ආජන්ටිනාව සහ ප්‍රංශයට ඉතිහාසය සමඟ දවසක්

FIFA World Cup 2022

398

Messi සහ Mbappe අතර සටනකට වඩා 2022 කටාර් ලෝක කුසලාන පාපන්දු අවසාන මහා තරගය ආජන්ටිනාව සහ ප්‍රංශයට ඉතිහාසය සමග දිනයක් වනු ඇත.

දෝහා අගනුවර ලුසේල් ක්‍රීඩාංගණයේ අද රාත්‍රියේ (18) පැවැත්වෙන මේ තරගයේ දී බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙන්නේ අංක 10 ක්‍රීඩකයින් වන ආජන්ටිනාවේ Lionel Messi සහ ප්‍රංශයේ Kylian Mbappe අතර සිදු වන සටන පිළිබඳවයි.

බොහෝ විට ලොව මෙතෙක් දුටු දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා වීමට ඉඩ ඇති Messi නමැති පුංචි විජ්ජාකාරයා තරග බිමෙන් සමුගැනීමේ ගමනක යෙදී සිටිනවා. මෙසීට වඩා ලෝක කුසලාන ගෝල දෙකක් පමණක් අඩුවෙන් වාර්තා කර සිටින අසාමාන්‍ය දක්ෂතාවකින් යුත් Mbappe තවමත් 23 හැවිරිදි වියේ පසුවන අතර ඔහු 35 හැවිරිදි මෙසීගේ ලොව හොඳම ක්‍රීඩකයා යන අධිකාරිය බාර ගැනීමට සූදානමින් සිටිනවා.

එහෙත් සැබැවින්ම එය ඊට වඩා සංකීර්ණ වෙනවා.

මෑත වසරවල ආජන්ටිනා කණ්ඩායම් සම්පූර්ණයෙන් ම මෙසී වටා ගොඩනැගී තිබුණා විය හැකියි. නමුත් ඔහුගේ වයස අවුරුදු ගණනින් ඉදිරියට යද්දී ආජන්ටිනා පාපන්දු කණ්ඩායම සඳහා වන ඔහුගේ කාර්යය නොනවතින ගෝල යන්ත්‍රයේ සිට ක්‍රීඩාව නිර්මාණය කරන ඉතා වැදගත් ම ක්‍රීඩකයා ලෙසින් බොහෝ දුරට වර්ධනය වී තිබෙනවා. ඒ අනුව තමා පුංචි මැජික් එකක් දියත් කරන තෙක් බලා සිටින කණ්ඩායමේ සගයන් අභිබවා මෙසී බලවත් වී  සිටිනවා.

පාපන්දුව යනු කණ්ඩායම් තරගයක් බව මෙසීගේ ආජන්ටිනාව හොඳින් දන්නවා.

එලෙසින්ම, ප්‍රංශය යනු Mbappeට වඩා එහා ගිය කණ්ඩායමක්. ඔවුන්ගේ ගෝලීය සුපිරි ක්‍රීඩකයින් වන තුවාල ලැබූ Karim Benzema, Paul Pogba සහ N’Golo Kante ක්‍රීඩා කරමින් සිටියා නම් 2018 ලෝක කුසලාන ශූරයින් වන ප්‍රංශය මේ 2022 තරගාවලියේ දී මෙතෙක් දුර පැමිණේවිදැයි කියා සහතිකයක් දෙන්න බැහැ.

මේ ක්‍රීඩකයන් අහිමි වීම හේතුවෙන් ලෝක මාධ්‍යයේ මෙන්ම තරගාවලිය පුරා ප්‍රතිවාදී කණ්ඩායම්වල ආරක්ෂක මෙහෙයුම්වල ද අවධානය යොමු වූයේ Mbappe කෙරෙහි. මේ හේතුව නිසා විවිධ හපන්කම් තිබෙන Antoine Griezmann සහ පළපුරුදු ක්‍රීඩක Olivier Giroudට දීප්තිමත්ව දිලිසීමට අවශ්‍ය කාලය සහ ඉඩ ලැබී තිබෙනවා.

අද පැවැත්වෙන අවසාන තරගය Mbappeට එරෙහි Messi තරගයකට වඩා ප්‍රංශයට එරෙහි ආජන්ටිනා තරගයක් බව ආජන්ටිනා පුහුණුකරු Lionel Scaloni අවධාරණය කරනවා. ඔහු මේ බව කියා ඇත්තේ මෙවර තරගාවලියේ මේ දක්වා ගෝල පහ බැගින් ලබා ගෙන සිටින සුපිරි ක්‍රීඩා තරු දෙකක් මෙන් ම PSG ක්‍රීඩා සමාජ කණ්ඩායමේ සගයින් ද වන මේ ක්‍රීඩකයන් දෙදෙනා පිළිබඳව මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේ දීයි.

