ඩෙනිස් ලිලීගේ ප්‍රියතම ගෝලයා – රවීන්ද්‍ර පුෂ්පකුමාර

962
Ravindra Pushpakumara
Image Credits: Getty Images

ඔහු තම පාසල වෙනුවෙන් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන තෙක්ම ක්‍රීඩා කළේ කඩුලු රකින්නෙකු හා පිතිකරුවෙකු ලෙසය. නමුත් 19න් පහළ අන්තර් පාසල් තරගයක් අතරතුර උඩ පන්දු 11ක් හා ස්ටම්ප් කිරීම් 7ක් ඔහු අතින් ගිලිහී යෑම නිසා ඔහුව කඩුලු රැකීමෙන් ඉවත් කිරීමට ඔහුගේ පුහුණුකරු තීරණය කළේය. 

ඒ නිසා ඔහුට තම පාසල් කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීමට නම් පන්දු යැවීමට සිදු වූ අතර ඒ නිසාම ඔහු වේගපන්දු යැවීම ආරම්භ කිරීමට තීරණය කළේය. ඔහුගේ එම තීරණය නිසා ඔහුට ක්‍රිකට් ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට පවා හැකි වේ යැයි ඔහු ඒ මොහොතේ නොසිතූ බවට සැකයක් නැත.

රවීන්ද්‍ර පුෂ්පකුමාර.. 

ඔහු ජාතික කණ්ඩායම නියෝජනය කරන විට ඔහුගේ වයස අවුරුදු 18ක් පමණක් වූ අතර, අදටත් ටෙස්ට් තරගයක ඉනිමක කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූ ළාබාලතම ශ්‍රී ලාංකික පන්දු යවන්නා පුෂ්පකුමාර ය. ඔහු ටෙස්ට් වරම් දිනා ගත්තේ 1994 වසරේ පාකිස්තානු කණ්ඩායමට එරෙහිව අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී ය. එහි විශේෂත්වය වන්නේ එම තරගයේ දී ලෝක පූජිත වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් ද ඔහු සමඟින් ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත් වීමය. 

එම තරගයේ දී කඩුලු 4ක් දවා ගැනීමට පුෂ්පකුමාර සමත් වූ අතර දැන් ඔහු ඒ ගැන සිහි කරන්නේ මෙසේය.

මං ඉතාමත්ම වාසනාවන්තයි ඒ තරගයට ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබීමට. 1994 තමයි ඒ තරගය පැවැත්වුණේ. මං ඒ තරගය ක්‍රීඩා කළේ චමින්ද වාස් සමඟ. අපි දෙන්නගෙම පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය වුනේ ඒ තරගය. ඒ තරගය ක්‍රීඩා කරන කොට අර්ජුන, අරවින්ද, හෂාන්, රොෂාන්, සනත් වගේ ඔක්කොමලා මගෙ පිටිපස්සෙන් හිටියා. 

ඒ කාලෙ වෙනකොට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අලුත් වේගපන්දු යවන ක්‍රීඩකයෝ හොයමින් තමයි හිටියේ. ඒ නිසා තමයි මාවත්, චමින්ද වාස්වත් කණ්ඩායමට ආදේශ කර ගත්තේ. මොකද ඒ 90 දශකයට එනකොට හිටපු පළපුරුදු වේගපන්දු යවන්නන් සියලු දෙනාම වයසින් තරමක් වැඩි අය. ඉතින් ඒ නිසා තරුණ වේගපන්දු යවන්නෙක් විදිහට කණ්ඩායමට එකතු වෙන්න මට අවස්ථාව හිමි වුනා. ඒ වගේම ඒ තරගයේ විශේෂත්වයක් වුනේ මමයි වකාර් යුනිසුයි අතරෙ හොඳ මිත්‍රත්වයකුත් ඇති වුනා.

පාකිස්තානු සංචාරයෙන් පසුව එම වර්ෂයේ දී ම ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ තරග සංචාරයක නිරත වූ අතර එහි දී පැවති ටෙස්ට් තරගයක් අතරතුර එක් ඉනිමක දී කඩුලු 7ක් දවා ගැනීමට පුෂ්පකුමාර සමත් විය. වර්තමානයේ මෙන් නොව එකල සිම්බාබ්වේ කණ්ඩායම ඉතා ප්‍රබල ක්‍රීඩකයන් රැසකගෙන්ම සමන්විත වූ කණ්ඩායමකි. මේ නිසා ඔවුන්ට එරෙහිව ඉනිමක කඩුලු 7ක් දවා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවේ. 

