‘සිහින දැකීමේ අයිතිය’ සමඟ ලොව සැරිසරන ඝානා පාපන්දු තරුව

970

Lionel Messi සහ Cristiano Ronaldo වැනි සුපිරි තරු සමඟ ක්‍රීඩා කිරීම වැනි අත්දැකීම් ලබා ගැනීම පාපන්දු ක්‍රීඩකයන් වීමට ප්‍රාර්ථනා කරන තරුණ ක්‍රීඩකයන්ගේ සිහිනයක්.

නමුත් ඝානා රටේ Accra අගනුවර හැදී වැඩෙමින් සිටි තරුණ Derek Boatengට ඒවා පෙනුණේ සැතපුම් මිලියන ගණනින් එහා තිබෙන සිහින විදියට.

නමුත් අවසානයේ මේ සිහින යථාර්ථයක් බවට පත් කර ගැනීමට Derek Boateng සමත් වුනේ මෙසී සහ රොනල්ඩෝ යන ක්‍රීඩකයන්ට එරෙහිව ක්‍රීඩා කරමින් පමණක් නොව ඝානා ජාතික පාපන්දු කණ්ඩායම ද නියෝජනය කරමින් ලෝක කුසලාන පාපන්දු තරගාවලි දෙකකට ක්‍රීඩා කරමින්.

වර්තමානයේ ඔහු කාලය වැය කරමින් සිටින්නේ එදා තමා මෙන් ම අද වරප්‍රසාද නොලත් තරුණ පාපන්දු ක්‍රීඩකයන් සොයමින්.

ජීවිතයේ තනි වූ Boatengගේ මව, ඔහු ඇතුළු දරුවන් සිව්දෙනා උස් මහත් කළේ ඝානා අගනුවර තිබෙන දුප්පත් ම දිස්ත්‍රික්කයක. මේ නිසා පාපන්දුව ඉක්මනින් ම දිළිඳු බවෙන් මිදීමේ දෙයක් බවට පත්වුනා.

පාපන්දු ක්‍රීඩාව මගේ ජීවිතය බේරුවා. මොකද, පාපන්දුව නැතිව මම කොහේ හිටීවිද, මොනවා කරාවි ද කියා මම දන්නේ නැහැ,” යනුවෙන් Boateng පවසනවා.

අපි සියලු දෙනා ගිහිං විනෝද වෙන තැන් ගොඩක් තියෙනවා. නමුත් මට නිදහසක් සහ සාමයක් දැනෙන එක ම තැන පාපන්දු පිට්ටනියයි.”

මල් යහනාවක් මතින් පැමිණි ගමනක් නොවූ වසර 18ක සිය ක්‍රීඩා දිවිය තුළ මේ ආරක්ෂක මැදපෙළ ක්‍රීඩකයා ඝානා ජාතික පාපන්දු කණ්ඩායම වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලි දෙකකට ක්‍රීඩා කළා මෙන්ම තමා අන්තර් සමාජ පාපන්දු ක්‍රීඩා කළ රටවල් අටෙන් එකක් වන ස්පාඤ්ඤයේ දී Messi සහ Ronaldoට එරෙහිව ද ක්‍රීඩා කර තිබෙනවා.

1999 වසරේ දී සිය ක්‍රීඩා දිවිය ආරම්භ කළ Boateng එදා සිට 2017 වසර දක්වා කාලය තුළ ග්‍රීසිය, ස්වීඩනය, ඊශ්‍රායලය, ජර්මනිය, ස්පාඤ්ඤය, යුක්‍රේනය, එංගලන්තය සහ ඇමෙරිකාව යන රටවල වෘත්තීය පාපන්දු ක්‍රීඩා කළා.

2001 සහ 2013 අතර කාලයේ පූර්ණ ජාත්‍යන්තර ක්‍රීඩකයෙකුව සිටි ඔහු ඝානා ජාතික පාපන්දු කණ්ඩායම වෙනුවෙන් තරග 47කට ක්‍රීඩා කර තිබෙනවා. මීට අමතරව Boateng ජගත් පාපන්දු සම්මේලනයේ 2006 ලෝක කුසලානය සහ ඝානා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට ගිය 2010 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දී ඝානාව නියෝජනය කළා.

ඊට පෙර 2001 වසරේ දී ඔහු ආජන්ටිනාවේ පැවති FIFA ලෝක තරුණ පාපන්දු ශූරතාවලියට සහභාගි වූ ඝානා ජාතික පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කළ අතර එම තරගාවලියේ දී අවසාන මහා තරගයට පිවිසීමට එම කණ්ඩායම සමත් වුනා.

