ගිලීගේ ක්‍රීඩාශීලීත්වය පිටුපස තිබූ අඳුරු පැතිකඩ!

112
©Fox Sports

2003 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වුණේ දකුණු අප්‍රිකාවේ පෝර්ට් එළිසබෙත් නුවර දී ය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටිං මුලින්ම පන්දුවට පහර දීමේ වාරය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පවරා ගත්තේය.

ඕස්ට්‍රේලියානු නායකයාගේ තීරණය නිවැරදි එකක් බවට පසක් කරමින් ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා මැතිව් හේඩ්න් සහ ඇඩම් ගිල්ක්‍රිස්ට් පළමු පන්දුවාර පහ ඇතුළත ලකුණු 34ක් රැස් කළේය.

ඕස්ට්‍රේලියානු පිතිකරුවන් දෙදෙනා මෙල්ල කිරීමට නොහැකි අවස්ථාවක ශ්‍රී ලංකා නායක සනත් ජයසූරිය පන්දුව සිය කණ්ඩායමේ සිටි අත්දැකීම් වැඩිම ක්‍රීඩකයා අරවින්ද ද සිල්වා අතට පත් කළේය.

අරවින්ද තමා යැවූ දෙවන පන්දුවෙන්ම එතෙක් වේලා හොඳින් පන්දුවට පහර දෙමින් සිටි ඇඩම් ගිල්ක්‍රිස්ට් දවා ගැනීමට සමත් විය.

අරවින්ද යැවූ පන්දුවට ස්වීප් පහරක් එල්ල කිරීමට ගිය ගිල්ක්‍රිස්ට්ගේ පිත්තේ යාන්තමින් දැවටී ගිය පන්දුව කඩුලු රකින කුමාර් සංගක්කාර උඩපන්දුවක් ලෙසින් පහසුවෙන්ම රැකගත්තේය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මහ හඬින් ඉල්ලීමක් කළ ද දකුණු අප්‍රිකානු ජාතික විනිසුරු රුඩි කොර්ට්සන් එය නොදැවීමක් ලෙසින් නම් කළේය.

වේගපන්දුවෙන් විකුම් පෑ අසමසම ‘මැකෝ’

බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු බලඇණියක සිටි උසින් අඩුම ක්‍රීඩකයා ඔහු වන්නට………..

ක්‍රීඩාංගණයේ සිටි සියලු දෙනා මෙන්ම රූපවාහිනිය ඔස්සේ තරගය නරඹමින් සිටි ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් පුදුමයට පත් කරමින් ක්‍රීඩාගාරයට ඇවිදයන්නට ගිල්ක්‍රිස්ට් තීරණය කළේය.

ඇඩම් ගිල්ක්‍රිස්ට්ගේ මෙම ක්‍රියාව සහ ක්‍රීඩාශීලිත්වය ලොව පුරා සිටි ක්‍රීඩාලෝලීන් මහත් ඉහළින් වර්ණනා කළහ. නමුත් ගිලී නම් සුරතල් නාමයෙන් හඳුන්වන ඕස්ට්‍රේලියානු කඩුලු රකින්නා අදාළ සිද්ධියෙන් පසු මුහුණ දුන්නේ ඉතා අප කවුරුත් නොසිතන්නාවූ සිද්ධි දාමයකටය.

මේ ඔබ ඉදිරියේ දිගහැරෙන්නේ එදා තිරයෙන් පිටුපස සිදු වූ සිද්ධි මාලාවයි.

“වේගපන්දුකරුවන්ට එතරම් සහය නොදෙන දඟපන්දු යවන්නන්ට සුදුසු පෝර්ට් එළිසබෙත්’හී ශාන්ත ජෝර්ජස් පාක් තණතීරුව ‍රිකී කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කළා.

ඒ තණතීරුව ලකුණු 300ක එකක් නෙවෙයි. අපට අවශ්‍ය වුණේ ස්ථාවර ආරම්භයක්. එය හිතේ තබාගෙන හේඩොස් (මැතිව් හේඩ්න්) සමඟ මා පිටියට පිවිසියේ. 

ටෙස්ට් තරගයක්. ටෙස්ට් තරගයක්!

මා දිගින් දිගටම මුමුණමින් සිටියේ. චමින්ද වාස් ක්‍රියාත්මක කළ පළමු පන්දුවාරයේ පන්දු කිහිපයක් මම නිදැල්ලේ යැවීමට පවා තීරණය කළා.