එම සංචාරයත්, ලෝක කුසලානයෙන් පසුව පැවති බටහිර ඉන්දීය කොදෙව් සංචාරයත්  ගැන පුෂ්පකුමාර මෙසේ සිහි කරයි. 

ඒක මගෙ දෙවෙනි සංචාරය. ඒ දවස්වල සිම්බාබ්වේ කියන්නෙ ඉතාමත්ම ප්‍රබල කණ්ඩායමක්. විශේෂයෙන්ම පිතිකරුවන් ගත්තාම ෆ්ලවර් සහෝදරයෝ, ඒ වගේම ඩේව්ඩ් හවුටන් වගේ විශිෂ්ටයෝ ඔවුන් සතුව හිටියා. ඩේවිඩ් හවුටන් කියන්නෙ ඒ වකවානුවේ ලෝකයේ හොඳම පිතිකරුවන් අතර හිටපු ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔවුන්ගෙ රටේ තිබුණ තණතිලි ගැනත් කියන්න ඕන. 

>> මරාගෙන මැරුනත් මැච් එක අත් නොහැරිය උපුල් චන්දන

ඒ සංචාරය පුරාවටම ඉතාමත්ම වේගවත්, ඉතා හොඳ තණතීරු වල තමයි අපි ක්‍රීඩා කළේ. අපේ පිතිකරුවනුත් ඒ තණතීරු වල ඉතාමත්ම හොඳින් ලකුණු ලබා ගත්තා. පන්දු යැවීමේ දී මම කඩුලු 7ක් ලබාගන්න සමත් වුනා. පාකිස්තානය සමඟ ලබාගත්ත කඩුලු 4 වගේම මේ කඩුලු 7ත් මගෙ ඉදිරි ගමනට හොඳ අඩිතාලමක් වුනා. ඒ තරග දෙකෙන්ම මම පන්දු යැවීම ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

1996 ලෝක කුසලානය ජයග්‍රහණය කරාට පස්සෙ තමයි අපි බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ගියේ. එහි දී දෙවෙනි ටෙස්ට් තරගයේ දී කඩුලු 5ක් දවා ගන්න මට අවස්ථාව ලැබුණා. වේගපන්දු යවන්නෙක් විදිහට ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථාවර වෙන්න ඒ කඩුලු 5 මට ලොකු උපකාරයක් වුනා. ඒ කාලෙ බ්‍රයන් ලාරා වගේ ක්‍රීඩකයෙකුට පන්දු යැවීමට ලැබීම ඉතාමත්ම විශේෂ සිදුවීමක්.

පුෂ්පකුමාර ක්‍රීඩාවේ යෙදුණ අවධිය විශිෂ්ට පිතිකරුවන් රාශියකගෙන්ම පිරී පැවති යුගයකි. ඒ විශිෂ්ටයන් බොහොමයකට එරෙහිව තරග වැදීමේ වාසනාව ඔහුට හිමි වූ අතර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තමාට පන්දු යැවීමට අපහසුම පිතිකරුවන් ගැන ඔහු සිහි කරන්නේ මේ අයුරිනි.

ඒ කාලෙ ඉතා ප්‍රබල පිතිකරුවන් රාශියක් හිටියා. බ්‍රයන් ලාරා, ස්ටීව් වෝ වගේ අය ඒ අතරින් විශේෂයි. නමුත් පන්දු යැවීමට ඉතාමත්ම අමාරු පිතිකරුවා තමයි සචින් තෙන්දුල්කාර්. මොකද අපි ඉන්දියාවෙ ක්‍රීඩා කරන කොට හැම තරගයටම ප්‍රේක්ෂකයෝ 80,000ක් 100,000ක් වගේ ප්‍රමාණයක් එනවා. ඒ වගේ ප්‍රේක්ෂකයන් විශාල ප්‍රමාණයක් තරගය දිහා බලාගෙන ඉන්නකොට පන්දු යවන්නො විදිහට අපිව පුදුම පීඩනයකට ලක්වෙනවා. ඉන්දියාවේ ක්‍රීඩා කරනකොට ඒ පීඩනය පාලනය කරගෙන සචින් තෙන්දුල්කාර් වැනි පිතිකරුවෙකුට පන්දු යැවීම ඉතාමත්ම අසීරු කටයුත්තක්.

