කයියයි, හයියයි දෙකම අඩු නැතුව තිබුණු අලී

835

“බොක්සිං කියන්නේ කළු මිනිස්සු දෙන්නෙක් ගහ ගන්න දිහා සුදු මිනිස්සු ගොඩක් වට වෙලා බලාගෙන ඉන්න එකට.” 

Muhammad Ali කියන හිටපු ශ්‍රේෂ්ඨ බොක්සිං ක්‍රීඩකයා වරෙක තමන්ගේ ක්‍රීඩාව හඳුන්වලා දුන්නේ ඒ විදිහට. 

හේතු කිහිපයක් නිසා ඒ ප්‍රකාශය ඒ තරම් ම සැහැල්ලු එකක් නෙවෙයි 

Ali කළු ජාතිකයෙක් විදිහට ඇමරිකානු සුදු ජාතිකයින් වෙතින් සෑහෙන්න නිග්‍රහ ලබපු කෙනෙක්. (ඒක Aliට විතරක් වුන දෙයක් නෙවෙයි.) 

පිරිසක් විසින් දෙන්නෙක් සටන් වලල්ලක් මැද්දට දාලා, වටවෙලා සටන් කරන දිහා බලා ගෙන විනෝද වීම බොක්සිංකියන බ්‍රෑන්ඩ් නේම් එක නැතුව වුනා නම් ඒකත් එක්තරා විදිහකින් වහල් සේවයක ම කොටසක් විදිහට නම් කරන්න පුළුවන් දෙයක්. 

බොක්සිං ක්‍රීඩාවේ ආධිපත්‍යය සම්පූර්ණයෙන්ම කළු ජාතිකයින් අතට පත් වෙලා ඇති බව සහ කළු ජාතිකයින්ගේ ශක්තිමත් බව ලෝකයට මතක් කරන්න Aliට මේ ප්‍රකාශය පාවිච්චි කරන්නත් පුළුවන් වීම. 

කොහොම හරි මේ ප්‍රකාශය ඇතුළේ Aliට ඉස්මතු කරන්න අවශ්‍ය වුනේ බොක්සිංක්‍රීඩාවටත් වඩා “සුදු-කළුභේදය බව නම් සහතිකයි.

මීට පෙර ලිපියකින් අපි කතා කළා බොක්සිං ක්‍රීඩාවේ Trash-Talking ගැන. ඒ ලිපිය අවසන් වුනේ Louisville Lips කියන අන්වර්ථ නාමයෙන් හැඳින්වුන Muhammad Ali ගැන සුළු සඳහනක් සිදු කරමින්. 

බොක්සිං ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨතමයා වගේම, Boxing Trash Talks වල ශ්‍රේෂ්ඨතමයා විදිහට හැඳින්වෙන්නෙත් Muhammad Ali. 

Aliට තිබුණා එළිසම හරි ලස්සනට ගැළපෙන විදිහට නොකඩවා ගලා ගෙන යන වචන කණ්ඩ කීමේ හැකියාවක්. සමහර තැන්වල ඒවා Freestyle රැප් වලටත් සමානයි. කොහොම හරි තමන්ගේ අත් වගේම කටිනුත් සෑහෙන්න හොඳ වැඩක් ගත්තු මනුස්සයෙක් විදිහට අපිට Muhammad Aliව හඳුන්වලා දෙන්න පුළුවන්. 

අලීගේ ජීවිත කතාව ඇතුළේ කියපු ඒ විදිහේ Trash Talks කිහිපයක් පහතින් දැක්වෙනවා. 

Ali තමන්ගේ මුල් නම වුන Cassius Clay කියන නම හඳුන්වා දුන්නේ වහල් නමක් විදිහට. 

“Cassius Clay කියන්නේ වහල් නමක්. මම එය තෝර ගත්තේ නැහැ සහ මට එය අවශ්‍ය නැහැ.  

මම Muhammad Ali, එය නිදහස් නමක්.  

මා ගැන මිනිසුන් කතා කරන විට එය භාවිතා කළ යුතු බව මම අවධාරණය කරනවා.” 

Ali මුලින් ම ඇමරිකාව නියෝජනය කරමින් බොක්සිං ක්‍රීඩාවෙන් ඔලිම්පික් තරගාවලියකට යන්නේ 1960 වසරේ දී. ඔහු එහි දී රන් පදක්කමක් දිනා ගන්නේ Cassius Clay කියන නමින් තරග කරලා. නමුත් තවත් වසර 4ක පමණ ඇවෑමෙන් (1964 දී) තමන්ගේ නම Muhammad Ali විදිහට වෙනස් කරන්න ඔහු තීරණය කරනවා.

