කළු වලාවේ රිදී රේඛාව සොයා ගත් අප්‍රිකාව

FIFA World Cup 2022

611

කිසිම අප්‍රිකානු රටක් ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයෙන් ඔබ්බට ගොස් නැති බව විස්තර කෙරෙන ‘කළු වලාවේ රිදී රේඛාවක් සොයන අප්‍රිකාව’ යන මැයෙන් ලිපියක් 2022 ලෝක කුසලානයට පෙර ඔක්තෝබර් 31 වන දින මේ පිටුවේ පලවුනා.

2022 ලෝක කුසලානයට පසුව මේ සටහන එම කළු වලාවේ රිදී රේඛාව සොයා ගත් අප්‍රිකාව පිළිබඳවයි. ඒ, කටාර් දේශයේ පැවති මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මොරොක්කෝව මාර්ගයෙන් තමන්ගේ ලෝක කුසලානයක් බවට පත්කර ගනිමින් අප්‍රිකාව පෙළහර පෑ බැවින්.

වසර 92ක ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට අප්‍රිකානු රටක් අවසාන කණ්ඩායම් හතරට පිවිසීමට සමත් වුනා. ඒ, මොරොක්කෝවයි.

මීට පෙර අප්‍රිකානු රටක ලෝක කුසලාන පාපන්දු හොඳම දක්ෂතාව වී තිබුණේ 1990 වසරේ දී කැමරූන්, 2002 වසරේ දී සෙනෙගාලය සහ 2010 වසරේ දී ඝානාව අවසාන කණ්ඩායම් අට අතරට පිවිසීමයි.

මොරොක්කෝවේ Atlas Lions ජාතික පාපන්දු කණ්ඩායම මෙවර තරගාවලියේ දී සුවිශේෂ දස්කම් දැක්වූයේ මුළු මහත් අප්‍රිකානු මහද්වීපයේ මෙන් ම ඉන් එහා පාපන්දු ලෝකයේත් මිලියන ගණන් ක්‍රීඩාලෝලීන්ගේ හදවත් දිනා ගනිමින්. තමන්ට ඕනෑම ප්‍රතිවාදියෙක් සමඟ කරට කර තරග කිරීමේ හැකියාව තිබෙන බවට ඔවුන් මේ තරගාවලියේ දී ප්‍රදර්ශනය කළා.

ලොව අනෙකුත් ප්‍රබල කණ්ඩායම් ඉදිරියේ තමන් දුර්වල වේවි යැයි බියක් අප්‍රිකානු කණ්ඩායම් තුළ තිබුණා නම් කටාර් ලෝක කුසලාන තරගාවලියත්  සමග ඒ බිය සදහටම තුරන්ව ගොස් ඇති බවට සැකයක් නැහැ.

අප්‍රිකානු මහද්වීපයේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් ප්‍රථම වතාවට පැවැත්වූයේ මීට දොළොස් වසරකට පෙර දකුණු අප්‍රිකාවේ දී. එහෙත් එම මහද්වීපයෙන් මෙතෙක් හොඳම දක්ෂතාව වාර්තා වූයේ 2022 ලෝක කුසලාන තරගාවලියේ දී.

කැමරූන් විසින් බ්‍රසීලය විස්මිත අයුරින් පරාජය කිරීම, ටියුනීසියාව විසින් ප්‍රංශය පැරදවීම සහ මොරොක්කෝව විසින් බෙල්ජියම පරාජය කිරීම ඇතුළුව මෙවර තරගාවලියට සහභාගි වූ සෑම අප්‍රිකානු කණ්ඩායමක් ම ජයග්‍රහණයක් හිමි කර ගත්තේ අප්‍රිකානු මහද්වීපයේ හොඳම ලෝක කුසලාන පාපන්දු ක්‍රීඩාව සටහන් කරමින්.

නායක Vincent Aboubakar ප්‍රමාද වී ලබා ගත් ගෝලයෙන් කැමරූන් කණ්ඩායම 1-0කින් බ්‍රසීලය පරාජය කළේ ලෝක කුසලාන පාපන්දු තරග බිමේ ජයග්‍රහණයක් ලැබීමේ විසි වසරක කැමරූන් නියඟය අවසන් කරමින්.

