පාකිස්තාන සංචාරය ගැන Stokesගෙන් ප්‍රකාශයක්

එංගලන්ත කණ්ඩායමේ පාකිස්තාන සංචාරය 2022

228

පාකිස්තානයේ මේ වන විට පවතින වාතාවරණය හමුවේ වුවත් කණ්ඩායම සිය කණ්ඩායමේ ආරක්ෂක පිරිස මත සම්පූර්ණ විශ්වාසය තබන බව පාකිස්තාන සංචාරය පිළිබඳව අදහස් දක්වමින් එංගලන්ත ටෙස්ට් නායක Ben Stokes ප්‍රකාශ කළා.

එංගලන්ත කණ්ඩායම පාකිස්තානයේ සංචාරයකට එක් වීමට මාසයක් පමණක් ඉතිරිව තිබිය දී පාකිස්තාන හිටපු අගමැති Imran Khan හට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පසුව එංගලන්ත කණ්ඩායම පාකිස්තානයට පැමිණීම ගැන ගැටලුවක් මතුව තිබුණා.

1992 ලෝක කුසලානය දිනා ගත් පාකිස්තාන කණ්ඩායමේ නායකයා වූ Imran Khan විශ්වාසභංගයක් මගින් පාකිස්තාන අගමැති ධුරයෙන් ඉවත් කළ අතර ඉන්පසුව පැවති ජනතා රැළියක දී ඔහුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වුනා.

එම වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ පාදයකට තුවාල සිදු වූ අතර වෙඩි ප්‍රහාර නිසා එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 10කට ආසන්න ගණනක් තුවාල ලැබුවා.

ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාවට එරෙහි අවසන් පූර්ව තරගයට සූදානම් වෙමින් සිටිය දී මෙම සිදු වීම පිළිබඳව අදහස් දැක්වූ Ben Stokes ප්‍රකාශ කළේ, සිය කණ්ඩායම මෙම සංචාරය පිළිබඳව කනස්සල්ලට පත් වන නමුත් සිය ආරක්ෂක උපදේශකයා මත කණ්ඩායම 100%ක් විශ්වාස කරන බවයි.

“ඇත්තෙන්ම පසුගිය සතියේ සිදු වූ සිදුවීම තරමක කනස්සල්ලට පත්වෙන දෙයක්. නමුත් අපි Reg Dickasonව (එංගලන්ත ආරක්ෂක උපදේශකයා) එහෙට යවලා තියෙන්නේ. ඔහු වසර ගණනාවක් තිස්සේ අපගේ ආරක්ෂක ප්‍රධානියා. මගේ මතය අනුව එහි තත්වය බැලීමට හොඳම කෙනා ඔහුයි.

නමුත් Reg එහි තොරතුරු සොයා බලා අපිට විස්තර එවනකම් අපිට කිසි දෙයක් ගැන කියන්න බැහැ. නමුත් එම සංචාරයට එක් වෙන ක්‍රීඩකයෝ වගේම ප්‍රේක්ෂකයින් ද ඔහුට සියයට සියයක් විශ්වාස කරනවා.”

එංගලන්තය පසුගිය මාසයේ දී පාකිස්තානයේ දී තරග හතකින් යුත් විස්සයි විස්ස තරගාවලියකට සහභාගී වී එම තරගාවලිය සාර්ථකව අවසන් කළ අතර ටෙස්ට් තරගාවලියට කිසිදු සෘජු අවදානමක් නොමැති බව එංගලන්ත ක්‍රිකට් බලධාරීන්ගේ අදහසයි.

කෙසේ නමුත් මහ මැතිවරණයක් ඉල්ලමින් Imran Khanගේ ආධාරකරුවන් මෙම සති අන්තයේ දී නැවතත් සිය පා ගමන් ආරම්භ කරනු ඇතැයි අපේක්ෂා කරන අතර නොවැම්බර් තුන්වැනි සතිය පමණ වන විට ඔවුන් ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන Rawalpindi වෙත ළඟා වීමට බොහෝ ඉඩක් තිබෙනවා.

එම දිනය එංගලන්ත කණ්ඩායම නොවැම්බර් 26 සහ 27 දිනවල දී ඩුබායි හී පැවැත්වෙන පුහුණු කඳවුර අවසන් කර පාකිස්තානයට පැමිණීමට සැලසුම් කර ඇති දිනය වීමේ අවදානමක් ද පවතිනවා.

මෙය එංගලන්ත කණ්ඩායමක් 2005 වසරෙන් පසුව පාකිස්තානය තුළ ටෙස්ට් තරගාවලියකට සහභාගී වන පළමු අවස්ථාව වන අතර ඔවුන් දෙසැම්බර් 9 සිට 13 දක්වා Rawalpindi හිදී සහ දෙසැම්බර් 17 සිට 21 දක්වා කරච්චි හිදී ටෙස්ට් තරග දෙකකට සහභාගී වීමට නියමිතයි.

කෙසේ නමුත් Imran Khanගේ ආධාරකරුවන් අධිවේගී මාර්ගයක් අවහිර කිරීම නිසා මෙම සතියේ Rawalpindi හී පැවැත්වීමට නියමිත තිබූ Quaid-e-Azam trophy තරගාවලියේ තරගයක් කල් දැමීමට ද එහි සංවිධායකයින්ට සිදු වුනා.

මෙම තත්වයන් යටතේ එංගලන්ත අවදානම් ආරක්ෂක අංශයේ ප්‍රධානියා වන Reg Dickason ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන එක් දින තරගාවලියට ක්‍රීඩකයින්ගේ පැමිණීම අධීක්ෂණයෙන් පසුව මෙම සතිඅන්තයේ දී පාකිස්තානයට පිටත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඔහු මීට පෙර ද මෙවැනි තත්වයන් යටතේ එංගලන්ත කණ්ඩායම සමඟ කටයුතු කර ඇති අතර 2016 වසරේ බංග්ලාදේශයේ ඩකා නුවර සිදු වූ ත්‍රස්තවාද ප්‍රහාරයෙන් පසුව ඔහු එංගලන්ත කණ්ඩායම සමඟ සංචාරයට එක් වුනා.

“ලෝකේ හොඳම ආරක්ෂක නිලධාරියා වෙන Reg Dickason අපිට ඉන්නවා වගේම ඔහු අපි වෙනුවෙන් තොරතුරු සොයා ගන්න මහන්සි වෙනවා. එයා මොනවා කිව්වත් එංගලන්ත ක්‍රිකට් බලධාරීන් සහ ක්‍රීඩකයින් ඒක අහනවා. මොකද එයා දන්නවා මොකක්ද කරන්නේ සහ කරන්න ඕනේ කියලා,” යැයි Ben Stokes වැඩි දුරටත් ප්‍රකාශ කළා.

Cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<