කිංග්ස්වුඩ් – ධර්මරාජ සීමිත පන්දුවාර ගැටුමේ ජය ධර්මරාජයට!

34th One Day Encounter Battle of Maroons Hill Country

189

මහනුවර ධර්මරාජ සහ කිංග්ස්වුඩ් විද්‍යාල අතර 34 වැනි වරටත් පැවැත්වුණු සීමිත පන්දුවාර ගැටුමේ ජයග්‍රහණය ධර්මරාජ විද්‍යාලය විසින් හිමිකර ගැනීමට අද (09) සමත් වුනා.

තරගය අද උදෑසන පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර, කිංග්ස්වුඩ් නායක අමේෂ් රූපසිංහ විසින් කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව තරගයේ පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව අමේශ්ගෙන් ලද ඇරයුම වෙනුවෙන් ප්‍රතිචාර දක්වමින් ධර්මරාජ ආරම්භක පිතිකරු යුගලය වන පුලිඳු පෙරේරා සහ ඉසුරු පන්නල පිටියට පිවිසුණු අතර ඔවුන්ගේ ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 28කට සීමා කිරීමට අමේෂ් රූපසිංහ විසින් ම සමත් වුනා.

ඉන්පසුව පුලිඳුගේ සහයට චමත් ඒකනායක පිටියට පැමිණි අතර ඔවුන් දෙදෙනා විසින් ලකුණු 76ක සබඳතාවක් ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවැත්වීමට සමත් වුනා.

පසුව චමත් ලකුණු 29ක් ලබා සිටිය දී නැවතත් අමේෂ් රූපසිංහගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී දැවී ගිය නමුත්, චමත් වෙනුවට පිටියට පිවිසුණු මලීෂ රාජකරුණා විසින් පුලිඳු සමඟ එක් වෙමින් තරගය කිංග්ස්වුඩ් ග්‍රහණයෙන් බොහෝ ඈතට ගෙන යාමට සමත් වුනේ ලකුණු 129ක දැවැන්ත සබඳතාවක් පවත්වමිනුයි.

ධර්මරාජ ඉනිමේ 38 වැනි පන්දුවාරය ආරම්භ වන විට ලකුණු පුවරුව කඩුලු 2කට ලකුණු 233ක් ලෙස දිස් වූ නමුත් තරගයේ 40 වැනි පන්දුවාරය වන විට එය කඩුලු 7කට ලකුණු 240ක් දක්වා විශාල වෙනසකට භාජනය වුනා.

සම්පූර්ණ පන්දුවාර තුනක් නිමා වීමටත් ප්‍රථම ධර්මරාජ ඉනිමේ කඩුලු 5ක් ලකුණු 7ක් තුල බිඳ හෙළීමට සමත් වෙමින් කිංග්ස්වුඩ් පන්දු යවන්නන් නැවතත් තරගයට අවතීර්ණ වූ අතර ධර්මරාජ ඉනිමේ 47 වැනි පන්දුවාරයේ දී ධර්මරාජ ඉනිමේ සියලු ම කඩුලු ලකුණු 277ක් තුල දැවී ගියා.

මෙය ඕනෑම කණ්ඩායමකට තරගයක් ලබා දිය හැකි අන්දමේ ලකුණු ප්‍රමාණයක් වුව ද, ධර්මරාජ ඉනිම බිඳ වැටීමට ප්‍රථම ඔවුන් පසු වූ ස්ථාවරය අනුව ලකුණු 300යේ සීමාව ඉතාම පහසුවෙන් පසු කර යාමට ඔවුන්ට හැකියාව තිබුණා.

කෙසේ වෙතත් ධර්මරාජය වෙනුවෙන් අග්‍රගණ්‍ය ඉනිමක් දියත් කිරීමට සමත් වූ ආරම්භක පිතිකරු පුලිඳු පෙරේරා පන්දු 101ක් පමණක් වැය කරමින් ලකුණු 117ක් රැස් කිරීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 9ක් සහ හයේ පහර 7ක් එක් වී තිබුණා. ඊට අමතරව මලීෂ රාජකරුණා විසින් ලකුණු 56ක් ධර්මරාජ ඉනිමට එකතු කිරීමට සමත් වුනා.

