චමරිගෙන් තවත් T20 ශතකයක්!

1513

Women’s League Exhibition ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් විස්සයි විස්ස තරගය අද (11) Amazon සහ Super Women කණ්ඩායම් දෙක අතර පැවැත්වුණා.

එහි දී Super Women නියෝජනය කළ චමරි අතපත්තු විසින් විශිෂ්ට ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා.

නමුත් අතපත්තුගේ ප්‍රවේගකාරී ඉනිම Super Women කණ්ඩායමට තරගයේ මෙන්ම තරගාවලියේ ජයග්‍රහණය හිමිකර දීමට තරම් වාසනාවන්ත වුනේ නැහැ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Amazon විසින් නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 218 රැස් කිරීමට සමත් වුනා. එහි දී Danni Wyatt විසින් ලකුණු 43ක් සහ කණ්ඩායම් නායිකා Bismah Maroof විසින් ලකුණු 51ක් ලබා ගැනීමට සමත් වුනා.

Super Women වෙනුවෙන් පන්දු යැවූ සියලුම පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක් වූ අතර Aiman Anwer විසින් Amazon ඉනිමේ කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

තරගාවලියේ පළමු තරග දෙක කණ්ඩායම් දෙක විසින් එක් තරගය බැගින් ජයග්‍රහණය කර තිබූ නිසා මෙම තරගය ජයග්‍රහණය කරන කණ්ඩායමට මෙවර Women’s League Exhibition තරගාවලියේ ජයග්‍රහණය හිමි වීමට නියමිත ව තිබුණා.

Amazon ලබා දුන් දැවැන්ත ඉලක්කය හඹා යමින් තරගාවලියේ ජයග්‍රහණය වාර්තා කිරීමේ ද අරමුණින් යුතුව සුපුරුදු Super Women ආරම්භක පිතිකාරිණියන් යුගලය පිටියට පිවිසුනත්, Muneeba Ali හට මෙවරත් වැඩි වෙලා කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

නමුත් ඇය සමග පිටියට පිවිසි චමරි අතපත්තු විසින් ප්‍රේක්ෂකයින්ට කලකට අමතක නොවන අන්දමේ ඉනිමක් දියත් කිරීමට සමත් වුනා. Super Women ඉනිම අවසන් වන තුරු නොදැවී කඩුල්ලේ රැඳී සිටි අතපත්තු විසින් පන්දු 60කින් විශිෂ්ට ලකුණු 107ක් රැස් කිරීමට සමත් වුනේ සිය ඉනිමට හතරේ පහර 12ක් සහ දැවැන්ත හයේ පහර 6ක් එක් කර ගනිමිනුයි.

චමරි විසින් දියත් කළ ඉනිමට සැලකිය යුතු සහයක් ලබා දීමට සමත් වුනේ Iram Javed පමණක් වන අතර ඇය විසින් ලකුණු 35ක් ලබා ගැනීමට සමත් වුනා. ඒ හැර වෙනත් කිසිදු පිතිකාරිණියක් Super Women වෙනුවෙන් සාර්ථක නොවූ අතර මේ හේතුවෙන් තරගයේ සම්පූර්ණ බර චමරි පිට පැටවුනා.

චමරි විසින් ඒ කර්තව්‍යය ඉටු කිරීමට විශාල උත්සාහයක් දැරූ නමුත් තරගයේ අවසන් පන්දුවාර දෙක තුල දී ඇයට අවශ්‍ය පමණට පන්දුවට මුහුණ දීමට අවස්ථාවක් නොලැබුණු අතර ඉනිමේ තවත් කඩුලු තුනක් ශ ඒ අතර බිඳ වැටුණා.

මේ හේතුවෙන් නියමිත පන්දුවාර විස්ස අවසානයේ Super Women කඩුලු 8ක් දැවී ලබා ගත්තේ ලකුණු 185ක් පමණයි.

මෙහි දී Amazon වෙනුවෙන් පන්දු යැවීමේ දී Fatima Sana කඩුලු 3ක් සහ Danni Wyatt කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා. මේ අනුව තරගයෙන් ලකුණු 33ක ජයග්‍රහණය හිමිකර ගත් Amazon කණ්ඩායම මෙම තරගාවලිය ද 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

අද තරගයේ දී විශිෂ්ට ඉනිමක් දියත් කළත් පරාජිත අන්තයේ රැඳීමට සිදු වීම නිසා තරගයේ වීරවරිය සම්මානය පවා අතපත්තු හට අහිමි වූ අතර Amazon වෙනුවෙන් පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් දැක්වූ Danni Wyatt හට එම සම්මානය හිමි වුනා.

තරගාවලියේ පළමු තරගය පරාජය වීමෙන් පසුව නැවත නැගී සිටිමින් Amazon කණ්ඩායම ලබා ගත් මෙම තරගාවලි ජයග්‍රහණයත් සමඟ මෙවර පළමු වරට පැවැත්වුණු Women’s League Exhibition විස්සයි විස්ස තරගාවලිය අවසන් වනවා.

මෙය මේ දිනවල පාකිස්තානයේ පැවැත්වෙන PSL තරගාවලියට සමගාමීව පැවැත්වූ ප්‍රදර්ශනාත්මක තරගාවලියක් වූ නමුත් මෙම වසර අග දී බොහෝ විට පාකිස්තානය විසින් කාන්තා විස්සයි විස්ස ලීග් තරගාවලියක් පැවැත්වීමට ඉඩකඩ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා මගින් දැන ගන්නට ලැබෙන්නේ.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<