ලෝක ක්‍රිකට් පිටියේ පන්දු යැවීමට අපහසුම පිතිකරු පිළිබඳව ඔහු එසේ පවසද්දී අපට නිතැතින්ම සිහිවෙන ක්‍රීඩකයෙක් වන්නේ පුෂ්පකුමාර සමඟින් එකම ක්‍රීඩා සමාජ කණ්ඩායමක ක්‍රීඩා කළ අරවින්ද ද සිල්වා ය. අරවින්ද, පුෂ්පකුමාරගේ ක්‍රීඩා දිවිය ආරම්භයේ පටන්ම ඔහුට බොහෝ සේ උපකාර කළ ක්‍රීඩකයෙකි. 

>> අනූහයේ මල්ලිලාව බලාගත්ත ලොකු අයියා – අර්ජුන රණතුංග

අරවින්ද ගැන පුෂ්පකුමාරගේ මතකය මෙසේය..

මම MRF ආයතනයට ගිහින් මාස හතකට පස්සෙ ආපහු ලංකාවට ඇවිත් NCC ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරනකොට තමයි මට අරවින්දව මුණ ගැසෙන්නෙ. ඒ යුගයෙ ලෝකයේ හිටපු හොඳම පිතිකරුවා කවුද කියලා ඇහුවොත් මම නම් කරන්නෙ අරවින්ද ද සිල්වා ව. මම විශ්වාස කරන්නෙ අරවින්ද ලෝකයේ බිහිවුන විශිෂ්ටතම ක්‍රීඩකයෙක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ඇතුලෙ අරවින්ද වගේ වෙනත් ක්‍රීඩකයෙක් බිහිවෙලා නෑ. 

මම MRF ආයතනයට ගිහින් එනකොට ඉතාමත්ම වේගයෙන් පන්දු යැව්වා. මට මතක හැටියට පැයට කිලෝ මීටර් 145කට වැඩි වේගයෙන්. ඒ අවස්ථාවෙදි ඔහු ඉතාමත්ම ලෙහෙසියෙන් මට පහරවල් එල්ල කළා. මම ඒ දවස්වලම තේරුම් ගත්තා මේ වගේ ක්‍රීඩකයෙකුට පන්දු යවල ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා කියලා. අරවින්ද තමයි මට මුල්කාලෙ ගොඩක් උදව් කළේ. 

ඒ කාලෙ තරගවල දී අපි පන්දු රකිනකොට ඔහු Mid-on, Mid-off කලාපවල ඉඳගෙන මට කියල දෙනවා පන්දු යවන්න ඕන ආකාරය ගැන. ඉතින් මම පන්දු යවන්නෙක් විදිහට අරවින්දගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔහුගේ විශේෂත්වය තමයි කණ්ඩායම වැටී සිටින අවස්ථාවල කණ්ඩායම බේරගන්න එක. ලංකාවෙ දැනට බිහිවුන නොම්මර එකේ පිතිකරුවා තමයි අරවින්ද ද සිල්වා.

පුෂ්පකුමාරට ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ මෙන්ම විචාරකයන්ගේ ද සුවිශේෂී අවධානයක් යොමු වීමට බලපෑ විශේෂතම සිදුවීමක් වූයේ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පාකිස්තානු වේගපන්දු යවන ක්‍රීඩක වකාර් යුනිස්ගේ පන්දු යැවීමේ ඉරියව්වට අතිශයින්ම සමාන වීමය. 

මේ නිසාම ඔහුට එකල “Baby Waqar” යන නාමය පටබැඳී තිබුණු අතර එම නාමය පටබැඳීමට හේතුව ඔහු හෙළි කළේ මෙලෙසිනි.

