්වේ කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසත් කටයුතු කළා. සාමාන්‍යයෙන් ක්‍රීඩකයින්ගෙන් උපරිමය ලබා ගන්නා සහ එය කණ්ඩායමේ උන්නතිය වෙනුවෙන් යොදා ගන්නා පුහුණුකරුවෙකු ලෙස ඩේව් වට්මෝර් සැලකේ. මෙවර රංජි කුසලාන තරගාවලියේ දී කේරළ කණ්ඩායම අවසන් පූර්ව තරග වෙත ගෙන යෑමට වට්මෝර් සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නේය.

 

 

ලෝක කුසලානයට පෑයූ නෝවා තාරකාව ගිල්මෝර්

1975 වසරේ ලෝක කුසලාන තරගාවලියේ දී ඕස්ට්‍රේලියානු වැඩි වශයෙන් භාවිතා කළේ ක්‍රීඩකයින් එකොළොස් දෙනෙක්. අවසාන පූර්ව තරග දක්වා එකම ක්‍රීඩකයින් එකොළොස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානුවන් එංගලන්තය සමඟ පැවති අවසන් පූර්ව තරගයට එක් වෙනසක් තම කණ්ඩායමට කර තිබුණා.

හෙඩිංග්ලිහි පැවති අවසන් පූර්ව තරගය සඳහා මූලික වටයේ තරග සියල්ලටම ක්‍රීඩා කළ ඈෂ්ලි මැලට් වෙනුවෙන් මද වේගපන්දු යවන ගැරී ගිල්මෝර් කණ්ඩායමට කැඳවන්නට  ඕස්ට්‍රේලියානු බලධාරීන් තීරණය කර තිබුණි. ගිල්මෝර් යම් පිතිකරණ හැකියාවක් තිබූ ක්‍රීඩකයෙකු ද විය. විසිතුන් හැවිරිදි ගිල්මෝර් ඊට පෙර ක්‍රීඩා කර තිබුණේ  එක්දින තරග දෙකක් පමණි.

වළාකුළු වලින් බර වූ සහ තරමක තෙතබරිත කාලගුණ තත්වයක් එදා හෙඩිංග්ලිහී දකින්නට ලැබුණි. ඉතා කොළ පැහැති තණනිල්ලක තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායක ඉයන් චැපල් මුලින්ම පන්දුවට පහර දීමේ වාරය එංගලන්තයට බාර කළේය.

තරගාවලියේ මූලික වටය පුරාවටම  ඕස්ට්‍රේලියාවේ කණ්ඩායමේ දොළොස්වැනි ක්‍රීඩකයා ලෙසින් ක්‍රියා කළ ගිල්මෝර් තමන්ට ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමට සමත් විය. වේගපන්දු යවන්නන්ට ඉතාම හිතකර තත්වයක් තුළ වමතින් පන්දු යැවූ ගිල්මෝර් එංගලන්ත පිතිකරුවන්ට එල්ල කලේ ප්‍රබල තර්ජනයක්.

එදා හෙඩිංග්ලි ක්‍රීඩාංගණයේ තත්වය විස්ඩන් සඟරාව මේ ආකාරයෙන් ප්‍රකාශ කළේය.

“තණතීරුවේ කොළ පැහැ ස්වභාවයෙන් සහ වළාකුළු සහිත කාලගුණ තත්වයෙන් වැඩි ප්‍රයෝජනයක් ගැනීමට පන්දුවාරයක නිමාවේ දී පන්දු රකින්නන් තම ස්ථාන මාරු කරගත්තේ දිවයමින්.”

නමුත් ගිල්මෝර් තමන් කණ්ඩායමට එක් කරගැනීම උපරිමයෙන්ම සාධාරණීකරණය කරමින් සිටියේය. ඔහු පන්දුව උඩුගුවනෙ දී මෙන්ම පතිතයෙන් පසුව ද විශාල දෝලනයක් ලබා ගත්තා.

ලකුණු පුවරුවේ ලකුණු 36ක් සටහන් වෙද්දී එංගලන්ත මුල්පෙළ පිතිකරුවන් හයදෙනෙකු ක්‍රීඩාගාරයට හරවා යවන්නට ගිල්මෝර් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානුවන් සමත් විය. දැවී ගිය එංගලන්ත කඩුලු සියල්ලටම වග කියූ ගිල්මෝර් නොනවත්වා ක්‍රියාත්මක කළ සිය පන්දුවාර 12 තුළ දී ලබා දී තිබුණේ ලකුණු 14ක් පමණයි.

ගිල්මෝර්ගේ විශිෂ්ට පන්දු යැවීම නිසා සත්කාරක එංගලන්ත කණ්ඩායම පන්දුවාර 36.2ක දී සියලු ක්‍රීඩකයින් දැවී ලබා ගත්තේ ලකුණු 93ක් පමණයි. ගිල්මෝර්ගේ දවාලීම් අතරින් හතරක් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය අවස්ථාවන් විය.