අමතක නොවන ජයග්‍රහණ ලැබුවේ ක්‍රීඩකයන් පමණක් නෙවෙයි. ක්‍රීඩා මණ්ඩපවල සිට සෙනෙගල්, ඝානා, මොරොක්කෝ සහ ටියුනීසියා නරඹන්නන් විචිත්‍රවත් ඇඳුමෙන් සැරසී ඉදිරිපත් කළ බෙර වාදන, නැටුම්, ගැයුම් සහිත රංගනයන් කටාර් ලෝක කුසලානය ඉතාමත් වර්ණවත් කළ බව නොරහසක්.

මෙවර තරගාවලියේ තවත් විශේෂත්වයක් වූයේ අප්‍රිකානු මහද්වීපය නියෝජනය කළ කණ්ඩායම් පහ ම ප්‍රථම වතාවට දේශීය පුහුණුකරුවන් විසින් මෙහෙයවීම.

රුසියාවේ පැවති පසුගිය 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දී අප්‍රිකානු කණ්ඩායම් පහෙන් දෙකක් අප්‍රිකානු පුහුණුකරුවන් විසින් මෙහෙයවනු ලැබුවත් ඒ කිසිම කණ්ඩායමකට තරගාවලියේ මූලික වටයෙන් ඉදිරියට යාමට හැකියාවක් ලැබුණේ නැහැ. ඊටත් මේ කණ්ඩායම් අතරින් ජයග්‍රහණ වාර්තා වූයේ තුනක් පමණයි.

ගෙවුණු වසර ගණනාවක් තිස්සේ ම අප්‍රිකානු මහද්වීපය විදෙස් පුහුණුකරුවන්ට කෙටි කාලීන කොන්ත්‍රාත් වෙනුවෙන් විශාල මුදලක් ගෙවා තිබෙනවා. එවැනි පසුබිමක මොරොක්කෝවේ Walid Regraguiගේ ජයග්‍රහණය අනෙකුත් අප්‍රිකානු රටවල් අවදි කිරීමක්.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ මොරොක්කෝවේ සාර්ථකත්වය අප්‍රිකානු මහද්වීපයටත් අනෙකුත් දේශීය පුහුණුකරුවන්ටත් ඉතාමත් වැදගත් වන බව හිටපු ටියුනීසියා ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩක Radhi Jaidi පවසනවා.

දේශීය කළමනාකරුවෙක් සාර්ථක වීමෙන් ලබා දෙන්නේ විශිෂ්ට පණිවිඩයක්,” යැයි ඔහු කියනවා. සුදුසුකම් තිබෙන දේශීය පුහුණුකරුවන්ට පාපන්දු ක්‍රීඩාවේ ඉහළ ම තලයේ තරග කිරීමට අවස්ථාව ලබා දිය යුතු බව ද ඔහු සඳහන් කර සිටිනවා.

අප්‍රිකානු පුහුණුකරුවන් කෙරෙහි මීට වඩා වැඩි විශ්වාසයක් තැබිය යුතු බව අවධාරණය කරන Jaidi එම පුහුණුකරුවන් ද අවශ්‍ය සුදුසුකම් ලබා ගෙන තමන්ගේ තත්ත්වය උසස් කර ගත යුතු බව ප්‍රකාශ කරනවා.

අප්‍රිකානු පුහුණුකරුවන් නවීන පාපන්දු ක්‍රීඩාවේ හොඳම අය වීමට උත්සාහ කළ යුතුයි. ඔවුන් ක්‍රීඩකයන් ඊළඟ මට්ටමට ගෙන යාම සඳහා උපකාරී වන පුද්ගලයන් විය යුතුයි. නමුත් ක්‍රීඩකයන් සමඟ වැඩ කිරීමට පෙර පුහුණුකරුවන්  දියුණු විය යුතුයි. සාර්ථකත්වය සඳහා අවශ්‍ය වන්නේ පිටියේ උපක්‍රම පමණක් නෙවෙයි. වෙනත් අංගයන් ද තිබෙනවා. ඒ නිසා පුහුණුකරුවන් නවීන පාපන්දු ක්‍රීඩාව ක්‍රියාත්මක වන්නේ කොහොමද කියා ඉගෙන ගත යුතුයි.”