ඒ නම කැලිස්ටස් ඩේවිඩ් කියන මාධ්‍යවේදියා විසින් ලියපු එක්තරා ලිපියක සඳහන් වුන දෙයක් නිසා පටබැඳුන නමක්. ඇත්තටම වකාර් යුනිස් එක්ක මාව සංසන්දනය කරන එක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔහු මට වඩා ඉතාමත්ම ඉහළ ගණයේ ක්‍රීඩකයෙක්. ඔහු කරල තියෙන දේවල්වලින් 30%ක් වත් මම කරල නැහැ. හැබැයි අපි දෙන්නගෙම එකම පන්දු යැවීමේ ඉරියව්වක් තමයි තියෙන්නෙ. 

1995 වසරෙ මම ඕස්ට්‍රේලියාවෙ ක්‍රීඩා කරන කොට මට මතකයි හැම ක්‍රීඩාංගණයකම වගේ රූපවාහිනී තියෙනවා. ඒ රූපවාහිනී තිරවල එක පැත්තකින් මාවත්, අනෙක් පැත්තෙන් වකාර්වත් දාල අපි දෙන්නගෙ පන්දු යැවීමේ ඉරියව් සංසන්දනය කරල එයාල පෙන්නුව අපි දෙන්නගෙම ඉරියව් එකම විදිහට තමයි යන්නෙ කියලා.

ඉන්දියාවේ පැවැති MRF වේගපන්දු යවන්නන්ගේ පුහුණු ඇකඩමිය හා සම්බන්ධ වීම පුෂ්පකුමාරගේ ක්‍රීඩා දිවියේ හැරවුම් ලක්ෂය වූ බවට සැකයක් නොමැත. එක් අවස්ථාවක චමින්ද වාස් පවසා තිබුණේ MRF ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු වූ ඩෙනිස් ලිලීගේ ප්‍රියතම ගෝලයා වූයේ පුෂ්පකුමාර බවයි. 

එම MRF ඇකඩමිය හා සම්බන්ධ වූ ආකාරය ගැන ඔහු මෙනෙහි කරන්නේ මෙසේය.

ඒක ඉතාමත්ම සුන්දර කාලයක්. 1992 වසරෙ මුල් කාලෙදි අපි මාස හතක් වගේ කාලයක් MRF ඇකඩමි එකේ පුහුණුව ලැබුවා. මට ඒ අවස්ථාව ලැබුණේ පානදුර සාන්ත ජෝන් විදුහලේ මම ක්‍රීඩා කරන කාලෙදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙ ලේකම්වරයෙක් විදිහට හිටපු ඒ විදුහලේම ආදි ශිෂ්‍යයෙක් වුන නීල් පෙරේරා මහත්මයා නිසා. එතුමා දැනුම් දීල තිබුණා ඩෙනිස් ලිලී විසින් ලංකාව වටේම ඉන්න යොවුන් වේගපන්දු යවන්නො එකතු කරලා වේගපන්දු පුහුණු කඳවුරක් පවත්වනවා කියලා. ඒ කඳවුරේ දී ඩෙනිස් ලිලී මහත්මයා මාව තෝරගත්ත නිසා තමයි මට ඒ වාසනාව උදා වුනේ. 

මගෙ වේගපන්දු යැවීම ආරම්භ වුනේ පානදුර සාන්ත ජෝන් විදුහලෙන්. මුලින්ම මම කඩුලු රකින්නෙක් විදිහට ඉන්න කොට ජනත් සිල්වා, ජී. රණසිංහ කියන ගුරුතුමන්ලා දෙන්නා  මගෙ කඩුලු රැකීමේ අඩුපාඩු දැකලා මට යෝජනා කළා වේගපන්දු යවන්නෙක් වෙන්න. 

ඊට පස්සෙ MRF ඇකඩමි එකේ ලබපු පුහුණුවෙන් පස්සෙ තමයි මම අංගසම්පූර්ණ වේගපන්දු යවන්නෙක් බවට පත් වුනේ. එහි දී ඩෙනිස් ලිලීගෙන් ඉගෙනගත්ත දේවල් නිසා තමයි මට අවුරුදු 15ක් 16ක් යනකල් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණේ. ඒ MRF වේගපන්දු ඇකඩමි ආයතනය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කළා. වසරක් ගානෙම ඔවුන් ශ්‍රී ලංකාවෙ යොවුන් වේග පන්දු යවන්නන් එහෙට අරගෙන පුහුණු කළා.