කණ්ඩායම් දෙකට ම ඔවුන්ට අවශ්‍ය ආයුධ තිබෙන බවයි මම හිතන්නේ. තරගය අනෙක් ක්‍රීඩකයන් විසිනුත් තීරණය කරන්න පුළුවන්. එය මේ ක්‍රීඩකයන් දෙදෙනා අතින් ම සිදු විය යුතුයි කියා නියමයක් නැහැ. ලියෝ (මෙසී) හොඳින් ක්‍රීඩා කරගෙන යනවා. තරගය අපේ පැත්තට වාසි වේවි කියලා අපි ප්‍රාර්ථනා කරමු. නමුත් මෙය ආජන්ටිනාව සහ ප්‍රංශය අතර තරගයක්. තරගයේ ජයග්‍රාහකයා තීරණය කරන්න පුළුවන් ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් ඉන්නවා,” යැයි ආජන්ටිනා පුහුණුකරු ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර ප්‍රංශ කණ්ඩායමට ඊයේ දිරි ගැන්වීමක් ලැබුණේ වයිරසයක් හේතුවෙන් පසුගිය දින කිහිපයේ ක්‍රීඩාවෙන් බැහැරව සිටි ක්‍රීඩකයන් කිහිප දෙනා නැවත කණ්ඩායමේ පුහුණු සැසියට සහභාගි වී ඇති බැවින්.

Adrien Rabiot සහ Dayot Upamecano යන ක්‍රීඩකයින්ට මොරොක්කෝවට එරෙහි ප්‍රංශයේ ගෝල 2-0ක අවසන් පූර්ව ජයග්‍රහණයට සහභාගි වීමට නොහැකි වූ අතර Raphael Varane, Ibrahima Konate සහ Kingsley Coman පසුගිය දින තුනේ පුහුණුවීම්වලට පැමිණියේ නැහැ.

නමුත් දැන් මේ ක්‍රීඩකයින් පස්දෙනා ම පුහුණුකරුට අවශ්‍ය නම් ක්‍රීඩා කිරීමේ සූදානමින් සිටිනවා. ක්‍රීඩකයෙක් සහ පුහුණුකරුවෙක් යන චරිත දෙකෙන් ම ලෝක පාපන්දු කුසලානය දිනා ගැනීමට සමත් වූ පුද්ගලයන් ලොව සිටින්නේ තිදෙනෙකු පමණයි. ප්‍රංශ පුහුණුකරු Didier Deschamps එයින් කෙනෙක්.

ප්‍රංශ කණ්ඩායම සැම විටම මගේ වෘත්තීය ජීවිතයේ මට සිදු වූ වැඩියෙන් ම ලස්සන දේ විදියට තිබුණා,” යනුවෙන් ඔහු පවසනවා.

ක්‍රීඩකයෙකු විදියට මට දැනටමත් නියම අත්දැකීමක් තියෙනවා. දැන් පුහුණුකරුවෙක් ලෙස එය අත්විඳින්න ලැබීම මට ලැබුණු වරප්‍රසාදයක්. දැන් අවුරුදු 10ක් ගත වී තිබෙනවා. ඇත්තට ම මෙය පාපන්දු ක්‍රීඩාවේ ඉහළ ම ඉහළ තලයේ රාගයක්. ඒ නිසා මම මේ තත්ත්වයේ ඉන්න එක ගැන මට දැනෙන්නන් ලොකු සතුටක්.”

ආජන්ටිනාව සහ ප්‍රංශය යන කණ්ඩායම් දෙක ම ඔවුන්ගේ ඉතිහාසයේ දෙවතාවක් ලෝක පාපන්දු කුසලානය දිනා ගෙන තිබෙනවා. ආජන්ටිනාව 1978 සහ 1986 වසරවල දීත්, ප්‍රංශය 1998 සහ 2018 වසරවල දීත්.

කෙසේ වෙතත්, දෝහා හි සෙනඟ විශ්වාස කරන්නේ ආජන්ටිනාවට තෙවැනි ජයග්‍රහණයක් සඳහා දවස පැමිණ ඇති බවයි. එබැවින් 90,000කට තරග නැරඹිය හැකි ලුසේල් ක්‍රීඩාංගණයේ දී සුදු සහ අහසේ- නිල් වර්ණ ඉස්මතු වනු ඇත.

මෙසී ඔහුගේ අවසාන ලෝක කුසලාන තරගාවලියේ දී කුසලානය දිනා ගනු ඇතැයි යන අපේක්ෂාව විසින් ආජන්ටිනා ක්‍රීඩාලෝලීන්ගෙන් සමන්විත අමතර ගුවන් ගමන් කටාර් වෙත පැමිණ තිබෙන අතර අවම වශයෙන් ආජන්ටිනානුවන් 40,000ක් ක්‍රීඩාංගණයේ සිටිනු ඇතැයි තක්සේරු කෙරෙනවා.

