77දීත් ඇඟිලි ඔසවන ක්‍රිකට් විනිසුරු “D. N.“

383
නන්දසේන පතිරණ මහතා (වම) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලද ඇගයීම් අවස්ථාවක දී

ක්‍රිකට් විනිසුරු දිවියේ සහ මලල ක්‍රීඩා දිවියේ සොඳුරු මතකයන් සමඟින් වෙළී සිටින දොන් නන්දසේන පතිරණ හෙවත් ඩී. එන්. පතිරණ මේ වන විට තම ජීවන මගේ 77 වැනි සැතපුමේ නතර වී සිටී. මේ ඔහු ගැන ThePapare.com තබන සටහනක්.

“ඒ දවස්වල අපි ගොඩක් මහන්සි වුනා. දුක් වින්දා. තාක්ෂණය වුනත් දැන් වගේ ලොකුවට තිබුණෙ නැහැ. තරගයක් කරනවා කියන එක ලේසි නැහැ. වකාර් යුනිස්, කපිල් දේව්ලා වගේ පන්දු යවන්නන් සමඟ අම්පයරින් කරනවා කියන්නේ හරි අමාරු දෙයක්” ඩී. එන්. පතිරණ කතාව පටන් ගත්තෙ එහෙම.

කතාව එහෙම පටන් ගත්තත් ඩී. එන්. පතිරණගේ ක්‍රිකට් කතාව පටන් ගන්නේ කොළඹ නාලන්දා විද්‍යාලයෙන්. ඔහු නාලන්දා විද්‍යාලයීය කණ්ඩායමේ සිටි වේගපන්දු යවන්නා. ඒ වගේම පිතිකරුවෙක් ලෙසින් ද යමක් කිරීමේ හැකියාවෙන් ද ඔහු සන්නද්ධයි. 

Pathiranaනාලන්දාවේ ක්‍රිකට් ගහනවට අමතරව ඩී. එන්. පතිරණ මලල ක්‍රීඩා, හොකී වගේම පාපන්දු ක්‍රීඩාවේ ද නිරත වුනා. ඒ වගේම අධ්‍යාපන කටයුතු ද සමව පවත්වා ගෙන යෑමට ඩී. එන්. පතිරණ සමත් වුනා.

“ඒ කාලෙ ඔය හැමදේම කළේ එකම පිරිසක් වගේ. අධ්‍යාපනයට තමයි වැඩි දෙනාගේ අවධානය තිබුණේ. නමුත් ක්‍රීඩා කළ අපි කිහිප දෙනෙක්ට පාසලේ විශේෂ ඇගයීමක් තිබුණා. අපි තමයි පාසලේ හැමදේම. මට දිගින් දිගටම ක්‍රිකට් ගහන්න ඕන කියන උවමනාව තිබුණෙ නැහැ. සීනියර් විභාගෙ කරල රස්සාවකට යන්න තමයි කැමැත්ත තිබුණෙ.”

ඩී. එන්. පතිරණ තමන් සිතූ ලෙසින්ම වැඩ කටයුතු කර ගත්තා. ඔහු නාලන්දාවේ අධ්‍යාපනයට තිත තබන ගමන්ම සතොස ආයතනයේ සේවය ආරම්භ කරනවා. එතැන් සිට ආරම්භ වන රාජ්‍ය සේවයේ ඔහු අවුරුදු 39කුත් මාස 9ක් ගත කරනවා. ඉවත් වෙන විට ඔහු එහි කළමනාකරුවෙක්. 

“අපිට එතැන බොහොම නිදහස් තැනක්. වැඩ රාජකාරි කොතරම් තිබුනත් කිසි කෙනෙක් ඒවා පැහැර හැරියෙ නැහැ. තමන්ට නියමිත වැඩ කොටස කොයි කවුරුත් හරියට කළා. අපි ඒ අතරේ ක්‍රීඩා කළා. සංගම්වල හිටියා. එහෙම වුනා කියලා කවදාවත් රස්සාවට බාධාවක් වුනේ නැහැ. අපෙන් ආයතනයට අවැඩක් වුනෙත් නැහැ.”

නාලන්දාවේ සිටි ඩී. එන්. පතිරණගේ ක්‍රීඩකයා හරියටම අවධි වෙන්නේ මේ රාජ්‍ය සේවයේ දී. ඔහු එහි දී ජනසතු සේවා ක්‍රිකට් සංගමය මගින් සංවිධානය කළ රොබට් සේනානායක ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනවා. රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලියේ ද කැපී පෙනෙන ක්‍රීඩකයෙක් බවට පත් වෙනවා. 