MRF ඇකඩමියේ පුහුණු වෙමින් සිටින අතරතුර තමාට මුහුණ දුන් භයානක නමුත් එක්තරා අතකින් තරමක් හාස්‍යජනක සිදුවීමක් පිළිබඳවද ඔහු සිනාමුසු මුහුණින් මෙසේ හෙළි කරයි.

මම ඉතාමත්ම දුප්පත් පවුලකින් ආපු කෙනෙක්. අපි පීනලා තියෙන්නෙ පානදුර ගඟේ විතරයි. ඒ වෙනකොට මම පිහිනුම් තටාකයකටවත් බැහැලා තිබුනෙ නෑ. ඒ කාලෙ එකේ සෑම අංශයකටම පුහුණුකරුවෝ හිටියා. ඉතින් අපි පන්දු යැවීමේ පුහුණුවීම් ඉවර කරලා පිහිනුම් තටාකයට යනවා. එහෙම ගියාම පිහිනුම් පුහුණුකරුවා මට කිව්වා තටාකයට පනින්න කියලා. මම කවදාවත් පිහිනුම් තටාකයකට පැනලා නැහැනෙ. පිහිනීමේ තාක්ෂණයක් ගැන කිසිම දෙයක් දැනගෙන හිටියෙත් නෑ. ඉතින් මම ගඟේ පනිනවා වගේම පිහිනුම් තටාකයටත් පැන්නා. 

ඒ පැන්න පාර මාව කෙළින්ම පහළට ගිහින් නළල තටාකයේ අඩියෙ වැදිලා සුමානයක් විතර ඉන්දියාවෙ ඇපලෝ රෝහලේ ඉන්න වුනා. එහෙම රෝහලේ ඉන්නකොට මගෙ මුළු ඇඟම හිරිවැටිල වගේ තිබුනෙ. ඒත් හිරිවැටෙනවට කියන ඉංග්‍රීසි වචනය මම දනගෙන හිටියෙ නෑ. ඉතින් දොස්තරට කියන්න විදිහක් නෑ මගෙ මුළු ඇඟම හිරිවැටිලා කියලා. අන්තිමේදි අතේ වැළමිට නවලා ඇඟිල්ලෙන් ඇනලා හිරිවට්ටන විදිහ පෙන්නලා තමයි දොස්තරට හිරිවැටිලා කියන එක කිව්වෙ. ලංකාවට ආවට පස්සෙත් අපේ සහෝදර ක්‍රීඩකයො ගොඩ දෙනෙක් මේ වචනෙ දැනගෙන හිටියෙ නෑ. ඔය වචනෙ හොයාගන්නත් අපිට සුමාන ගානක් ගියා. ඒක හරි අපූරු සිදුවීමක්.

>> සනත් ජයසූරිය – ඒ නම විතරක් ඇති!

ඒ සිදුවීම මෙන්ම නවසීලන්ත සංචාරයක් අතරතුර දී ද ඉංග්‍රීසි භාෂාව නිසා ඔහුට මුහුණ දෙන්නට සිදු වූ තවත් අකරතැබ්බයක් පිළිබඳවත් යළිත් සිනාමුසු මුහුණින් යුතුව ඔහු පවසන්නේ මෙසේය..

ඒ සංචාරයෙදි දුලිප් මෙන්ඩිස් මහත්මයා තේරීම් කමිටුවේ සභාපතිවරයා වගේම කණ්ඩායමේ කළමනාකරුවා හැටියටත් කටයුතු කළා. එදා ඔහුට ඉතාමත්ම ඉක්මනින් රොමේෂ් කළුවිතාරණට කතා කරන්න උවමනා වෙලා තිබුණා. නමුත් ඒ වෙලාවෙ කළු ආගම සිහි කරමින් හිටියෙ. ඒ අවස්ථාවෙදි මං දන්නෙ නෑ මොකක්ද කියන්න ඕන කියලා. ඉතින් මං කිව්වා “Romesh Kaluwitharana, he is in a religion” (රොමේෂ් කළුවිතාරණ, ඔහු ඉන්නෙ ආගමක් ඇතුලෙ) කියලා. (සිනාසෙමින්) පස්සෙ දුලිප් මෙන්ඩිස් මහත්මයා ඒක Team meeting එකක කියලා අපේ සහෝදර ක්‍රීඩකයෝ ඒකට සෑහෙන්න හිනා වුනා.   

