වයිකිං අත්පොළසනින් රසවත් වන මොරොක්කානු සුරංගනා කතාව

FIFA World Cup 2022

1649
Feature Article of Moroccan

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දුර්වලයෙක් ලෙසින් සලකනු ලැබූ Atlas Lions නමින් හැඳින්වෙන මොරොක්කෝ ජාතික පාපන්දු කණ්ඩායම දැන් කටාර් 2022 ලෝක කුසලාන පාපන්දු තරග බිම ආක්‍රමණය කර තිබෙන්නේ මහා කුණාටුවක් ලෙසින්.

ක්‍රිස්ටිආනෝ රොනල්ඩෝගේ පෘතුගාල කණ්ඩායම පරාජය කරමින් මොරොක්කෝ කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිස සිටින්නේ වසර 92ක ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ අවසාන කණ්ඩායම් හතරට පිවිසීමට සමත් වූ පළමු අප්‍රිකානු සහ පළමු මුස්ලිම් රට ලෙසින් ඉතිහාසගත වෙමින්.

මෙතෙක් ආ සාර්ථක ගමනේ දී ඔවුන් ලොව අංක 2ට ශ්‍රේණිගතව සිටින බෙල්ජියම, අංක 7ට ශ්‍රේණිගතව සිටින ස්පාඤ්ඤය සහ අංක 9ට ශ්‍රේණිගතව සිටින පෘතුගාලය පරාජය කර තිබෙන්නේ එක ම එක ගෝලයක් හෝ ලබා නොදෙමින් වීම සුවිශේෂත්වයක්.

තරගාවලියේ මූලික වටයේ දී ඔවුන් පසුගිය 2018 ලෝක කුසලාන තරගාවලියේ අවසාන තරගයට පැමිණි සහ මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිස සිටින ක්‍රොඒෂියාව ගෝල රහිත ජය පැරදුමින් තොර අවසානයක සිර කිරීමට සමත් වුනා. ඇත්ත වශයෙන්, මේ තරගාවලියේ දී මොරොක්කෝව මෙතෙක් ලබා දී තිබෙන එක ම ගෝලය වන්නේ කැනඩාව 2-1කින් පැරදවූ තරගයේ තමන් විසින් ම ලබා දුන් ගෝලයයි.

පෘතුගාලය ගෝල 1-0කින් අර්ධ අවසන් පූර්ව තරගයේ පරාජය කළ මොරොක්කෝ කණ්ඩායම දැන් මෙවර ලෝක කුසලාන තරගාවලියේ සෑම දෙනාම ආදරය කරන කණ්ඩායමක් බවට පත්ව සිටිනවා.

Al Thumama ක්‍රීඩාංගණයේ පැවති ඒ තරගය නරඹමින් සිටි දහස් සංඛ්‍යාත මොරොක්කෝ ක්‍රීඩාලෝලීන් සිටියේ ඔවුන්ගේ හිසට උඩින් දෑත් දික් කරගෙන.

විසිල් ගැසීම, අත්පුඩි ගැසීම සහ සරදම් කිරීම එක් වරම නතර වන්නේ සම්පූර්ණ නිහැඬියාවකට ඉඩ සලසමින්. ක්‍රීඩාංගණයේ අනෙක් අන්තයේ ඇති වන කැස්සක් පවා ඔබට ඇසෙන්න පුළුවන්.

ඊළඟට බෙරයක් ගැසෙන අතර අත්පොළසනක් ඇසෙයි. හුරුපුරුදු රතු සහ කොළ මොරොක්කෝ වර්ණවලින් සැරසුනු ක්‍රීඩාලෝලීන් තලු ගසමින් එක හඬකින් “go” යන තේරුම ගෙන දෙන “sir” ශබ්දයෙන් කෑගසන්නේ ක්‍රීඩාංගණය පුරා දෝංකාර දෙන අකුණු වැනි ශබ්දයක් නිර්මාණය කරමින්. ඉක්බිතිව යළිත් නිහඬතාව.

අත්පොළසන… “sir”, අත්පොළසන… “sir”. තත්පර කිහිපයකට පසුව ක්‍රීඩාංගණය සිසාරා මේ ගාම්භීර හඬ දෝංකාර කරමින් ක්‍රියාවලිය නැවතත් සිදුවන්නේ තමන්ට වඩා ඉහළින් ශ්‍රේණිගතව සිටින පෘතුගාල කණ්ඩායමට එරෙහිව සෙනසුරාදා මොරොක්කානු ක්‍රීඩකයන් සටන් වැදී සිටි අවස්ථාවේ.