2017 වර්ෂයේ දී සිය වෘත්තීය පාපන්දු ක්‍රීඩා දිවියට සමු දුන් Boateng අනතුරුව ඔහුගේ ජීවිතය කැප කළේ තමා වැනි ම වූ ජීවන පසුබිමක් තිබෙන තරුණයන්ට තමා මෙන් ම උසස් තත්ත්වයකට පැමිණීමට උපකාර කිරීම පිණිස. මේ අරමුණ වෙනුවෙන් ඔහු දක්ෂතා සොයා යන්නෙකු වශයෙන් ‘සිහින දැකීමේ අයිතිය’ – Right to Dream (RTD) – නමැති ඇකඩමිය සමඟ කොන්ත්‍රාත්තුවක් අත්සන් කළා.

Manchester United පාපන්දු සමාජයේ හිටපු ප්‍රධාන අප්‍රිකානු දක්ෂයින් සොයා යන්නෙකු වන Tom Vernon විසින් 1999 වසරේ දී Boatengගේ උපන් නගරය වන Accra හි ස්ථාපිත කෙරුණු මේ ඇකඩමියෙන් අධ්‍යාපනය සහ පාපන්දු ක්‍රීඩාව කේන්ද්‍ර කරගෙන සහජ දක්ෂතාවන් තිබෙන ළමයින්ට ශිෂ්‍යත්ව පිරිනැමෙනවා.

ඝානා අගනුවර තිබෙන සම්පූර්ණ නේවාසික ජාත්‍යන්තර පාසලක් ලෙසින් ම මේ RTD ඇකඩමිය ඩෙන්මාර්කය සහ ඇමරිකා එක්සත් ජනපදයේත් ක්‍රියාත්මක වන අතර ඊජිප්තුවේත් නව නේවාසික ඇකඩමියක් ස්ථාපිත කිරීමටත් සැලසුම් කර තිබෙනවා.

Boateng ඝානා රට වටේත්, අයිවරි කෝස්ට් සහ ඊජිප්තුව යන ‌රටවලත් සැරිසරන්නේ හොඳම සහජ කුසලතා ඇති තරුණ ක්‍රීඩකයන් සොයා ගෙන ඔවුන් මේ ඇකඩමියට ගෙන ඒම පිණිස. බොහෝ විට මේ සංචාරවලින් ඔහුගේ මතකයට නැගෙන්නේ ඔහු‌ගේ ම පෞද්ගලික කතාව.

විශාල වශයෙන් දුප්පත්කම සහ ඉතාම දුෂ්කර ප්‍රදේශ වැනි මම මීට පෙර අත්විඳපු බොහෝ දේවල් මම මෙහි දී දකිනවා. මම මාව ම එතන දී දකිනවා,” යනුවෙන් Boateng පවසනවා.

විශේෂයෙන් සමහර සිසුන්ගේ ගෙවල්වලට ගියාම, ඔවුන් ආවේ කොහෙන් ද කියා බලන කොට, ඔවුන් ජීවත් වෙන්නේ කොහේ ද සහ ජීවත් වෙන්නේ කොහොම ද කියා පෙනෙන කොට එය හරි ම දුෂ්කරයි. මම හැම වෙලාවෙම ඇතුළතින් අඬනවා. මට මේවා දරා ගෙන ඉන්න හරිම අමාරුයි. ඒත් මම කළ යුතු දේ කරන්න මට සිද්ධ වෙනවා.”

පාරට ඇවිත් පාපන්දු සහජ කුසලතාවන් සොයා යන එකෙන් මට ශක්තියක් හා වැඩි ජවයක් ලැබෙනවා. මේ වැඩෙන් මාව කොහේට ගෙන යාවි ද කියා මම ගණන් ගන්නේ නැහැ. දක්ෂතා සොයා ගෙන මට ඉරාකයට යන්න වෙනවා නම් මම එහෙත් යනවා. මේ උත්සාහයේ දී මට වාහනය ඇතුළේ නිදා ගන්න වුනොත් මම ඒකත් කරනවා. මොකද, හදවතින් මම දන්න එක ම‌ දේ තමයි මම කාගෙ හරි ජීවිතයක් වෙනස් කරන්න යනවා කියන එක.”

RTD වෙබ් අඩවියට අනුව ඇකඩමියේ වැඩසටහනෙන් උපාධි ලැබූ ශිෂ්‍යයන් 144 දෙනාගෙන් 61 දෙනෙක් වෘත්තීය පාපන්දු ක්‍රීඩා කිරීමට ගොස් ඇති අතර 14 දෙනෙක් ඔවුන්ගේ රටේ ජාතික කණ්ඩායම් නියෝජනය කර තිබෙනවා.

Accra හි උපත ලද 22 හැවිරිදි Muhammed Kudus මෙවැනි එක් ක්‍රීඩකයෙක්. මේ මැදපෙළ ක්‍රීඩකයා Ajax නමැති නෙදර්ලන්ත කණ්ඩායමට කරන ක්‍රීඩාව මගින් යුරෝපයේ විශාලතම පාපන්දු සමාජ කිහිපයක අවධානය තමන් වෙත යොමු කර ගැනීමට සමත්ව සිටිනවා.