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ තීරණාත්මකම අවස්ථාව ලෙස 1996 ලෝක කුසලාන ජයග්‍රහණය නම් කිරීමේ කිසිදු වරදක් නොමැත. ඒ ජයග්‍රහණය නිසා ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම ලැබුණු ප්‍රතිලාභ මෙතෙකැයි කියා කිව නොහැක. එම තරගාවලියට පිවිසෙන විට කිසිවෙකුත් අප කණ්ඩායමට තරගාවලිය ජයග්‍රහණය කිරීමට අවස්ථාවක් ඇතැයි විශ්වාස කළේ නැත..

පුෂ්පකුමාරගේ ලෝක කුසලාන මතකයන් පිළිබඳව ඔහු හැඟීම්බර අයුරින් මෙනෙහි කරන්නෙ මේ ලෙසිනි.

අපි ලෝක කුසලානයට පෙර 1995 ඕස්ට්‍රේලියා සංචාරයෙදි ඉතාමත්ම හොඳින් ක්‍රීඩා කළා. මට මතකයි ටෝනි ග්‍රෙග් පවා කිව්වා අපි ලෝක කුසලානයෙදි හොඳ තරගයක් දෙයි කියලා. මොකද අපි ඒ තරගාවලියෙදි ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජයට පත් කරලා අවසාන මහා තරගයට පිවිසුණා. ඊට පෙර තරගාවලියක පාකිස්තානය සමඟත් අපි ජයග්‍රහණය කළා. 

ඊට පස්සෙ ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව, කෙන්යාව, සිම්බාබ්වේ වගේ තරග ජයග්‍රහණය කරගෙන එංගලන්ත තරගයට එද්දී සනත් ජයසූරිය, රොමේෂ් කළුවිතාරණ දෙදෙනා ක්‍රීඩා කරමින් හිටිය විලාශය දැක්කම අපි හිතුවා අපිට ඕනෑම ලකුණු ගණනක් හඹා යන්න පුළුවන් කියන එක. අපි අපේ ක්‍රීඩකයන්ව විශ්වාස කළා. විශේෂයෙන්ම අර්ජුන අයියා, අරවින්ද අයියා සහ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්ව.   

ඉතින් තරගාවලියේ දෙවෙනි වටයේ එංගලන්ත තරගයට එනකොට අපිට විශ්වාසයක් තිබුණා අවසන් පූර්ව වටයට යන්න පුළුවන් වෙයි කියලා. ඊළඟට ඉන්දියාව එක්ක අවසන් පූර්ව තරගය ජයග්‍රහණය කළාම අපි හිතුවා අපිට අවසන් මහා තරගයේ පරදින්න දෙයක් නෑ කියලා. මොකද ඕස්ට්‍රේලියාව ඊට කලින් ලෝක කුසලාන දෙකක් ජයග්‍රහණය කරලා තිබුනෙ. අපිට පරදින්න දෙයක් තිබුනෙ නෑ. ඉතින් අපි හිතුවා අපිට දෙන්න පුළුවන් උපරිමය දීල අවසන් මහා තරගයේ තරග වදිනවා කියලා. 

අපේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෝ අපේ හිටපු මුරලිදරන්, චමින්ද වාස් වගේ තරුණ ක්‍රීඩකයන්ට කිසිම පීඩනයක් දුන්නෙ නෑ. අර්ජුන, අරවින්ද, හෂාන්, රොෂාන්, ගුරුසිංහ කියන ජ්‍යේෂ්ඨයෝ කණ්ඩායමේ බර කරට අරගත්තා. තරගාවලියේ ජයග්‍රහණයට ඒක විශාල වශයෙන් බලපෑවා.

එසේම ලෝක කුසලාන ජයග්‍රහණයෙන් නොනැවතී එම ජයග්‍රහණයට පසුබිම් සැපයූ කරුණු පිළිබඳව ද පුෂ්පකුමාර ඉතා නිහතමානී ලෙසින් මෙසේ මෙනෙහි කරයි..