ඒ ක්‍රීඩකයන් දිරි ගන්වමින් අත්පොළසන් හඬ නිතර නැඟෙන්නේ අවසානයේ ප්‍රබෝධමත්ව උස් හඬකට පත්වෙමින්. ඉන්පසුව ඇසෙන්නේ ක්‍රීඩාව අගය කෙරෙන ඔල්වරසන්.

“Viking clap” – “වයිකිං අත්පොළසන” ලෙසින් හැඳින්වෙන මොරොක්කානු ක්‍රීඩාලෝලීන් විසින් මෙවර ලෝක කුසලාන තරගාවලිය දීප්තිමත් කර තිබෙන මේ අත්පොළසන 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරග වදින තම කණ්ඩායමට ඔවුන්ගේ තිබෙන දැඩි ආශාව සහ ඇල්ම ප්‍රදර්ශනය කරන සංකේතාත්මක මූර්තියක්.

මෙවර තරගාවලියේ සිටින වැඩියෙන් ම ප්‍රාණවත් ක්‍රීඩාලෝලී පිරිසක් ලෙසින් ගිණිය හැකි මොරොක්කානුවන් ඔවුන්‌ගේ ඒකාකාර බෙර රිද්මයෙන් Atlas Lions කණ්ඩායම වෙනුවෙන් ඔවුන්ගේ ලෝක කුසලාන තරග හතරේ දී ම නිරන්තරයෙන් ප්‍රීති ඝෝෂා නගා තිබෙනවා.

ප්‍රංශයේ පැවති 2016 යුරෝ පාපන්දු තරගාවලියේ දී අයිස්ලන්තයේ ක්‍රීඩාලෝලීන් වයිකිං අත්පොළසන ක්‍රියාත්මක කරන අයුරු දිස්වුනා. අයිස්ලන්ත ක්‍රීඩාලෝලීන් විශාල පිරිසක් තමන්ගේ ක්‍රීඩකයන් සමග මේ අත්පුඩි ගැසීම පිණිස තරගයෙන් පසුව ක්‍රීඩාංගණයේ රැඳී සිටියා.

දැඩි බලපෑමක් ඇති කිරීමට සමත් මේ ඝෝෂාකාරී දර්ශනය ඒ තරගාවලියට කොතරම් හැඟීම්බර මුහුණුවරක් එක් කළා ද කිවතොත් ප්‍රංශ ක්‍රීඩාලෝලීන් සහ ක්‍රීඩකයන් ද ඔවුන්ගේ තරගවලින් පසුව මෙය රඟන්නට පටන් ගත්තා.

මේ වයිකිං අත්පොළසනේ මූලාශ්‍රයේ නියම තැන දැක්වීම අපහසු වන අතර එය ආරම්භ වූයේ අයිස්ලන්ත වෙරළෙන් නම් නොවන බවට බොහෝ දුරට කියන්න පුළුවන්.

යුරෝ 2016 තරගාවලියට වසර කිහිපයකට පෙර ප්‍රංශ වෘත්තීය පාපන්දු ක්‍රීඩා සමාජයක් වන Lens ක්‍රීඩාලෝලීන් තම කණ්ඩායමේ නම කෑගසන අතරවාරයේ මේ අත්පුඩිය ගසන අයුරු දිස්වන වීඩියෝ මතුවී තිබෙනවා.

Motherwell නමැති ස්කොට්ලන්ත කණ්ඩායමේ ආධාරකරුවන් පැහැදිලිවම ‘300’ චිත්‍රපටය නැරඹීමෙන් ලත් ප්‍රබෝධයෙන් පසුව මීට සමාන අත්පොළසනක් වසර ගණනාවක් තිස්සේ රඟ දක්වා තිබෙනවා.

2016 යුරෝපීය පාපන්දු තරගාවලියේ දී අයිස්ලන්තයේ මේ අත්පුඩි භාවිතයේ සිට මේ දක්වා එහි ජනප්‍රියතාවය ලෝකය සිසාරා පැතිර ගොස් තිබෙන අතර දැන් එය ඉන්දියාවේ Kerala Blasters තරගවල සහ ඉරානයේ Perspolis පාපන්දු සමාජයේ ආධාරකරුවන්ගෙන් ද ඇසෙනවා.

එංගලන්තය පරදවන ගමන් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ අයිස්ලන්තයේ අනපේක්ෂිත ‘යුරෝ 2016’ සාර්ථකත්වය සහ කටාර් 2022 ලෝක කුසලාන තරගාවලියේ මොරොක්කෝවේ සාර්ථකත්වයේ සමාන්තර රේඛා අඳින්න පුළුවන්.