Cassius Clay නමින් ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීම

1964 වර්ෂය වෙද්දී Aliට වයස අවුරුදු 22යි. ඒ වෙද්දී ලෝක හෙවිවේට් ශූරයා විදිහට හිටියේ Sony Liston. (Listonව ඒ කාලයේ හැඳින්වුණේ එතෙක් බිහි වුනු බිහිසුණු හෙවිවේට් ශූරයෙක් විදිහට.) 

නමුත් Listonව තඹයකට වත් මායිම් නොකළ Ali ඔහු ගැන විස්තර කලේ මේ විදිහට! 

“ඔහු ලෝක ශූරයෙක් වෙන්න කැතයි, ලෝක ශූරයා මම වගේ ලස්සන කෙනෙක් විය යුතුයි.” 

වයස අවුරුදු 22දී Sony Liston කියන ලෝක හෙවිවේට් ශූරයාට අභියෝග කරමින් බොක්සිං වලල්ලට පිවිසෙන Cassius Clay විසින් (Ali තමන්ගේ නම වෙනස් කරන්නේ මේ තරගයෙන් පසු කාලයක දී) තරගයට කලින් වෙන්න ඕන දේ මෙහෙම කියනවා. 

ඔබ ඔබේ මුදල් නැති කරගන්න කැමතියි නම් මෝඩයෙකු වගේ Sony වෙනුවෙන් ඔට්ටු අල්ලන්න.  

නමුත් ඔබට හොඳ දවසක් ගත කරන්න අවශ්‍යයි නම් ඒ ඔට්ටුව Clay වෙනුවෙන් තියන්න.” 

Ali කිව්වා වගේම එදා ඔහු විසින් Listonව පරාජය කළා. මේ බොක්සිං තරගය ජයග්‍රහණය කළ මොහොත බොක්සිං ඉතිහාසයේ ස්වර්ණමය මතකයක් බවට පත් කරන්න Aliට හැකියාව ලැබෙන්නේ ඔහුගේ මුඛරි බව නිසාමයි. 

“මම ලෝකය හෙල්ලුවා, මමයි ලෝකයේ රජා, මම නරක මිනිහෙක්, මම තමයි මේ ලොකයේ ජීවත් වුනු ලස්සනම දේ.” 

තමන් බොක්සිං ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨයා කියන නම ලෝකයාට හුරු කරවන්නෙත් Ali විසින්මයි. 

මම තමයි ශ්‍රේෂ්ඨයා, මම තමයි මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතමයා. මගේ මුහුණේ කිසිම සලකුණක් නැහැ.” 

ඒ වගේම මේ මොහොතට අදාළ ව ලබා ගත්තු ඡායාරූප පවා ලෝක ඉතිහාසයේ නොමැකෙන මතක සටහන් විදිහට අදටත් සැලකෙනවා.

1965 වසරේ දී ඇමරිකාව විසින් වියට්නාමය ආක්‍රමණය කරනවා. මේ සඳහා කැමැත්තෙන් සහ අකමැත්තෙන් ඇමරිකානු තරුණ ප්‍රජාවෙන් බහුතරයකට සහභාගී වෙන්න සිදු වෙනවා. නමුත් Ali විසින් මේ සඳහා තමන්ගේ විරෝධය ප්‍රකාශ කරනවා. 

ඇමරිකාව නියෝජනය කරමින් වියට්නාම යුද්ධයට සහභාගී වෙන්න අකමැති වීම නිසා Aliට තමන්ගේ ක්‍රීඩා ජීවිතයේ වටිනා ම අවුරුදු හතරක් අහිමි වෙනවා. මේ නිසා ඔහුට බොක්සිං ක්‍රීඩාව තහනම් කරනවා. 

මේ අහිමි වීම් මධ්‍යයේ Ali තනිව නැගී සිටිනවා. තමන් වැරදියි කියලා විශ්වාස කරන වරදට එරෙහිව කතා කරනවා. 

“Louisville හි වෙසෙන (ඔහුගේ උපන් ගම) නීග්‍රෝ ජාතිකයින්ට සුනඛයින්ට මෙන් සලකමින් ඔවුන්ගේ මානව හිමිකම් අහිමි කරන අතරේ ම, නිල ඇඳුමක් ඇඳගෙන නිවසේ සිට සැතපුම් දසදහස් ගානක දුර ගිහින් වියට්නාමයේ දුඹුරු මිනිසුන්ට බෝම්බ හෙළන ලෙස ඔවුන් මගෙන් ඉල්ලන්නේ ඇයි? 