මේ කාලයේ දී ම මැලේ ක්‍රිකට් සංගමය හා එක්වෙන ඩී. එන්. පතිරණ එකල පැවති Daily News ක්‍රිකට් තරගාවලිය ද නියෝජනය කරනවා. පසුව නොමෑඩ්ස් කණ්ඩායම සමඟ එක් වී පී. සරවනමුත්තු කුසලාන ක්‍රිකට් තරගාවලිය හා එක් වෙනවා. 

“ඔය කාලෙ කොහොම ක්‍රිකට් ගැහුවත් රස්සාවේ වැඩ අපි හරියටම කළා. ඒ නිසා තරගවලට යෑමේ නිදහස වුනත් අපිට ඕන විදිහට ලැබුණා. ඒ කාලෙ මම ජනසතු සේවා ක්‍රිකට්, මලල ක්‍රීඩා සහ හොකි සංගම්වල විවිධ තනතුරු දැරුවා. ක්‍රිකට්, හොකී සහ මලල ක්‍රීඩාවලින් ජනසතු සේවා වර්ණ දිනා ගත්තා. ජනසතු සේවා කණ්ඩායම නියෝජනය කරමින් ජාතික හොකි තරගාවලිය නියෝජනය කළා.”

ක්‍රීඩකයෙක් සහ ක්‍රීඩා සංගම් නිලධාරියෙක් ලෙසින් කටයුතු කළ ඩී. එන්. පතිරණට ක්‍රිකට් විනිසුරුවරයෙක් වීමේ අවස්ථාව ලැබෙන්නේ අහම්බෙන්. ඒ ක්‍රිකට් විනිසුරු උදය වික්‍රමසිංහ මහතා නිසා.

“ඒ දවස්වල ක්‍රිකට් තරගවල දී උදය නිතර අපට හමු වෙනවා. මටත් ඉතිං උදය හම්බ වුනහම ක්‍රිකට්වල මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් නොතිබුණත් ක්‍රිකට් නිති ගැන අපි නිතර කතා කරනවා. සමහර අවස්ථාවල ‘උඹ හරි වදයක් බං’ කියල උදය කිව්ව අවස්ථාත් තියෙනවා. මේ අතර දවසක දී උදය කිවුවා, විනිසුරු විභාගයක් තියෙනවා ලියන්න කියලා. මමත් ඉතිං ලිව්වා.”

ඒ අනුව ලියූ විභාගයේ දී ඩී. එන්. පතිරණ ඉහළින්ම සමත් වෙනවා. 1982 දී පළමු වරට දේශීය ක්‍රිකට් විනිසුරු කබාය පලඳින ඩී. එන්. පතිරණ 1993 දී ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු දිවියට ද පිවිසීමට සමත් වෙනවා. එතැන් සිට ඔහු 2001 වසර දක්වා වූ වසර 8ක් ඒ කටයුත්තේ නිරත වෙනවා. සිට ගත් එක්දින ජාත්‍යන්තර තරග සංඛ්‍යාව 13ක්.

Pathirana
ක්‍රීඩා කරන සමයේ

ඩී. එන්. පතිරණගේ මංගල එක්දින තරගය වෙන්නේ ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවති තරගයයි. එම තරගයේ සහායක විනිසුරු වෙන්නේ බී. සී. කුරේ මහතා. එම තරගය තවත් ලෙසකින් වැදගත් වෙන්නේ ලෝක පූජිත පන්දු යවන්නෙක් ලෙසින් පසු කාලයේ දී අභිෂේක ලබන මුත්තයියා මුරලිදරන්ගේ ද මංගල එක්දින ජාත්‍යන්තර තරගය ද වීමයි. 

ඔහුගේ අවසන් එක්දින ජාත්‍යන්තර තරගය වෙන්නේ ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්වන් සහ සිම්බාබ්වේ සමඟ පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී පැවති තරගයයි. එම තරගයේ සහායක විනිසුරු වෙන්නේ පීටර් මැනුවෙල් මහතා. 

වයස අවුරුදු 50 දී එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවෙක් බවට පත්වෙන ඩී. එන්. පතිරණ වයස අවුරුදු 59කට ආසන්න වන තෙක් එක්දින පිටියේ රැඳී සිටියා. ඒ අතරතුර කාලයේ දී ඉන්දියාව, දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ, නවසීලන්තය, එංගලන්තය යන රටවලට එරෙහිව මෙරට පිටියේ ක්‍රිකට් විනිසුරු වෘත්තියේ කටයුතු කළා. 

