එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමෙන් ලෝක වාර්තාවක්

එංගලන්ත කණ්ඩායමේ නෙදර්ලන්ත තරග සංචාරය 2022

349

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග ඉතිහාසයේ දී තරගයක් තුළ කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට එංගලන්තය අද (17) සමත් වුනා.

නෙදර්ලන්තය සමඟ පැවති පළමු එක්දින තරගයේ දී පන්දුවාර 50 තුල කඩුලු 4ක් දැවී ලකුණු 498ක් ලබාගෙන ඔවුන් එම ලෝක වාර්තාව පිහිටුවනු ලැබුවා.

ICC ලෝක කුසලාන සුපර් ලීගයේ තරගාවලියක් ලෙස නෙදර්ලන්තයේ Amstelveen හිදී පැවැත්වුණු මේ තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

මේ වාර්තාගත එංගලන්ත ඉනිමේ දී ශතක තුනක් වාර්තා වුනු අතර Phil Salt පන්දු 93කින් ලකුණු 122ක් ද, Dawid Malan පන්දු 109කින් ලකුණු 125ක් ද වාර්තා කළා. එය ඔහුගේ මංගල එක්දින ශතකය වුනු අතර තරග ආකෘති තුනේම (විස්සයි විස්ස, එක්දින සහ ටෙස්ට්) ශතක ලබා ගත් තෙවැනි එංගලන්ත ක්‍රීඩකයා බවට පත්වීමට Malanට අද හැකියාව ලැබුණා.

කඩුලු රකින පිතිකරු Jos Buttler පන්දු 70කින් නොදැවි වේගවත් ලකුණු 162*ක් වාර්තා කිරීම විශේෂත්වයක්. ඔහුගේ ඉනිම හයේ පහර 14කින් වර්ණවත් වුනා. එංගලන්ත ඉනිමේ අවසන් පන්දුවාර කිහිපය තුල දැඩි ප්‍රහාරයක් දියත් කළ Liam Livingstone පන්දු 22කින් නොදැවි වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 66*ක්.

ඔවුන්ගේ ආරම්භක පිතිකරු Jason Roy පන්දු 7කට මුහුණ දී එක් ලකුණකට දැවී ගිය අතර, අනතුරුව නායක Eoin Morgan මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියා.

මීට පෙර ද එක්දින තරගයක දී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කීවේ එංගලන්තය වන අතර 2018 වසරේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 6ක් දැවී ලකුණු 481ක් ලබා ගෙන ඔවුන් විසින්ම (එංගලන්තය) පිහිටුවා තිබූ ලෝක වාර්තාව මෙසේ අද බිඳ වැටුණා.

2018 ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති එම තරගයට පෙර ද මේ ලෝක වාර්තාවට එංගලන්තයම හිමිකම් කීම විශේෂත්වයක්. ඒ, 2016 වසරේ දී පාකිස්තානයට එරෙහිව කඩුලු 3ක් දැවී ලකුණු 444ක් රැස් කරමින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<