නැහැ, මම මෙහේ සිට සැතපුම් දහස් ගානක් දුර ගිහින් මිනිස්සු මරන්න උදව් කිරීමෙන් සුදු වහල් ආධිපත්‍යය තවදුරටත් පවත්වා ගෙන යාමට සහය දෙන්නේ නැහැ.  

මෙවන් අකුසල් නතර විය යුතු දවසයි මේ. මෙවැනි ස්ථාවරයක් දැරීම මගින් මගේ කීර්තිය අනතුරේ හෙළන බවත්, ශූරයා විදිහට මට ලැබිය යුතු ඩොලර් මිලියන ගණනක් අහිමි විය හැකි බවටත් මට අනතුරු අඟවලා තියෙනවා. 

නමුත් මම එය එක වතාවක් කිව්වා, ආයෙත් ඒක කියන්නම්. මගේ මිනිසුන්ගේ සැබෑ මිතුරා ඉන්නේ මෙතනයි.  

තමන්ගේ ම යුක්තිය, නිදහස සහ සමානත්වය වෙනුවෙන් සටන් කරන අය වහලුන් බවට පත් කර ගැනීමේ මෙවලමක් වීමෙන් මම මගේ ආගමට, මගේ මිනිසුන්ට හෝ මට නිගා කර ගන්නේ නැහැ. 

යුද්ධය මිලියන 22ක් වන මගේ මිනිසුන්ට නිදහස සහ සමානාත්මතාව ගෙන එන බව මම විශ්වාස කරා නම් ඔවුන් මාව කෙටුම්පත් (යුද්ධයට සහභාගී විය යුතු බව කියමින්) නොකර හිඳී වී 

 එක්කෝ මම රටේ නීතියට කීකරු විය යුතුයි, නැතිනම් මම අල්ලාගේ නීතියට කීකරු විය යුතුයි.

මගේ විශ්වාසයන් වෙනුවෙන් පෙනී සිටීමෙන් මට නැති වෙන්න දෙයක් නැහැ. ඒ නිසා මම හිරේ යනවා. අපි අවුරුදු හාරසීයක් තිස්සේ ම හිටියේ හිරේ තමයි.” 

ගැටලුවට අදාළ කාලයේ ම ඊට එරෙහිව මේ එදිරිවාදී ප්‍රකාශ නොබියව ඉදිරිපත් කිරීම වෙනුවෙන් Ali වෙත ප්‍රශංසා පුද කළ යුතුයි. ඒ වගේම තමන්ගේ ක්‍රීඩාවේ එක් උපායක් විදිහට භාවිත කෙරෙන මුඛරි කට තමන්ගේ මිනිසුන් වෙනුවෙන්, තමන් නිවැරදි බව තහවුරු කිරීම වෙනුවෙන් පාවිච්චි කිරීම ගැනත් Aliට විශේෂ ගෞරවයක් හිමි විය යුතුයි. 

නමුත් මේ නිසා Aliට තමන්ගේ ක්‍රීඩා ජීවිතයේ හොඳම කාලය මග හැරෙනවා. 

ලැබුණු තරග තහනමෙන් පසුව (වසර 4කට ආසන්න කාලයකට පසුව) නැවතත් බොක්සිං වලල්ලට පිවිසීම වෙනුවෙන් ඔහුගේ ප්‍රතිවාදියා වුනේ Joe Frazier. 

ඒ තරගයට පෙර Ali විසින් තමන් නියෝජනය කරපු මතය වෙනුවෙන් නැවත වරක් කතා කරන්නේ මේ විදිහට. 

මම නියෝජනය කරන්නේ සත්‍යය. මේ ලෝකය පීඩිත, දරිද්‍රතාවෙන් පෙළෙන මිනිසුන්ගෙන් පිරිලා ගිහිල්ලා.  

ඔවුන් මගේ, ඔවුන් ඉන්නේ මේ සිස්ටම් එක වෙනුවෙන් නෙවෙයි. 

ඔබේ සියලු ම කළු සටන්වාදීන්, ඔබේ හිපියන්, ඔවුන්ට අවශ්‍ය මම ජයග්‍රාහකයා වනු දැකීමයි.” 

(නමුත් අවාසනාවන්ත විදිහට Ali තමන්ගේ පළමු හෙවිවේට් පරාජය එදා Frazier අතින් ලැබුවා.) 

Ali ඇමෙරිකාවේ ඉපදුනත් කළු ජාතිකයෙක් විදිහට ඔහුට විඳින්න වුන දුක්ගැහැට අනන්ත අප්‍රමාණයි. 

