ඕස්ට්‍රේලියා පිහිනුම් ක්‍රීඩිකාවන්ගෙන් CWG තෙවැනි දිනයේ දී ලෝක වාර්තාවක්!

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

176

එංගලන්තයේ බර්මින්හැම් හිදි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තෙවැනි දිනය ඊයේ (31) නිමාවට පත්වුනා.

තෙවැනි දිනයේ දී පිහිනුම් තරග මෙන්ම බර ඉසිලීම ආදී ක්‍රීඩා රැසකගේම අවසන් තරග පැවැත්වූ අතර ඕස්ට්‍රේලියානු පිහිනුම් ක්‍රීඩිකාවන් නව ලෝක වාර්තාවක් පිහිටුවන්නට ද ඊයේ සමත් වුනා.

පිහිනුම්

දෙවැනි දිනයේ දී මෙන්ම තෙවැනි දිනයේ දී ද පිහිනුම් ඉසව්වේ වැඩි ගෞරව දිනා ගත්තේ ඕස්ට්‍රේලියාවයි.

මීටර් 200 නිදහස් ආර සහය පිහිනුම් ඉසව්ව මිනිත්තු 7:39.29කින් අවසන් කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවන්ට ඕස්ට්‍රේලියානු පිහිනුම් ක්‍රීඩිකාවන් සමත් වුනා. ඔවුන් එම ඉසව්වේ රන් පදක්කම ද දිනා ගත්තා. ලෝක වාර්තාව පිහිටවූ කණ්ඩායමට Madison Wilson, Kiah Melverton, Mollie O’callaghan හා Ariarne Titmus ඇතුළත් වුනා.

ඊයේ පැවැත්වුණු පිහිනුම් ඉසව්වල දී තවත් පැරණි තරගාවලි වාර්තා කිහිපයක් ද බිඳ වැටුණා.

ඕස්ට්‍රේලියාවේ Kaylee McKeown කාන්තා මීටර 100 පසුපස ආර ඉසව්වේ නව තරගාවලි වාර්තාවක් පිහිටුවන්නට සමත් වුනා. ඇය ඒ සඳහා ගත කළ කාලය තත්පර 58.60ක්. එම ඉසව්වේ රන් පදක්කම Kaylee විසින් දිනා ගනිද්දී, රිදී පදක්කම හා ලෝකඩ පදක්කම කැනඩා හා වේල්ස් ක්‍රීඩිකාවන්ට හිමි වුනා.

පිරිමි මීටර 100 නිදහස් ආර ඉසව්වේ මූලික වටයේ තරගයක දී නව තරගාවලි වාර්තාවක් පිහිටුවන්නට ඕස්ට්‍රේලියාවේ Kyle Chalmers සමත් වුනා. ඔහුට එම ඉසව්ව නිමා කිරීමට ගත වුනේ තත්පර 47.36ක් පමණයි.

ක්‍රිකට්

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ පළමු වතාවට පැවැත්වෙන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ඉසව්වේ වැදගත් තරග දෙකක් ඊයේ පැවැත්වුණා. ඉන්දියාව හා පාකිස්තානය මූලික වටයේ A කාණ්ඩයේ තරගයක දී එකිනෙකා හමු වූ අතර තරගය කඩුලු 8කින් ජයගන්නට ඉන්දියාව සමත් වුනා.

බාබඩෝස් සමඟ තරග කළ ඕස්ට්‍රේලියාව එම තරගය පහසුවෙන් ජය ගන්නට සමත් වුනා.

සත් සාමාජික රග්බි

සත් සාමාජික රග්බි ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට ප්‍රබල දකුණු අප්‍රිකාව සමත් වුනා. ඒ ෆීජී කණ්ඩායම ලකුණු 31-07ක් ලෙස පරාජය කරමිනුයි. එම ඉසව්වේ රිදී පදක්කම ෆීජී දිනා ගත්තා, ලෝකඩ පදක්කම හිමි වුනේ නවසීලන්තයටයි.

සත් සාමාජික කාන්තා රග්බි තරගාවලියේ රන් පදක්කම ඕස්ට්‍රේලියාව විසින් දිනා ගත්තා. ඒ ලකුණු 22-12ක් ලෙස ෆීජී පරාජය කරමිනුයි. එම ඉසව්වේ ද ලෝකඩ පදක්කම හිමි වුනේ නවසීලන්තයටයි.

බර ඉසිලීම

බර ඉසිලීම ඉසව්වේ වැදගත් අවසන් මහා තරග කිහිපයක්ම ඊයේ පැවැත්වුණා. එම ඉසව්වලින් වැඩි ගෞරව දිනා ගන්නට ඉන්දියාව සමත් වීම විශේෂත්වයක්.

පිරිමි 67kg බර පන්තියේ රන් පදක්කම දිනා ගන්නට ඉන්දියාවේ Lalrinnunga Jeremy සමත් වුනා. ඒ නව තරගාවලි වාර්තාවක් ද පිහිටුවමිනුයි. ඔහු එසවූ මුළු බර ලෙස සඳහන් වුනේ කිලෝග්‍රෑම් 300ක්.

පිරිමි 73kg බර පන්තියේ රන් පදක්කම ඉන්දියාවේ Achinta Sheuli විසින් දිනා ගත්තා. ඔහුත් කිලෝග්‍රෑම් 313ක සමස්ත බර ප්‍රමාණයක් ඔසවමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවන්නට සමත් වුනා.

එම ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකාවේ චතුරංග ජයසූරිය පස්වැනි ස්ථානය දිනා ගත්තා. ඔහු එසවූ මුළු බර ලෙස සඳහන් වුනේ කිලෝග්‍රෑම් 259ක්.

කාන්තා 59kg බර පන්තියේ රන් පදක්කම දිනා ගන්නට නයිජීරියාවේ Rafiatu Folashade Lawal සමත් වුනා. ඇය කිලෝග්‍රෑම් 206ක මුළු බරක් ඔසවමින් නව තරගාවලි වාර්තාවක් ද පිහිටුවන්නට සමත් වුනා.

තවමත් පදක්කම් සටහනේ ඉහළින්ම රැඳී සිටින්නේ ඕස්ට්‍රේලියාවයි. කෙසේ වෙතත් ඉන්දියාව 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙන්නට සමත්ව තිබීම විශේෂත්වයක්.

ක්‍රීඩා උළෙලේ සිව්වැනි දිනය අදයි.  පිහිනුම් ඉසව් රැසක අවසන් මහා තරග අද (1) පැවැත්වීමට නියමිත අතර පිරිමි මීටර් 100 නිදහස් ආර ඉසව්ව ද ඒ අතර වෙනවා. ඊට අමතරව Artistic ජිම්නාස්ටික්, පාපැදි ධාවන, ජූඩෝ සහ රෝදපුටු පැසිපන්දු ක්‍රීඩාවල අවසන් තරග ද අද පැවැත්වීමට නියමිතයි.

22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිරි-අසිරිය ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<