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දී ඝානා කණ්ඩායම පිළිබඳව අවධානය යොමු කර සිටි කෙනෙකුට ඔහුගේ නම පුරුදු එකක් වනු ඇත්තේ ඔහුගේ අතිදක්ෂ ගෝල ද්විත්වයේ හපන්කම් විසින් ඔහුගේ කණ්ඩායම තරගාවලියේ මූලික වටයේ දී දකුණු කොරියාව ට එරෙහිව ගෝල 3-2ක තීරණාත්මක ජයග්‍රහණයක් කරා ගෙන ගිය බැවින්.

කෙසේ වෙතත් උරුගුවේ හමුවේ ලැබූ ගෝල 2-0ක පරාජයෙන් 2022 කටාර් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඝානාවේ Black Stars ජාතික පාපන්දු කණ්ඩායමේ චාරිකාව මූලික තරග වටයෙන් ම අකාලයේ අවසන් වුනා. එහෙත් උරුගුවේ කණ්ඩායමට ද වැඩි දුරක් යාමට නොහැකි වූයේ දකුණු කොරියාව විසින් පෙරළිකාර අයුරින් පෘතුගාලය පැරදවීම නිසා ඔවුන් තරගාවලියෙන් ඉවතට විසි වුනු නිසාවෙන්.

මම හැමවෙලාවෙම සමහර තරුණ ක්‍රීඩකයන්ට උපදෙස් දෙනවා. Black Stars කණ්ඩායමට සෙල්ලම් කරන්න උවමනාවක් තියෙනවා නම් ඔවුන් ඔවුන්ට හැකි හැම දෙයක් ම උපරිමයෙන් ම කළ යුතු බවට මම ඔවුන්ට අවධාරණය කරනවා,” යැයි Boateng වැඩි දුරටත් කියා සිටිනවා.

ක්‍රීඩාලෝලීන් ඉදිරියේ ජාතික ගීය ගායනා කරන්න ලැබීම විස්මය ගෙන දෙන අමතක නොවන දෙයක්. එය මම ඉතාමත්ම වැදගත් කොට සලකන දෙයක්. කාටවත් ඒක ඔබෙන් හොරකම් කරන්න බැහැ.”

Black Stars මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී මාන බලමින් සිටියේ දකුණු අප්‍රිකාවේ 2010 වසරේ පැවති තරගාවලියේ දී උරුගුවේ කණ්ඩායම විසින් ඔවුන්ගේ හදවත් බිඳී දැමීමේ වාඩුව ගැනීමට. එදා Boateng සහ ඔහුගේ කණ්ඩායම් සගයන් සිටියේ ලෝක කුසලාන පාපන්දු තරගාවලි ඉතිහාසයේ අවසාන කණ්ඩායම් හතරට පිවිසෙන පළමු අප්‍රිකානු රට බවට පත් වීමේ දොරකඩ අභියස.

ඊට සිවු වසරකට පෙර ඝානාව ඔවුන්ගේ පළමු ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ජර්මනියේ දී ක්‍රීඩා කර තිබුණා. Boateng ඒ තරග බිමේත් සිටියා. දැන් 39 වියේ පසුවන ඔහු තුළ කනගාටුවක් නැත්තේ එවැනි අත්දැකීම් නිසායි.

එය මට සිහිනයක් සැබෑ වීමක්. ඊට වඩා දෙයක් මට ඉල්ලන්න බැහැ. පාපන්දු ක්‍රීඩකයෙක් ලෙසින් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම කියන්නේ මට අවශ්‍ය සියලු දේ ලැබුණා කියන එකයි,” ඔහු පවසනවා.

එහි තේරුම වන්නේ මුළු ලෝකයක්ම ඔබ දෙස බලා සිටිනවා කියන එකයි. මම මීට පෙර ක්‍රීඩා කරනවා දැකපු නැති කවුරු හරි එතන ඉන්න පුළුවන්. ඒ නිසා ඒ පුද්ගලයාට ගෙදර ගෙනියන්න පුළුවන් හොඳ මතකයක් දෙන්න මම මගේ උපරිම දස්කම් ප්‍රදර්ශනය කළ යුතුයි.”

මගේ ක්‍රීඩා දිවියේ දී ගොඩක් මිනිස්සු මට ‘නැහැ…බැහැ’ කියලා කිවුවා. නමුත් මම ඔවුන්ට ඇහුම්කන් දුන්නේ නැහැ. ඔබ ‘බැහැ’ කියන වචනයට කන් දුන් මොහොතේ ම ඔබේ මුළු ක්‍රීඩා ජීවිතය ම වසා දැමෙනවා!”

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<