අතීතයේ නාසීන් විසින් යුදෙව්වන් ව සමාජයෙන් කොන් කරන්න භාවිත කරපු “යුදෙව්වන්ට සහ බල්ලන්‍ට ඇතුළු වීම තහනම්වැනි ප්‍රකාශ වලට අතිශයින් ම සමාන තත්වයක් ඇමරිකාව තුළත් කළු ජාතිකයින්ට එරෙහිව පැවතුණා. 

ඒ නිසාමයි Ali තමන්ගේ Cassius Clay කියන නම වහල් නමක් බව කියමින් ප්‍රතික්ෂේප කරන්නෙත්. 

ඔහු තමන් වෙනුවෙන් වගේම සියලු කළු ජාතිකයින් වෙනුවෙන් කතා කරනවා. 

මමයි ඇමරිකාව, මම තමයි ඔබ විසින් හඳුනා නොගන්නා කොටස. නමුත් මට පුරුදු වෙන්න. 

කළු, ආත්ම විශ්වාසය ඇති; මගේ නම ඔබේ නොවේ; මගේ ආගම, ඔබේ නොවේ; මගේ අරමුණු, ඒවා මගේ; මට පුරුදු වෙන්න.”

තමන් කළු ජාතිකයෙකු ලෙස උපත ලැබීම රටේ බහුතරයෙන් ප්‍රතික්ෂේප වෙන්න හේතුවක් වීම Ali සෑහෙන්න කම්පා කරවපු සිදුවීමක් වුනා. 1960 දී Ali විසින් ජයග්‍රහණය කළ ඔලිම්පික් පදක්කම ඒ පසුතැවීම නිසා ඔහියෝ ගඟට විසි කරලා දැමූ බවට කතාවක් ගොඩ නැගෙන්නෙත් මේ දේවල් පාදක කර ගනිමින්. නමුත් ඒ කතාව ප්‍රබන්ධයක් බව Aliගේළෙඟම හිත මිතුරන් විසින් තහවුරු කරලා තියෙනවා. 

ඒ වගේම වියට්නාමයට යන්න ලැබෙන නියෝගවලට එරෙහි වෙමින්, 

“මට වියට්කොංග්ලා (වියට්නාම් ගරිල්ලා) එක්ක කිසිම පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. 

කිසිම වියට්කොංග් කෙනෙක් මට Nigger (කළු සම ඇති අය විශේෂ කොට හැඳින්වීමට භාවිත කරන වචනයක්) කියලා කතා කරලා නැහැ.” 

යනුවෙන් Ali වරෙක කිව්වා කියලත් සමහර තැන්වල දී අපිට අහන්න ලැබෙනවා. නමුත් ඒ ගැන තහවුරු කර ගන්න සාක්ෂි නම් හොයා ගන්න ලැබෙන්නේ නැහැ. 

තහනමින් පසුව නැවත බොක්සිං වලල්ලට ආපු Aliට සිදු වෙන්නේ පරාජයන් කිහිපයක් උරුම කර ගන්න. ඒ නිසාම ජීවිතයේ හොඳම කාලය තහනමක් නිසා නාස්ති වෙලා ගිය වයසක ක්‍රීඩකයෙක් විදිහට Aliට ලැබෙමින් තිබුණු ගෞරවය හීන වෙන්න පටන් ගන්නවා. 

ඒ නිසා Ali තමන්ගේ ගෞරවය නැවත ලබා ගැනීම වෙනුවෙන් George Foreman සමඟ ගැටෙනවා 1974 දී. 

(Ali ශ්‍රේෂ්ඨයෙක් නම් Foreman කියන්නෙත් ඒ තරම් ම ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙක්. Foreman ගැන සරලව හඳුන්වලා දීම ඔහුට කරන අගෞරවයක්.) 

1974 වසරේ දී මේ පුරාවෘත්ත දෙක එකිනෙකා ගැටෙන්නේ අප්‍රිකාවේ සයරේ දේශයේ දී.

මේ සටන වෙනුවෙන් Ali තමන්ට අතිශයින් ම ගැති රසිකයින් හිටපු අප්‍රිකාවට එද්දී, ඒ රසිකයින් Ali වෙත මෙහෙම කෑ ගහලා කියනවා. 

Ali, Boma ye (Ali, ඔහුව මරන්න..!) 

මේ සටන වෙනුවෙන් Ali මුලින් ම කරන්නේ Foremanට වචන වලින් පහර ගහපු එක. 

මේ අතරේ තියෙනවා Ali විසින් කියපු ලස්සනම වචන ටිකත්! 

සමනළයෙක් වගේ පාවෙන්න, මී මැස්සෙක් වගේ දෂ්ඨ කරන්න. 