මෙය මෙසීගේ දවස වේවි කියා අපි සියලු දෙනා ම විශ්වාස කරනවා,” යැයි ස්පාඤ්ඤයේ නගරයක් වන Cordoba හි සිට පැමිණ සිටින ගුරුවරයෙකු වන Ricardo Schwarz කියයි. පැයකට අධික කාලයක් ආජන්ටිනා ක්‍රීඩාලෝලී ගීත ගායනා කිරීම නිසා ඔහුගේ උගුර බැරැන්ඩි වී තිබුණා.

මට තවමත් ටිකට් එකක් නැහැ. නමුත් මම තවමත් බලාපොරොත්තුව අත් හැර නැහැ. ඒවා වෙළඳ පොලේ විකුණන්න තියෙනවා. නමුත් ඒවා හරි ගණන්,” යනුවෙන් ඔහු පවසනවා.

ක්‍රීඩාංගණයේ ආසන හුවමාරු කර ගැනීම සඳහා පිහිටුවා ගෙන සිටින WhatsApp කණ්ඩායම් විසින් ඩොලර් 750 ප්‍රවේශ පත් ඩොලර් 4,000කට අලෙවි කරන බව ආජන්ටිනා ආධාරකරුවන් AFP ප්‍රවෘත්ති ඒජන්සියට පවසා තිබෙනවා.

මේ අතර, තමා ඒක පාර්ශවීය පරිසරයක් බලාපොරොත්තු වන බව  Deschamps කියනවා. “ඔවුන් ගොඩාක් සිංදු කියනවා. ඒවා හරි ම ප්‍රබලයි. ඒක හොඳයි. මොකද, අන්තිමේ බලන කොට මේක ලෝක කුසලාන අවසාන තරගයක්. නමුත් අපේ ප්‍රතිවාදීන් ඉන්නේ ක්‍රීඩා මණ්ඩපවල නෙවෙයි.”

මෙය දකුණු ඇමෙරිකානු රටක් සහ යුරෝපීය රටක් අතර ක්‍රීඩා කෙරෙන 11 වැනි ලෝක කුසලාන පාපන්දු අවසාන තරගය යි.

එංගලන්තයට එරෙහි අර්ධ අවසන් පූර්ව සහ මොරොක්කෝවට එරෙහි අවසන් පූර්ව යන තරග දෙකේ ම ප්‍රංශය ප්‍රබලව තරග වදිමින් පළමු භාගයේ පෙරමුණ ලබා ගෙන තිබෙනවා. ඉන්පසුව මීට සිවු වසරකට පෙර ලෝක කුසලාන ශූරතාව කරා ඔවුන් ගෙන ගිය ආකාරයෙන්ම පීඩනය විඳ දරාගෙන ප්‍රතිප්‍රහාරාත්මක ක්‍රීඩා උපක්‍රමයේ යෙදී සිටින්නට ප්‍රංශ ක්‍රීඩකයන් සමත් වී තිබෙනවා.

නමුත් මෙසී දීප්තිමත් දක්ෂතා මට්ටමක සිටිය දී ප්‍රංශය ට ආජන්ටිනාව ට එරෙහිවත් එය ක්‍රියාත්මක කළ හැකි වේවිද?

ඔබ සූදානම් වී නැති දේවල් සැමවිටම තරගයක දී සිදුවෙනවා,” යැයි ලෝක පාපන්දු කුසලානය දිනා ගැනීම සඳහා කණ්ඩායමකට දෙවතාවක් නායකත්වය දුන් පළමු පුද්ගලයා වීමට බලා සිටින ප්‍රංශ නායක Hugo Lloris ප්‍රකාශ කරනවා. “ඔබ මනා කණ්ඩායම් ජීවයක් ප්‍රදර්ශනය කළ යුත්තේ මේ වගේ අවස්ථාවකයි.”

ආජන්ටිනාව ශක්තිමත් කණ්ඩායමක්. වෙනත් ක්‍රීඩකයන් බොහෝ දෙනෙකුගෙන් යුත් තරුණ පරම්පරාවකුත් නැගී ගෙන එනවා. ඒ සියලු දෙනා ම මෙසීට කැප වී සිටින බව පේනවා.”

ජගත් පාපන්දු සම්මේලනයේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව ආජන්ටිනාව අංක 3 පසුවන අතර ප්‍රංශය සිටින්නේ අංක 4ට. දෙපිල අතර 1930 වසරේ සිට පවත්වා තිබෙන තරග සංඛ්‍යාව 12ක් වන අතර එයින් වැඩිම ජයග්‍රාහකයා වී සිටින්නේ ආජන්ටිනාව. ඔවුන් තරග හයක් ජය ගෙන ඇති අතර ප්‍රංශය ජයග්‍රහණය කර තිබෙන්නේ තරග තුනක් පමණයි. තරග තුනක් අවසන් වී ඇත්තේ ජය පැරදුමකින් තොරවයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<