“1996ට එන්නට පෙර 1960-65 කාලෙ ඉඳන්ම රන්ජිත් ප්‍රනාන්දු, අනුර තෙන්නකෝන්, මයිකල් තිසේරා වගේ ක්‍රීඩකයෝ, ඊට පස්සෙ කාලෙ දුලිප් මෙන්ඩිස්ලා, බන්දුල වර්ණපුරලා, රෝයි ඩයස්, අසන්ත ද මෙල්, රුමේෂ් රත්නායකලා වගෙ ඒ කාලෙ හිටපු ක්‍රීඩකයො එකතු වෙලා 90 දශකයට එනකොට අපිට හොඳ කණ්ඩායමක් හදල දීල තිබුණා. ඒ වගේම අර්ජුන රණතුංග වගේ නායකයෙක්, අරවින්ද ද සිල්වා වගේ උප නායකයෙක් අපිට දීල තිබුණා. 

96 අපි කරපු ඒ ජයග්‍රහණයේ සම්පූර්ණ ගෞරවය යා යුත්තේ අර්ජුන රණතුංගට. ඔහුගේ නායකත්වය නැත්නම් අපි 1996 ජයග්‍රහණය කරන්නෙ නෑ. මොකද ඔහු 96 වෙනකොට තරුණ ක්‍රීඩකයෝ ආදේශ කළා. විශේෂයෙන් මම, චමින්ද වාස්, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වගේ තරුණ වේගපන්දු යවන්නො කණ්ඩායමට ගත්තා. ඒ කාලෙ ලෝකෙ හිටපු වේග පන්දු යවන්නො එක්ක ගත්තම අපි ඒ තරම් විශාල ක්‍රීඩකයෝ නෙවෙයි. නමුත් අපි ගැන විශ්වාසය තියලා, ඒ වගේම මුරලිදරන්වත් රැකගෙන කණ්ඩායමක් විදිහට ක්‍රීඩා කරන්න අර්ජුනත් අරවින්දත් දුන්න නායකත්වය නිසා තමයි 96 අපි ජයග්‍රහණය කළේ. 

ඒක එක දවසින් පහළ වුන දෙයක් නෙවෙයි. හැමෝගෙම දායකත්වය ඒ ජයග්‍රහණය පිටිපස්සෙ තිබුණා. එවකට සිටි පාලක මණ්ඩලය සහ තේරීම් කමිටුව අපේ කණ්ඩායමේ 14 දෙනා ගැන ලොකු විශ්වාසයක් තියලා තිබුනා. ඒක ඒ හැම කෙනෙක්ගෙම සාමූහික ප්‍රයත්නයක්.

>> එයා තමයි කඩුලු රැකපු රොමේෂ් වීරයා

ලෝක කුසලානයක් ජයග්‍රහණය කළ කණ්ඩායමක සාමාජිකයෙකු බවට පත්වී තම ක්‍රිකට් දිවිය අවසන් කරන්නට තරම් වාසනාවන්ත වෙමින් වර්තමානය වන විට වේගපන්දු යවන්නන් පුහුණු කිරීමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන පුෂ්පකුමාර අවසානයේ යොවුන් වේගපන්දු යවන්නන්ට ලබා දෙන්නේ මෙවැනි අවවාදයකි.

වේගපන්දු යවන්නෙකුට කෙටි පාරවල් තියෙන්න බෑ. හොඳ වේගපන්දු යවන්නෙක් වෙන්න නම් ගොඩක් කැපකිරීම් කරන්න වෙනවා. නිතර පුහුණුවීම් කරන්න ඕන, ශාරීරික යෝග්‍යතාවය හොඳින් තියාගන්න ඕන, නිතර ව්‍යායාමවල යෙදෙන්න ඕනෙ, ඒ වගේම වඩාත් වැදගත්ම දේ විනය හොඳින් තියාගන්න ඕන. වේගපන්දු යවන්නෙකුට රාත්‍රියේ නිදි වරන්න බෑ. ඔහුට හොඳ විවේකයක් අවශ්‍යයි. දැන් කාලෙ ගොඩක් අය ඔළුව පාවිච්චි කරන්නෙ නැතිව හදවතින් ක්‍රීඩා කරන්න යනවා. ඒක කරන්න බෑ. ඉතින් යොවුන් වේග පන්දු යවන්නෙකුට මට කියන්න තියෙන්නෙ තමන්ගෙ ස්වයං විනය හදාගන්න. වේග පන්දුකරණයේ කෙටි පාරවල් නෑ.

(රවීන්ද්‍ර පුෂ්පකුමාර ThePapare.com සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරිනි.)

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<