රූපවාහිනි විනිසුරුවෙක් ලෙසින් තරග 6කට ද සහභාගී වූ ඩී. එන්. පතිරණ A කණ්ඩායම් සමඟ පැවති එක්දින තරග 10කට, සිව්දින ටෙස්ට් තරගවල දී පාකිස්තානය, බටහිර ඉන්දිය කොදෙව්, දකුණු අප්‍රිකාව සහ කෙන්යාව සමඟ තරගවලදීත් 2000 වසරේ පැවති වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 9කටත් දායකත්වයත් මෙරට පිටියේ දී දැක්වීමට ඩී. එන්. පතිරණ සමත් වෙනවා.

තවත් විශේෂාංග ලිපි:

ඊට අමතරව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග ලෙසින් මෙරටින් පිටත දී සංවිධානය වූ ACC කුසලාන තරගාවලිය සඳහාත් වයස අවුරුදු 15න් පහළ තරගාවලියක් වෙනුවෙනුත් 1996 වසරේ දී අවස්ථා දෙකක දී මැලේසියාවේ සංචාරයක යෙදෙන්නටත් ඔහුට අවස්ථාව හිමි වෙනවා.

“මම හිතන්නේ මගේ කාලයේ දී මම උපරිමයෙන් ඒ කටයුත්තේ නිරත වුනා. ටෙස්ට් තරගයක් කිරීමට අවස්ථාව නොලැබීම ගැන පුංචි කනගාටුවක් නැතුවමත් නොවේ. මම විශ්වාස කරගෙන හිටියා මට ඒ අවස්ථාව ලැබෙයි කියලා. නමුත් ඒ අවස්ථාව කවදාවත් හිමි වුනේ නැහැ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ හිටපු සභාපති ජග්මෝහන් ඩැල්මියා, කපිල් දේව් පවා මගේ සේවය අගය කරල තිබුණා. මේ ගැන පත්තර වාර්තා පවා ඵල වුනා. නමුත් අවාසනාවකට වගේ මට ටෙස්ට් තරගයක් කරන්න අවස්ථාව ලැබුණේ නැහැ.”

1993 දී පළමු වරට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවෙක් ලෙසින් පිටියේ සිට ගන්නා ඩී. එන්. පතිරණට ඉන් අනතුරුව නැවත තරගයක හිට ගැනීම සඳහා අවුරුදු 4ක් බලා සිටීමට සිදු වෙනවා. මේ කාලයේ දී ඩී. එන්. පතිරණ ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරග සඳහා වැඩි වැඩියෙන් යොමු වෙනවා. 

“ඒ දවස්වල කොහොමටත් අපේ රටට කණ්ඩායම් පැමිණෙනවා අඩුයි. මේ නිසා අපිට තරග අඩු වුනා. මම පෙර පරිදිම ක්‍රිකට්වලට අමතරව මලල ක්‍රීඩාවත් කළා. අතහැරියෙ නැහැ. ඔය දවස්වල ප්‍රවීණයන්ගේ ක්‍රීඩා තරග තිබුණා. ලංකාව ජය ගත් මම 1990 සිංගප්පූරුවේ පැවති 6 වැනි ආසියානු ප්‍රවීණයන්ගේ තරගාවලියට සහභාගී වෙන්න සුදුසුකම් ලැබුවා. ඒ තරගාවලියේ දී මම දුර පැනීම ඉසව්වෙන් රන් පදක්කමත්, මීටර් 100 ඉසව්වෙන් ලෝකඩ පදක්කමත් දිනා ගත්තා.”

වසර දෙකෙන් දෙකට වරක් පැවති මෙම ක්‍රීඩා උළෙලේ 1992 වසරේ දී සිංගප්පූරුවේම පැවති ක්‍රීඩා උළෙලේ දී තුන් පිම්ම ඉසව්වේ රිදී පදක්කමත්, 1994 ඉන්දුනීසියාවේ පැවති ක්‍රීඩා උළෙලේ දී තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කමත් දිනා ගැනීමට ඩී. එන්. පතිරණ සමත් වෙනවා. එම ක්‍රීඩා උළෙලේ දී කකුලේ ආබාධයකට ලක් වෙන ඩී. එන්. පතිරණ එම ඉසව්වට සේ ම ප්‍රවීණයන්ගේ ක්‍රීඩාවලින් ද සමුගන්නවා. 

“මේ තරගවලට සහභාගි වෙන්න ආයතනයෙන් විශාල ලෙස උදව් කළා. එහෙම උදව්වක් නොලැබුණා නම් ඒ සංචාර කිසි එකකට සහභාගී වෙන්න මට ලැබෙන්නේ නැහැ. ඊට අමතරව තවත් තරග කිහිපයක්ම තිබුණා විවිධ රටවල.  ඒවට සල්ලි නැති නිසා සහභාගී වුනේ නැහැ. කොහොම වුනත් ලැබුණ එම අවස්ථා ගැන මම සතුටු වෙනවා.”

