බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරුවෙක් ඉල්ලා අස්වෙයි

2119

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කළ දකුණු අප්‍රිකානු ජාතික Ashwell Prince සිය ධුරයෙන් ඉල්ලා අස් වූ බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ (10) ප්‍රකාශ කළා.

44 වැනි වියේ පසුවන Ashwell Prince පසුගිය වසරේ පැවති සිම්බාබ්වේ සංචාරය සඳහා බංග්ලාදේශය සමඟ එක්වූවත් පසුව ඔහුගේ සේවා කාලය 2022 ලෝක කුසලානය තෙක් දීර්ඝ කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් තීරණය කළා.

ඒ අනුව ඔහු බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් වීමට ගත් තීරණය නිසා බංග්ලාදේශ කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයට ඔහු සහභාගී නොවන බව ද බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් තහවුරු කර තිබුණා.

“Ashwell Prince ඔහුගේ තනතුරින් ඉවත් වීමට තීරණය කර ඇති අතර අපට ඔහුගේ ඉවත් වීමේ ලිපිය ලැබුණා”, යැයි බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශ කළා.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර ධුරයකින් ඉවත් වූ දෙවැන්නා Ashwell Prince වන අතර මීට පෙර Ottis Gibson ද සිය ගිවිසුම් කාලය දීර්ඝ නොකරමින් සිය ධුරයට සමුදීමට තීරණය කර තිබුණා.

කෙසේ නමුත් බංග්ලාදේශ පිතිකරණ පුහුණුකාර ධුරය සඳහා ඔවුන්ගේ පිතිකරණ උපදේශක ලෙස පත්වූ Jamie Siddons පත්කිරීමට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කරමින් සිටින බව ද මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණා.

එමෙන්ම බංග්ලාදේශ කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hasan සහභාගී නොවන බව වාර්තා වන නමුත් ඔහු එක්දින තරගාවලිය සඳහා සහභාගී වන බව සඳහන් වනවා.

“Shakib Al Hasan දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය අනිවාර්යයෙන් ක්‍රීඩා කරන නමුත් ඔහු ටෙස්ට් තරගාවලියට එක් වෙනවා ද, නැද්ද කියලා තාමත් ප්‍රකාශ කරලා නැහැ. ඒත් ඔහු ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරග දෙකට සූදානම් කියලා දන්වලා තියෙනවා”, යැයි බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශ කළා.

බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වීමට නියමිත එම තරගාවලිය මාර්තු 18 වැනිදා පැවැත්වෙන එක්දින තරගයෙන් ආරම්භ වීමට නියමිතයි.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<