ලොව අංක 2 කණ්ඩායම වන බෙල්ජියමත් ඉන්පසුව ස්පාඤ්ඤයත් පරාජය කරමින් මොරොක්කෝව ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ ඔවුන්ගේ ඉතිහාසයේ ප්‍රථම වතාවට.

තමන්ට සුදුසු පරිදි සකස් කර ගත් මේ අත්පොළසන මේ තරගාවලිය පුරා ම ඇති මොරොක්කෝ සහයෝගයේ දැවැන්තකම සහ මහ හඬ ලෝකයට පෙන්වන පිළිබිඹුවක්.

“මට මගේ රට ගැන ලොකු උද්යෝගයක් සහ ආඩම්බරයක් දැනෙනවා. මම මොරොක්කෝවට ආදරෙයි. අපි ඔක්කොමලා එකට සිංදු කියමින් අත්පුඩි ගසනවා ඇහෙන කොට මගේ කණ්ඩායම කොච්චර නරක විදියට සෙල්ලම් කළත්, ඔවුන්ට වැඩි වැඩියෙන් ‘සපෝට්’ කරන්න මට උවමනාවක් දැනෙනවා,” යැයි පෘතුගාලය සමග තරගය නැරඹීමට මොරොක්කෝ අගනුවර වන Rabat හි සිට පැමිණ සිටි 38 හැවිරිදි වෛද්‍යවරයෙකු වන Marwa Mifta පවසනවා.

තිස් හැවිරිදි Reda el-Harrachi කියා සිටියේ ක්‍රීඩාංගණය තුළ වයිකිං අත්පොළසන් නාදය ඇසෙන විට තමන්ගේ ඇඟ පුරා ම හිරිගඩු පිපෙන බව.

මොරොක්කානු පාපන්දු ක්‍රීඩාලෝලීන් විසින් මේ ලෝක කුසලාන තරගාවලිය ඔවුන්ගේ කණ්ඩායමට තමන්ගේම රටේ පවත්වනු ලබන ‘සත්කාරක තරගාවලියක්’ බවට පත් කර ඇතැයි අප්‍රිකානු පාපන්දුව පිළිබඳ විශේෂයෙන් හදාරමින් සිටින මාධ්‍යවේදියෙකු වන Alasdair Howorth සඳහන් කරනවා.

“මේ ලෝක කුසලාන තරගාවලියේ දී මොරොක්කානු සහ ටියුනිසියානු ක්‍රීඩාලෝලීන් පිරිසගේ විශාලත්වයේ තරම අඩු යැයි කියා අවතක්සේරු කරන්න බැහැ,” යැයි Howorth ප්‍රකාශ කරනවා.

මාධ්‍ය විසින් කටාර් දේශය සහ එහි ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සම්බන්ධයෙන් බොහෝ සියුම්ව පිරික්සා බැලුවත් ප්‍රමාණවත් ලෙසින් කතිකාවක් ගොඩනගා නැත්තේ අරාබි ලෝකයේ ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීම කොතරම් වැදගත් ද යන කාරණය සම්බන්ධයෙන් බව ඔහු කියා සිටිනවා.

කටාර් රාජ්‍යයේ දී ඔවුන්ට ලැබුණු සහයෝගය, ක්‍රීඩාංගණවලට යාමට ඒමට සහ රට වටා යාමට ඇති පහසුව සහ විශාල ඩයස්පෝරාවන්ගේ ප්‍රතිඵලයක් ලෙසින් ක්‍රීඩාලෝලීන් සහ මේ ලෝක කුසලානය අතර නියම සම්බන්ධතාවක් ගොඩනැගී ඇතැයි Howorth පවසනවා.

“පාපන්දුවට තිබෙන ආශාව අතින් මොරොක්කෝව සතුව ලෝකයේ හොඳම ක්‍රීඩාලෝලී සංස්කෘතියක් තිබෙනවා,” යනුවෙන් ඔහු කියනවා. “ලෝකය අවසානයේ එය දැකීම විශිෂ්ටයි කියා මා සිතන්නේ එය මීට බොහෝ දීර්ඝ කාලයකට පෙර සිටත් මෙහි තිබුණු නිසා.”

මොරොක්කානු දිරිය පාපන්දු ක්‍රීඩකයන් ලෝක පාපන්දු කුසලානය රැක ගැනීමේ මෙහෙයුමක නිරතව සිටින ප්‍රංශය ට එරෙහිව 2022 ලෝක කුසලාන පාපන්දු අවසන් පූර්ව

තරගයට පිවිසෙන දෙසැම්බර් 15 වැනි දිනයේත් තරගය පැවැත්වෙන Al Bayt ක්‍රීඩාංගණය ‘වයිකිං අත්පොළසන’ නමැති අකුණු හඬින් ගිගුරුම් දෙනු ඇත.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<