ඔහුගේ ඇස් වලට නොපෙනෙන දෙයකට ගහන්න ඔහුට බැහැ. ඔබට දැන් මාව පේනවා, දැන් ඔබට පෙනෙන්නේ නැහැ.  

George හිතා ගෙන ඉන්නවා කරනවා කියලා, නමුත් මම දන්නවා ඔහුට බැහැ කියලා.” 

ඔහු තවත් තැනක දී මෙහෙමත් කියනවා. 

මම කිඹුලෙක් සමඟ පොර බැදුවා, තල්මසෙකු මෙල්ල කළා…. 

මම ගොඩක් නරක කෙනෙක්. මම බෙහෙත් පවා ලෙඩ කරවනවා.” 

එහෙම කියමින් Foreman තමන්ට කිසිම අභියෝගයක් නොවෙන බව Ali කියනවා. 

“ඔබ හිතනවා නම් Nixon අස් වුන වෙලාවේ (හිටපු ඇමරිකානු ජනපති Richard Nixon සිය ධුරයෙන් ඉල්ලා අස් වීම.) ලෝකය පුදුම වුනා කියලා, මම Foremanගේ පිටුපසින් සිටින තෙක් ඉවසලා ඉන්න.” 

Ali තහනම නිමා වෙලා නැවත පැමිණීමෙන් පසුව Joe Frazier සහ Ken Norton හමුවේ පරාජය වෙනවා. නමුත් George Foreman විසින් මේ දෙදෙනාව ම පහසුවෙන් පරාජය කරනවා. ඒ නිසා 1974 දී Ali සහ Foreman අතර පැවැත්වුණු Rumble in the Jungle තරගයේ වැඩි වාසි තියෙන්නේ Foremanට බව හැමෝම හිතුවා. 

1971 වර්ෂයේ සිට එතෙක් තමන් සහභාගී වුන එකඳු බොක්සිං තරගයක් වත් වට හතරකින් එහාට රැගෙන නොගිය Foremanට මේ තරගයේ දී Ali සමඟ තරග වට අටක් ක්‍රීඩා කරන්න වෙනවා. අවසානයේ බහුතර පිරිසක් පුදුම කරමින් Ali මේ තරගය ජයග්‍රහණය කරනවා. 

තරගයෙන් පසුව Foreman කියනවා “ඒ මගේ රැය නෙවෙයිකියලා. 

ඒ තරගයේ හත්වැනි වටය තෙක් ම මම හිතුවේ Ali මගේ තවත් එක Knock-Out  ගොදුරක් විතරයි කියලා.  

මම ඔහුගේ හකු පෙදෙසට සැර පහර එල්ල කළා. ඒ වෙලාවේ ඔහු මගේ කණට ළං වෙලා ඇහුවා ‘ඔවුන් මට කිව්වා ඔයාට ගහ ගන්න පුළුවන් කියලා. එච්චර ද ඔබට පුළුවන් උපරිම George?’ කියලා. 

ඒ වෙලාවේ මම තේරුම් ගත්තා මේ වෙන්න යන්නේ මම හිතපු දේ නෙවෙයි කියලා.”

Ali විසින් Rumble in the Jungle තරගයේ දී Foreman පරාජය කරලා නැවත වරක් ලෝක හෙවිවෙට් ශූරයා බවට පත් වෙනවා. එතැනින් පසුවත් තවත් වසර කිහිපයක් ම බොක්සිං වලල්ල ඇතුළේ ඔහු වැජඹෙන්න සමත් වෙනවා. ඔහුගේ අත පය වගේම කටත් එක ලෙස ක්‍රියාත්මක වෙනවා. 

“ඔබ මට පහර දීමට සිහිනයෙන් හෝ හිතනවා නම්, ඔබ නින්දෙන් අවදි වී සමාව අයැද සිටීම වඩා හොඳයි.” 

Aliගේ කතාව සෑහෙන්න දිග එකක්. වැටීම් සහ නැගිටීම් මධ්‍යයේ Ali සෑහෙන්න දුර ගමනක් ගියා. 

පළමු වරට හෙවිවේට් ශූරයා වෙලා Ali කියපු වචන ටික අද ඔහුගේ වියෝවෙන් පසුවත්, තවමත් මිනිස්සු ඒ විදිහට ම මුමුනනවා. 

ඒ තමයි Ali කටින් කියලා ක්‍රියාවෙන් ඔප්පු කරලා ගිය දේ. 

“Muhammad Ali තමයි ශ්‍රේෂ්ඨතමයා….! 

>>තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න<<