කිංග්ස්වුඩ් පන්දු යැවීම පිළිබඳ සලකා බැලීමේ දී නායක අමේෂ් රූපසිංහ සහ රවිඳු රත්නායක විසින් කඩුලු 3 බැගින් බිඳ හෙළීමට සමත් වීම කැපී පෙනුණා.

ඒ අනුව ලකුණු 278ක ඉලක්කයක් හඹා යාමට කිංග්ස්වුඩ් ආරම්භක පිතිකරු යුගලය වන අදෙල් ශෙරීෆ් සහ භරණ රත්නායක පිටියට පිවිසුණු අතර ඔවුන්ගේ ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 13කට සීමා වුනා.

භරණ කිසිදු ලකුණක් නොලබා දැවී යාමෙන් ආරම්භ වූ කිංග්ස්වුඩ් කඩුලු බිඳ වැටීම ඔවුන්ගේ ලකුණු පුවරුවට ලකුණු 64ක් වන විට කඩුලු 4ක් බවට පත් වී තිබුණා.

නමුත් ඉන්පසුව තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමේ බලාපොරොත්තුවෙන් නායක අමේෂ් රූපසිංහ සහ කවිජ ගමගේ විසින් ඉනිමේ පස්වැනි කඩුල්ලට ලකුණු 92ක සබඳතාවක් පිහිටුවීමට සමත් වූව ද, අමේෂ් ලකුණු 55ක් ලබා සිටිය දී දුලාර බන්දුලසේනගේ පන්දුවක් හමුවේ දැවී යාමෙන් අනතුරුව නැවතත් කිංග්ස්වුඩ් ඉනිමේ බිඳ වැටීම ආරම්භ වුනා.

මෙහි දී අවශ්‍ය ලකුණු ප්‍රමාණය මෙන් ම, ලකුණු ලබා ගත යුතු වේගයේ ද විශාල ඉලක්කම් සටහන් වීමත් සමඟින් කිංග්ස්වුඩ් පිතිකරුවන් අනවශ්‍ය පීඩනයකට හසු වූ බව ද පෙනී ගිය අතර එම නිසා ම කිංග්ස්වුඩ් ඉනිමේ 47 වැනි පන්දුවාරයේ දී ලකුණු 227ක් ලබා සිටිය දී කිංග්ස්වුඩ් සියලු පිතිකරුවන් දවා ගැනීමට ධර්මරාජ පන්දු යවන්නන් විසින් සමත් වුනා. එහි දී කිංග්ස්වුඩ් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වීමට කවිජ ගමගේ සමත් වුනේ ලකුණු 71ක් රැස් කර ගනිමිනුයි.

එමෙන්ම කිංග්ස්වුඩ් ඉනිම බිඳ හෙළීම ධර්මරාජ පන්දු යැවීමේ බලඇණියේ සාමූහික ප්‍රයත්නයක් බව මනාවට පැහැදිලි කරමින් ධර්මරාජ පන්දු යවන්නන් හය දෙනෙකුම කඩුලු අතරට පිවිසීමට සමත් වූ අතර, එයින් දක්ෂිත මනුකල්ප විසින් කඩුලු 3ක් තමන් සතුකර ගැනීමට සමත් වුනා.

ඒ අනුව 34 වැනි කිංග්ස්වුඩ් – ධර්මරාජ සීමිත පන්දුවාර සටනේ ජයග්‍රහණය ලකුණු 50කින් කිංග්ස්වුඩ් විද්‍යාලය පරාජය කළ මහනුවර ධර්මරාජ විද්‍යාලයට හිමි වූ අතර තරගයේ වීරයා ලෙස විශිෂ්ට ශතකයක් රැස් කළ ධර්මරාජයේ පුලිඳු පෙරේරා සම්මාන දිනා ගැනීමට සමත් වුනා.

  • ධර්මරාජ විද්‍යාලය 277/10 (46.5) පුලිඳු පෙරේරා 117, මලීෂ රාජකරුණා 56, අමේෂ් රූපසිංහ 3/49, රවිඳු තරින්ද 3/32
  • කිංග්ස්වුඩ් විද්‍යාලය 227/10 (46.5) කවිජ ගමගේ 71, අමේෂ් රූපසිංහ 55, දක්ෂිත මනුකල්ප 3/32, ඔනජිත් ද සිල්වා 1/13

පාසල් ක්‍රිකට් පිටියේ සියලු ම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<