Wisden IPL කණ්ඩායමට මතීෂගේ නමත්!

IPL 2023

1294

නිමා වූ 2023 IPL තරගාවලියේ විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් Wisden IPL සංචිතයේ ශ්‍රී ලාංකික ක්‍රීඩක මතීෂ පතිරණ හට ද ඉඩක් වෙන් වී තිබෙනවා.

ලෝ ප්‍රකට Wisden සඟරාව මගින් 2023 IPL තරගාවලිය නිමා වීමෙන් පසුව සමස්ත කණ්ඩායම් 10ක ක්‍රීඩකයින් අතරින් විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රීඩකයින් එකොළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කර තිබෙනවා.

මෙම කණ්ඩායම සඳහා තරගාවලියේ අනුශූරතාව දිනා ගත් Gujarat Titans කණ්ඩායමේ ක්‍රීඩකයින් සිව් දෙනෙකු තෝරා ගෙන ඇති අතර, ශූරතාව දිනා ගත් Chennai Super Kings කණ්ඩායමෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකු තෝරා ගෙන තිබෙනවා.

මෙහි දී චෙන්නායි වෙනුවෙන් පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වූ මතීෂ පතිරණ මේ කණ්ඩායමේ එකොළොස් වැනි ක්‍රීඩකයා ලෙස නම් කර තිබීම විශේෂත්වයක්.

සමස්ත තරගාවලියේ කඩුලු 19ක් බිඳ හෙළීමට සමත් වූ මතීෂගේ කඩුලු ලබා ගැනීමේ සාමාන්‍ය අගය 19.52ක් වැනි අවම අගයක රැඳී තිබීම විශේෂත්වයක්. එමෙන් ම ඔහුගේ පන්දුවාරයකට ලකුණු ලබා දීමේ සාමාන්‍ය අගය 8.01ක රැඳී තිබෙනවා. විශේෂයෙන්ම ඔහු ඉනිමේ අවසන් පන්දුවාර කිහිපය යොමු කරමින් මෙවැනි සාමාන්‍යයක් පවත්වා ගැනීම Wisden විසින් කළ තෝරා ගැනීමට විශේෂ හේතුවක් බව වටහා ගත හැකි. මෙම තරගාවලියේ ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 15කට කඩුලු 3ක් බිඳ හෙළීම සටහන් වී තිබුණා.

Wisden විසින් මේ තේරීම සිදු කරමින් මතීෂව හඳුන්වා දෙන්නේ මේ තරග වාරයේ Chennai Super Kings විසින් සිදු කළ හොඳම සොයා ගැනීම ඔහු බවයි. එමෙන් ම Wisden විසින් ඔහු සතු ව ඇති යෝකර් පන්දු මෙන් ම පන්දුවේ වේගය වෙනස් කිරීමට ඇති හැකියාව ද විශේෂයෙන්ම අගය කිරීමට ලක් කර තිබෙනවා.

මේ අනුව Wisden විසින් නම් කළ IPL විශිෂ්ටයින්ගේ සංචිතය මෙසේයි; Faf Du Plessis, Yashasvi Jaiswal, Shubman Gill, Suryakumar Yadav, Heinrich Klaasen, Rinku Singh, Ravindra Jadeja, Rashid Khan, Mohammed Shami, Mohit Sharma, Matheesha Pathirana

අතිරේක; Glenn Maxwell, Mohommed Siraj, Axar Patel, Nicholas Pooran

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා ලොව නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Wisden ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<