චමරි තුන් ඉරියව්වෙන්ම දස්කම් අතරට

FairBreak ආරාධිත විස්සයි විස්ස තරගාවලිය 2023

502

මැලේසියාවේ පැවැත්වෙන FairBreak ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ Barmy Army කණ්ඩායම සමඟ පැවති තරගයේ දී තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා චමරි අතපත්තු සමත් වුනා.

මෙම තරගයේ වැඩි ආධිපත්‍ය චමරි නියෝජනය කරන Falcons ක්‍රීඩිකාවන් සතු වුවත්, තරගයේ අවසන් භාගයේ දී දුර්වල පිතිකරණය නිසා ලකුණු 09ක පරාජයක් ලැබීමට ඔවුන්ට සිදු වුනා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් Barmy Army කණ්ඩායමේ පළමු කඩුල්ල දවා ගැනීමට චමරි සමත් වුනේ මුළු ලකුණු සංඛ්‍යාව 50ක් වන විටයි.

අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 54ක් ලබා සිටි නායිකා Lauren Winfield සිය දෙවැනි කඩුල්ල ලෙස දවා ගෙන තරගය සිය කණ්ඩායමට විවර කිරීමට චමරිට හැකි වුනා.

පන්දු 32ක් තුළ ලකුණු 40ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට තරමක හිසරදයක් වූ Nigar Sultana දවා ගැනීමට ද චමරිට හැකි වූ අතර ඇයගේ සිව්වැනි කඩුල්ල ලෙස Shemaine Campbelle පිටියෙන් ඉවත් කිරීමට ද ඇයට හැකි වුනා.

එම කැපී පෙනෙන පන්දු යැවීම (4/17) සහ අනෙක් ක්‍රීඩිකාවන්ගේ දක්ෂ ක්‍රීඩා විලාසය නිසා Barmy Army ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 143ක් පමණයි.

ලකුණු 144ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි Falcons ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 77ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට චමරිට සහ Danni Wyattට හැකි වුනා. Danni Wyatt පන්දු 21ක් තුළ ලකුණු 33ක් ලබා ගත්තා.

පන්දු 33කට මුහුණ දෙමින් හයේ පහර තුනක් සහ හතරේ පහර දෙකක් සමඟ ලකුණු 44ක් ලබා ගත් චමරි තෙවැනි කඩුල්ල ලෙස දැවී යන විට Falcons ක්‍රීඩිකාවන් කඩුලු 3ක් දැවී ලකුණු 94ක් ලබා සිටියා.

නමුත් ඉන්පසුව ක්‍රියාත්මක වූ Barmy Army පන්දු යැවීම හමුවේ Falcons කඩුලු තුනක් ලකුණු 12ක් තුළ පිටියෙන් ඉවත් වූ අතර ලකුණු 117ක් වන විට කඩුලු 8ක් දවා ගැනීමට Barmy Army ක්‍රීඩිකාවන්ට හැකි වුනේ තරග සම්පූර්ණයෙන් වෙනස් කරමිනුයි.

Jahanara Alam පන්දු 9කට මුහුණ දෙමින් ලකුණු 11ක් රැස් කළත් තරගය ජයග්‍රහණය කිරීමට එය ප්‍රමාණවත් වුනේ නැහැ.

  • Barmy Army Women – 143/6 (20); Lauren Winfield 54, Nigar Sultana 40, චමරි අතපත්තු 4/17.
  • Falcons Women – 134/9 (20): චමරි අතපත්තු 44, Danni Wyatt 33, Rumana Ahmed 3/23.

දේශීය, ජාත්‍යන්තර සහ ලීග් ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් එසැණින් දැන ගැනීම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<