මලල ක්‍රීඩා දිවියෙන් සමු ගන්නා ඩී. එන්. පතිරණ ලැබෙන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ද රැඳී සිටියා. අවසානයේ වයස අවුරුදු 60 වූ පසුව ඔහුට ඉන් ද සමුගැනීමට සිදු වෙනවා. එහෙත් ඩී. එන්. පතිරණ ක්‍රිකට් පිටිය හැර යන්නේ නැහැ. 1982 සිට 2006 දක්වා පළමු පෙළ සරා පිටියේ ක්‍රිකට් විනිසුරුවරයෙක් ලෙසින් සිටින ඔහු විශ්‍රාම ගැන්වීමෙන් පසුවත් වසර 3ක පමණක් කාලයක් දේශීය පිටියේ විනිසුරුවරයෙක් ලෙසින් කටයුතු කරනවා.

Pathirana
ආදරණීය බිරිඳ සමඟ

“අදටත් මම ක්‍රිකට් විනිසුරුවරයෙක් ලෙසින් කටයුතු කරනවා. ඒ වෙනුවෙන් ඉල්ලුමක් තිබෙනවා. ශ්‍රී ලංකන් ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ සාමාජිකයෙක් ලෙස ජනසතු සේවා තරගවලට සහභාගී වෙනවා. ඊට අමතරව බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයේ ක්‍රිකට් ලකුණු සටහන්කරු ලෙසින් ද කටයුතු කරනවා. 2009 වසරේ සිට 2020 වසර දක්වාම සාන්ත පීතර – සාන්ත ජෝසප් වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ ලකුණු සටහන්කරු ලෙසින් කටයුතු කරන්නේ මම. මගේ වයසත් සමඟ මම ලකුණු සටහන්කරුවන්ගේ සංගමයේ සාමාජිකත්වයේ නැහැ. ඒත් සාන්ත පීතර විද්‍යාලයෙන් මට මේ අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. ක්‍රිකට් අම්පයරින් රිලැක්ස් එකේ කරන්න පුළුවන්. ඒත් ස්කෝරින් එහෙම ලේසි නැහැ.”

ඩී. එන්. පතිරණගේ පුතුන් දෙදෙනා ද කොළඹ නාලන්දාවේ ආදි ශිෂ්‍යයන්. විරංග පතිරණ සහ උපේක්ෂ පතිරණ වන ඔවුන් පාසල් කාලයේ ක්‍රිකට් ක්‍රීඩා කළ ද වැඩි දුරටත් එහිම නිරත වීමට උත්සාහ කළේ නැහැ. දැන් දෙදෙනාම බැංකු නිලධාරීන් ලෙසින් පෞද්ගලික ආයතන හා එක්ව කටයුතු කරනවා. දුව විදර්ශනි පතිරණ පවුලේ වැඩිමලා. ඇය නුගේගොඩ අනුලා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්. බිරිඳ ඉන්ද්‍රා මාලනි පතිරණ. ‘පතිරණ’ නිවස කළමනාකරණය කරමින් වැඩි වැඩ කොටසක් කරන්නේ ඇය.  

“එදා වගේම අදටත් ක්‍රීඩාවට ආදරෙයි. ඒ හැඟීම කවදාවත් නැති වෙන්නේ නැහැ. ක්‍රිකට් අම්පයරින්වලින් තවත් ගොඩක් ඉදිරියට යන්න තිබුණා. නමුත් ඒ තැන් විවිධ හේතු නිසා ඇහිරුණා. ඒ ගැන දුකක් නැහැ. අපිට ලැබෙන දේ තමයි මේ. මගේ මහන්සියෙන් මම මේ තැනට ආවේ. පොඩිම තැන ඉඳන් ආවේ. කාගෙන්වත් වචන ඇහුවේ නැහැ. කවුරුවත් පස්සේ ගියේ නැහැ. ඒ ගැන ආඩම්බරයි. කාටවත් කරදරයක් නැතිව, කාගෙන්වත් වචනයක් අහන්නේ නැතිව මේ උතුම් රටේ මැරෙන්න පුළුවන් නම් ඒ තරම් වාසනාවක් තවත් නැහැ” ඩි. එන්. පතිරණ පැවසුවා. 

ජීවිතයේ සැදෑ යාමය ගත කරන ඔහුට දීර්ඝායු වේවායි ThePapare.com හී ප්‍රාර්ථනාවයි. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<