වෙළඳසේවා සුපිරි කාණ්ඩයේ T20 අවසන් පූර්ව වටය තීන්දුයි

30 වැනි සිංගර් - වෙළඳසේවා සුපර් ප්‍රිමියර් T20 ක්‍රිකට් තරගාවලිය 2023

619

සිංගර් ශ්‍රී ලංකා ආයතනය සහ වෙළඳසේවා සංගමය එක්ව 30 වැනි වරටත් සංවිධානය කරනු ලබන 2023 වෙළඳසේවා සුපර් ප්‍රිමියර් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග අද (17) අවසන් වුනා.

ඒ අනුව කාණ්ඩ දෙකක් යටතේ කණ්ඩායම් 7ක් (4ක් සහ 3ක්) තරග කළ මේ තරගාවලියේ මූලික වටය අවසානයේ Hayleys A, Fairfirst Insurance, CL Synergy Limited සහ අපරාජිත CDB A යන කණ්ඩායම් මේ තරගාවලියේ තීරණාත්මක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

අද පැවති මූලික වටයේ අවසන් තරගවල දී CL Synergy Limited, CDB A සහ John Keells A කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වුනේ පිළිවෙළින් Hayleys A, Fairfirst Insurance සහ BBK Partnership යන කණ්ඩායම් පරාජය කරමින්.

CL Synergy සහ Hayleys අතර පැවති තරගය තියුණු සටනකින් අනතුරුව කඩුලු 2කින් ජය ගනිමින් CL Synergy A කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනාගෙන තරගාවලිය අවසන් කළා. එහි දී ලකුණු 128ක ඉලක්කයක් හඹා ගිය CL Synergy වෙනුවෙන් පවන් රත්නායක සහ සොනාල් දිනූෂ පිතිකරණයෙන් සහ පන්දු යැවීමෙන් වැඩි දස්කම් දක්වන විට Hayleys වෙනුවෙන් සිය උපරිමය ලබා දෙන්නට ටී. එම්. සම්පත් (43 & 4/13) සමත් වුනා.

ඕෂද ප්‍රනාන්දු සහ අදීශ තිලංචන ලබා ගත් අර්ධ ශතක නිසාවෙන් CDB සහ Fairfirst රක්ෂණ සමාගම අතර පැවති තරගයෙන් ලකුණු 29ක ජයක් ලබා ගන්නට CDB සමත් වුනේ අපරාජිතව B කාණ්ඩයේ පෙරමුණ ගනිමිනි. එහි දී පළමුව පන්දුවට පහර දුන් CDB පන්දුවාර 20 තුල කඩුලු 7ක් දැවී ලකුණු 173ක් ලබා ගත් අතර වමතින් දඟපන්දු යවන මුදිත ලක්ෂාන්ගේ කඩුලු 4 දස්කම් හමුවේ පසුබැස්මකට ලක්වුණු Fairfirst ඉනිම ලකුණු 134කට සීමා වුනා.

John Keells සහ BBK Partnership අතර තරගයෙන් වැඩි පරතරයක් සහිතව ජයග්‍රහණය ලබා ගැනීමට John Keells කණ්ඩායමට හැකි වුනා නම්, ඔවුන්ට ඉදිරි වටය පිළිබඳව යම් බලාපොරොත්තුවක් තබා ගැනීමට හැකිව තිබුණු නමුත් මේ තරගය ඔවුන් ජය ගත්තේ ලකුණු 13කින්.

පළමුව පන්දුවට පහර දුන් John Keells කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල ලකුණු 146ක් ලබා ගත්තා. එහි දී කවීන් බණ්ඩාර අර්ධ ශතකයක් සමඟින් ලකුණු 67ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනා. පන්දු 27ක් තුල වේගවත් ලකුණු 38ක් ලබා ගත් සචිත ජයතිලක 4 පහර 2ක් සහ 6 පහර 3කින් එම ලකුණු ප්‍රමාණය වාර්තා කළා. පන්දු යැවීමේ දී Kamalarasa Iyalarasan කඩුලු 4ක් දවා ගන්නා විට, විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු 3ක් බිඳ හෙළුවා.

පිළිතුරු ඉනිම දියත් කළ BBK Partnership වෙනුවෙන් සොහාන් ද ලිවේරා අර්ධ ශතකයක් ලබා ගත් නමුත් එය ඔවුන්ගේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වුනේ නැහැ. ඒ අනුව ඔවුන් මූලික වටය අවසන් කළේ ක්‍රීඩා කළ තරග 3ම පරාජයට පත්වෙමින්.

අද පැවති මූලික වටයේ අවසන් තරගවල ලකුණු කෙටියෙන්,

  • Hayleys A – 127/7 (20): ටී. එම් සම්පත් 43, අවිශ්ක ප්‍රනාන්දු 41, සොනාල් දිනූෂ3/36, ඉසුරු උදාන 2/25
  • CL Synergy Limited – 130/8 (16.4): පවන් රත්නායක 43, ප්‍රියමාල් පෙරේරා 33, ටී. එම් සම්පත් 4/13, අශේන් බණ්ඩාර 2/25.

CL Synergy Limited කණ්ඩායමට කඩුලු 2ක ජයක්.

  • Citizen Development Business (CDB) – 173/7 (20): ඕෂද ප්‍රනාන්දු 59, අදීශ තිලංචන 52*, මොවින් සුබසිංහ 27*, චාමික ගුණසේකර 4/34, වනුජ කුමාර 2/31
  • Fairfirst Insurance – 134 (18.3): මෝදිත රණතුංග 42, මිනෝද් භානුක 37, මුදිත ලක්ෂාන් 4/23, තරිඳු රත්නායක 2/12, ලහිරු මදුසංක 2/22.

CDB Finance කණ්ඩායමට ලකුණු 29ක ජයක්.

  • John Keells – A 146 (20): කවීන් බණ්ඩාර 67, සචිත ජයතිලක 38, Kamalarasa Iyalarasan 4/10, විජයකාන්ත් වියස්කාන්ත් 4/15
  • BBK Partnership 133/7 (20): සොහාන් ද ලිවේරා 50, ජෙහාන් ඩැනියල් 35, සංගීත් කුරේ 25, නිමේෂ් විමුක්ති 2/14

John Keells කණ්ඩායමට ලකුණු 13ක ජයක්.

අවසන් පූර්ව වටයේ තරග කාලසටහන,

  • SF 1 – මැයි 19 – Hayleys A සහ Fairfirst රක්ෂණ සමාගම – වෙළඳසේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී
  • SF 2 – මැයි 19 – CDB A සහ CL Synergy Limited – කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී

තරගාවලියේ උණුසුම සඳහා රැඳෙන්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<