ගිල්මෝර් එල්ල කළ යෝකර් පන්දුවකින් ගැලවෙන්නට එංගලන්ත ආරම්භක පිතිකරු බැරි වුඩ්ට හැකියාවක් ලැබුණේ නැහැ. ගිල්මෝර් දවා ගත් අනෙක් කඩුල්ල වූ ටෝනි ග්‍රේග් දවා ගැනීමට ඕස්ට්‍රේලියානු කඩුලු රකින්නා රොඩ්නි මාෂ් ස්ලිප් ක්‍රීඩකයා දෙසට පනිමින් ලබා ගත්තේ විශිෂ්ට උඩපන්දුවක්.

එංගලන්තය ලබා දුන් ලකුණු සංඛ්‍යාව හඹායෑමට පැමිණි ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ටත් එංගලන්ත පන්දු යවන්නන් එල්ල කළේ මහත් තර්ජනයක්. ඕස්ට්‍රේලියානු ඉනිම ආරම්භ කරන විටත් කාලගුණ තත්වයේ හෝ තණතීරුවේ එතරම් වෙනසක් සිදුව තිබුණේ නැහැ.

ජෝන් ස්නෝව් සහ ක්‍රිස් ඕල්ඩ් නිසි ඉලක්කයකට පන්දු යවමින් ඕස්ට්‍රේලියානු මුල්පෙළ පිතිකරුවන් දැඩි අසීරුතාවට පත් කරගෙන සිටියේය. එදා ඕස්ට්‍රේලියානු ඉනිමේ හයවැනි කඩුල්ල ලෙස ක්‍රිස් ඕල්ඩ්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදී රොඩ්නි මාෂ් දැවී යන විට ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව කියවුණේ ලකුණු 39ක් ලෙස.

නම් දැරූ පිතිකරුවෙකු ලෙස ඉතිරිව සිටි ඩග් වොල්ටර්ස් සමඟ කඩුල්ලට එක්වූ ගිල්මෝර් පිත්තෙන් ද එංගලන්තයට බැට දෙමින් ඕස්ට්‍රේලියානුවන් ජයග්‍රහණය කරාගෙන ගියේය. හතරේ පහර පහක් සමඟ පන්දු 28ක දී නොදැවුණ ලකුණු 28ක් රැස්කර ගන්නට එදා ගිල්මෝර් සමත් විය.

ඉතා ඉවසිලිමත්ව පන්දුවට පහර දුන් ඩග් වොල්ටර්ස් පන්දු 43ක දී ලකුණු 20ක් රැස් කරගෙන සිටියේය. ඒ අනුව කඩුලු හතරක ජයක් ලැබූ ඕස්ට්‍රේලියානුවන් 1975 ලෝක කුසලාන අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීය.

බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවති අවසන් මහා තරගයේ දී යළිත් ක්‍රියාත්මක වූ ගිල්මෝර් ලකුණු 48කට කඩුලු පහක් දවා ගන්නා ලදි. අවසන් මහා තරගයේ වීරයා බවට පත්වූ ක්ලයිව් ලොයිඩ් දැවී ගියේත් ගිල්මෝර්ගේ පන්දුවක් හමුවේය. පිත්තෙනුත් පන්දු 11ක් තුළ ලකුණු 14ක් ලබා ගැනීමට ඔහුට හැකියාව ලැබුණි. නමුත් ඕස්ට්‍රේලියානුවන්ට ලෝක කුසලානය දිනා දෙන්නට ගිල්මෝර්ගේ දස්කම් ප්‍රමාණවත් වූයේ නැහැ.

එතැන් පටන් යළිත් ගිල්මෝර් ඕස්ට්‍රේලියානු එක්දින කණ්ඩායම නියෝජනය කළේ එක්වතාවක් පමණයි. ඔහු නියෝජනය කළ එක්දින තරග පහේ දී කඩුලු 16ක් දවා ගන්නට ගිල්මෝර් සමත් විය.

“සහජ කුසලතාව ගත්තොත් ගැරී ගිල්මෝර් කාටත් ඉදිරියෙන් සිටින ක්‍රීඩකයෙක්. නමුත් ශරීර සෞඛ්‍ය සහ වාසනාව කියන කාරණා දෙකම ඔහුට තිබුණේ නැහැ”

1975 ලෝක කුසලානයට ඕස්ට්‍රේලියානුවන්ට නායකත්වය දුන් ඉයන් චැපල් පසු කලෙක ගිල්මෝර් ගැන පැවසුවේ එවැන්නක්.

තවත් නෑසූ කතාවක් සමඟ හමුවෙමු!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<