Gujarat නැවතත් ජයග්‍රාහී ගමනක!

IPL 2023

543
Clinical Gujarat Titans make it two in two

2023 IPL තරගාවලියේ 7 වැනි තරගය ඊයේ (04) Delhi Capitals සහ Gujarat Titans කණ්ඩායම් අතර පැවැත්වුනා.

එහි දී Delhi Capitals කණ්ඩායමට තරගාවලියේ දෙවැනි පරාජයත් උරුම කර දෙමින්ම, පසුගිය වසරේ ලද ජයග්‍රාහී රිද්මය තවදුරටත් ඉදිරියට පවත්වා ගෙන යාමට Hardik Pandyaගේ නායකත්වයෙන් යුත් Gujarat Titans සමත් වුනා.

මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් Gujarat නායකයා විසින් තමන්ට වඩාත්ම වාසිසහගත ලකුණු හඹා යෑමේ රටාවම තෝරා ගනිමින් Delhi කණ්ඩායමට පළමුව පන්දුවට පහර දීමට ඇරයුම් කළ අතර, ඒ අනුව සුපුරුදු Delhi ආරම්භක පිතිකරු යුගලය වන David Warner සහ Prithvi Shaw පිටියට පිවිසුණා.

නමුත් පෙර තරගයේ දී මෙන්ම මෙවරත් Prithvi Shaw සිය කඩුල්ල නිකරුණේ Mohommad Shami හට පූජා කළ අතර, ඔහුගෙන් පසුව පිටියට පිවිසි Mitchell Marsh ද Prithvi ගිය මගම යමින් Shamiට තවත් කඩුල්ලක් පූජා කළා.

පසුව Warnerගේ සහයට පිටියට එක් වුනේ සමස්ත ඉන්දියාවේ වඩාත් කතාබහක් ඇති කිරීමට සමත් වූ පිතිකරුවෙකු වන Sarfaraz Khan වන අතර ඔහුගෙන් ද Warnerට බලාපොරොත්තු වන සහය නොලැබෙන බව පෙනී ගියේ ඔහු ඉතාමත් සෙමෙන් සිය ඉනිම ආරම්භ කිරීමත් සමඟයි.

මේ අතර ලකුණු 37ක් ලබා සිටි Warner සහ Rilee Rossouwව (ලකුණු ලබා ගැනීමට පෙර) පිට පිට පන්දු දෙකකින් දවා ගැනීමට Alzarri Joshep විසින් සමත් වුනා.

නමුත්, ඉන්පසුව Delhi ඉනිමට යම් සැනසුම් සුසුමක් හෙළීමට ඉඩ ලබා දුන් Axar Patel සහ Abishek Porel විසින් වේගවත් ලකුණු 36ක් සහ 22ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 තුල Delhi ලකුණු පුවරුව ලකුණු 162ක් දක්වා රැගෙන ඒමට සමත් වුනා. ඒ වන විට Delhi ඉනිමේ කඩුලු 8ක් බිඳ වැටී තිබූ අතර Rashid Khan සහ Mohommad Shami විසින් කඩුලු 3 බැගින් බිඳ හෙළීමට සමත් වී තිබුණා.

මේ අනුව නියමිත ඉලක්කය පහසුවෙන් හඹා යන බලාපොරොත්තු ඇතිව Gujarat Titans ආරම්භක පිතිකරුවන් පිටියට පිවිසියත්, Anrich Nortjeගේ අධිවේගී පන්දු හමුවේ ඔවුන්ගේ ඒ බලාපොරොත්තු සුන් වී ගියා.

Nortje විසින් Wriddhiman Saha සහ Shubman Gill යන දෙදෙනාවම ලකුණු 14 බැගින් ලබා සිටිය දී දවා ගැනීමට සමත් වුනා. එමෙන්ම මේ අතර Gujarat නායක Hardik Pandya හට ද සාර්ථක වීමට ඉඩ ලබා නොදුන් Khaleel Ahmed විසින් විසින් ලකුණු 5කට Pandyaගේ කඩුල්ල බිඳ හෙළුවත්, ඉන්පසුව Gujarat ඉනිම කෙමෙන් ගොඩ නැංවීමට Vijay Shankar සහ Sai Sudharsan විසින් සමත් වුනා.

ලකුණු 29ක් ලබා සිටි Shankarගේ කඩුල්ල Gujarat ඉනිමේ 13 වැනි පන්දුවාරයේ දී බිඳ හෙළීමට Kuldeep Yadav විසින් සමත් වූ නමුත්, ඉන්පසුව අත්දැකීම් බහුල මැදපෙළ පිතිකරු David Miller විසින් එතෙක් දෙපිළටම විවෘතව තිබූ තරගය Gujarat වෙත නැඹුරු කිරීමට සමත් වුනේ පන්දු 16ක් තුල ලකුණු 31ක් ලබා ගනිමිනුයි. එමෙන්ම මෙහි දී Gujarat ඉනිමේ නැංගුරම බවට පත්වීමට Sai Sudharsan විසින් සමත් වුනේ පන්දු 48කින් නොදැවී ලකුණු 62ක් ලබා ගැනීමත් සමඟයි.

Delhi වෙනුවෙන් යම් තරමකට හෝ සාර්ථක වීමට සමත් වුනේ Anrich Nortje පමණක් වන අතර ඔහු ලකුණු 39කට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

ඒ අනුව මෙම තරගයෙන් Delhi Capitals කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක පහසු ජයග්‍රහණයක් අත්කර ගැනීමට Gujarat Titans සමත් වූ අතරම, මෙම ජයග්‍රහණයත් සමඟින් 2023 IPL ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ද Gujarat සමත් වී තිබෙනවා.

  • Delhi Capitals 162-8 (20): David Warner 37, Axar Patel 36, Rashid Khan 3-31, Mohammed Shami 3-41
  • Gujarat Titans 163-4 (18.1): Sai Sudharsan 62*, David Miller 31*, Anrich Nortje 2-31

තරගාවලියේ මීළඟ තරගය අද (05) Rajasthan Royals සහ Punjab Kings කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

මෙවර IPL තරගාවලියේ සියලු තරග ඔබ වෙත සජීවීව නැරඹීමට ThePapare.com වෙතින් අවස්ථාව සලසා දී ඇති අතර, සැම තරගයකම තරග විස්තර ද ඔබ හා සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<