දැන් අවධානය යොමු වනු ඇත්තේ කණ්ඩායම් 48ක් තරග වදින ඊළඟ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දී අප්‍රිකානු කණ්ඩායම්වලට ඔවුන් කටාර්හි දී ප්‍රදර්ශනය කළ දස්කම් අඩිතාලමක් කර ගනිමින් තවත් දියුණු විය හැකි ද යන්න පිළිබඳවයි.

ජගත් පාපන්දු සම්මේලනයේ සාමාජික රටවල් 54කින් සමන්විත වන අප්‍රිකානු මහද්වීපයට ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා මෙතෙක් ලබා දුන්නේ ස්ථාන පහක් පමණයි. මේ සංඛ්‍යාව ලබා ගැනීමටත් ඔවුන්ට 1998 වර්ෂය තෙක් බලා සිටින්නට සිදු වුනා.

නමුත් මින් ඉදිරියට ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි කර ගන්නා කණ්ඩායම් සංඛ්‍යාව 32 සිට 48 දක්වා වැඩි කිරීමට ජගත් පාපන්දු සම්මේලනය ගත් තීරණය නිසා අප්‍රිකානු කණ්ඩායම් අවම වශයෙන් නවයක් 2026 වසරේ ඇමෙරිකාව, මෙක්සිකෝව සහ කැනඩාවේ පැවැත්වීමට නියමිත තරගාවලියේ දී දක්නට ලැබෙනු ඇත. අන්තර් මහද්වීප තරගයකින් අප්‍රිකානු කණ්ඩායමක් ජයග්‍රහණය කළහොත් 10 වැනි නියෝජනයක් ද අප්‍රිකාවෙන් සිදුවීමට ඉඩ තිබෙනවා.

ඉතිහාසය පෙන්නුම් කරන පරිදි ලෝක කුසලාන තරග බිමේ අප්‍රිකානු මහද්වීපයේ මෙතෙක් තිබූ මේ අඩු නියෝජනය මත අනාගතයේ දී ලැබෙන වැඩි සහභාගිත්වය ඔවුන්ට අභියෝගයක් සහ මහඟු අවස්ථාවක් ද උදා කර දෙනු ඇත.

ලෝක කුසලානය වැනි පාපන්දු තරගාවලි ඉතාම තරගකාරීයි. විශාලයි. නමුත් සියල්ල නිසියාකාරව සිදු වී ක්‍රීඩකයන් මනා තත්ත්වයෙන් යුතුව තරගාවලියට පැමිණියොත් අප්‍රිකාවට ප්‍රබල බලපෑමක් එල්ල කරන්න පුළුවන් වේවි කියා මම හිතනවා,” යනුවෙන් හිටපු මොරොක්කෝ, නයිජීරියා සහ දකුණු අප්‍රිකානු පුහුණුකරු Philippe Troussier කියනවා.

පොඩි පොඩි සාර්ථකත්වයන් සැමරීමට උත්සාහ කරනවාට වඩා ලෝක පාපන්දු කුසලානය සඳහා සටන් කරන ලෙසට මොරොක්කෝව අනෙකුත් අප්‍රිකානු රටවලට අභියෝග කර තිබෙනවා. එවැනි ජයග්‍රහණයක් මගින් අප්‍රිකානු පාපන්දුවේ සහ අප්‍රිකානු කණ්ඩායම්වල මුහුණුවර සම්පූර්ණයෙන් ම වෙනස් කරාවි.”

ජුනි මාසයේ දී ප්‍රථම වතාවට පැවති අප්‍රිකානු පාපන්දු සම්මේලනයේ වෘත්තීය බලපත්‍ර පුහුණුකරු ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේ දී ඩිප්ලෝමා ලබා ගත් 23 දෙනාගෙන් 20 දෙනෙකු ම මොරොක්කානුවන් වීමෙන් දේශීය පුහුණුකරුවන් දියුණු කිරීම පිණිස එරටේ තිබෙන කැපවීම මනාව පෙන්නුම් කරනවා.

මේ තත්ත්වයට පැමිණීම සඳහා මොරොක්කෝව කළ දේවල් අපි සියලු දෙනා ම ඉගෙන ගත යුතුයි,” Jaidi පවසනවා.

ඔවුන් මෙතනට එන්න ක්‍රීඩා සමාජ වටේ සහ ජාතික මට්ටමෙන් විශිෂ්ට යටිතල පහසුකම් සැපයුවා. ඉතා හොඳ පාපන්දු සම්මේලනයක් හා ලෝකයේ තිබෙන එක් හොඳම පාපන්දු පුහුණු සංකීර්ණයක් ඔවුන්ට තිබෙනවා. ඔවුන් නිරතුරුවම දේශීය සහ ඩයස්පෝරා සහජ දක්ෂතාවන් සොයමින් සිටිනවා.”

ඔවුන්ගේ සාර්ථකත්වය පැමිණියේ ඉබේ ට හෝ වැරදීමකින් හෝ නෙවෙයි. එය ඉතා හොඳින් සැලසුම් කර ලබා ගත් දෙයක්. කටාර් දේශයේ දී ලබා ගත් සාර්ථකත්වය මේ සැලසුම්වල එක ප්‍රතිඵලයක්. ඔවුන් මේ අඩිතාලම මත ගොඩනැගීම ඉදිරියටත් කරගෙන යනවා.”

කටාර් ලෝක කුසලාන තරගාවලියේ අප්‍රිකාවේ පෙර නොවූ විරූ සාර්ථකත්වයේ තවත් ප්‍රධාන සාධකයක් වූයේ ඒ රටවල සංචිතයන්හි අන්තර්ගතයයි. අප්‍රිකාව නියෝජනය කළ කණ්ඩායම් පහේ නම් කර තිබූ ක්‍රීඩකයන්ගෙන් සියයට 40කට වැඩි ප්‍රමාණයක් උපත ලබා තිබුණේ අප්‍රිකාවට පිටතින්. කටාර් හි තරග බිම සමතැන් ගැන්වීමට මෙයත් එක් සාධකයක් වුනා.

අප්‍රිකානු පාපන්දුව සමඟ දීර්ඝ සම්බන්ධතාවක් ඇති ප්‍රංශ ජාතික වෘත්තීය පාපන්දු කළමනාකරුවකු සහ හිටපු ක්‍රීඩකයෙකු ද වන Troussier පවසන පරිදි අප්‍රිකානු කණ්ඩායම් විදේශයන්හි උපන් ක්‍රීඩකයන් ගණනාවකගෙන් සමන්විතව සිටීම ඔවුන්ට වාසිය ගෙන දුන් සාධකයක්.

මේ ක්‍රීඩකයන්ගෙන් බොහෝ දෙනෙක් ආරම්භයේ සිට ම පාපන්දුවේ හොඳ අධ්‍යාපනයක් ලබනවා. ජර්මනියේ, ප්‍රංශ‌යේ, ඉතාලියේ සහ නෙදර්ලන්තයේ ඉපදුණු ක්‍රීඩකයෙක් ඉබේට ම විවිධ මට්ටමෙන් ක්‍රීඩා කරනවා. ඔවුන් ඉතා උසස් තලයේ පුහුණුකරුවන්, ක්‍රීඩකයන් හා තාක්ෂණික වැඩසටහන් සමඟ කාලය ගත කරනවා. මේ නිසා ඔවුන් නැවත ඔවුන්ගේ රටවලට පැමිණෙන විට මේ ක්‍රීඩකයන් ඉබේට ම ශක්තිමත් පළපුරුද්දක් ඔවුන් සමඟ රැගෙන එනවා,” යනුවෙන් Troussier පෙන්වා දෙනවා.

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මොරොක්කෝ සංචිතයේ සිටි ක්‍රීඩකයන් 14 දෙනෙකු ම උපත ලබා තිබුණේ රටෙන් පිට.

මොරොක්කෝව නියෝජනය කිරීමේ වැදගත්කමේ හැඟීමක් එරට විසින් 2022 කටාර් ලෝක කුසලාන තරගාවලියේ දී නිර්මාණය කර තිබෙනවා. අවසන් පූර්ව වටයට පිවිසීම සහ තරගාවලියේ අවසාන මහා තරගයට පවා පිවිසීම කළ හැකි දෙයක් බවට මොරොක්කෝව මීළඟට එළඹෙන ලෝක පාපන්දු කුසලානයට පෙර සෙසු අප්‍රිකානු රටවලට පෙන්වා දී තිබෙනවා.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<