නමුත් පුලස්ති ගුණරත්න ක්‍රියාත්මක කළ දෙවන පන්දුවාරයේ දී මම හතරේ පහරක් සහ හයේ පහරක් එල්ල කළා.

හේඩොස් මා වෙත පැමිණ විමසුවා එය කලින් සැලසුම් කරගෙන සිටි ප්‍රහාරයක් ද කියා.

අප කලින් සැලසුම් කරගෙන පැමිණියේ මුල්ම පන්දුවාර කිහිපයේ ආරක්ෂිතව ක්‍රීඩා කර ඉන්පසු මුරලි හැරෙන්නට අනෙක් පන්දු යවන්නන්ට දැඩිව පහර දීමට. නමුත් මම පන්දුව හොඳින් දකිමින් සිටියා. ඉතින් පහරක් දෙකක් එල්ල කිරීමේ වරදක් මා දැක්කේ නැහැ.

පළමු පන්දුවාර පහ අවසානයේ ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව කියවුණේ 34ක් ලෙසින්. එවෙලේ ශ්‍රී ලංකා නායකයා අරවින්ද ද සිල්වා පන්දු යැවීමට කැඳවූවා. එය අප ලත් ජයග්‍රහණයක් ලෙසයි මට හැඟී ගියේ. 

අරවින්ද යොමු කළ පළමු පන්දුව මම කවර් පෙදෙසට හෙමින් තල්ලු කළා. ඔහු එල්ල කළ දෙවන පන්දුවට මා ස්වීප් පහරක් එල්ල කළත් එය පිත්තේ යට අග්‍රයේ වැදී යද්දී කඩුලු රකින්නා විසින් රැකගත්තා.

ශ්‍රී ලාංකිකයින් විශාල ඉල්ලීමක් කළත් විනිසුරු හිස සොලවමින් එය ප්‍රතික්ෂේප කළා. ක්‍රීඩකයින් අතර විශ්වාසය තරමක් දුරට අඩු වන්නට මෙවන් සිද්ධීන් බලපාන බව මා දැන සිටියා.

පලයන්!

මගේ අභ්‍යන්තරයෙන්ම මට පණිවිඩයක් ලැබුණා.

එදා ක්‍රීඩාංගණයේ සිටි සියලු දෙනාගේම ඔල්වරසන් මැද මම ක්‍රීඩාගාරයට පියමං කළා. ලොව වටා ක්‍රිකට්ලෝලීන් සෑමදෙනෙක්ම පාහේ මගේ ක්‍රීඩාශීලිත්වය අගය කරනු ලැබුවා.

ක්‍රීඩාගාරයට ගිය වහාම මම පැලඳ සිටි ක්‍රීඩා ආම්පන්න ඉවත්කොට සෙසු ක්‍රීඩකයින් තරගය නරඹමින් සිටි තැනට එකතු වුනා.

ක්‍රිකට් පිටියට පියඹා පැමිණි දකුණු අප්‍රිකානු පියාසැරියා

1992 බෙන්සන් සහ හෙජස් ලෝක කුසලානයේ ……….

මගේ එක් සහෝදර ක්‍රීඩකයෙකු පැමිණ මගෙන් විමසුවා විනිසුරු රුඩි කොර්ට්සන් මා නොදැවුණ ක්‍රීඩකයෙකු ලෙස නම් කරනු දුටුවා ද කියා. ඔවුන් බොහෝ දෙනෙකු ප්‍රාර්ථනා කළේ විනිසුරු තීරණය මා හරියාකාරයෙන් නොදුටු බවයි.

‘ඔව්. මම ඔහුගේ තීරණය දුටුවා’ 

එතැන් පටන් ක්‍රීඩකයින් සියලු දෙනා අතර දැඩි නිහැඬියාවක් ඇතිවුණා.

විනාඩි කිහිපයක ඇවෑමෙන් රිකී දැවී ගියා. ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 37/2ක් ලෙස කියවුණේ. රිකී ක්‍රීඩාගාරයට ආ විගස මා සොයා පැමිණියා. 

ඔහු මගෙන් කෙළින්ම විමසුවේ විනිසුරු නොදැවීමක් බවට සංඥා කරනු මා දුටුවා ද කියා. මම පැවසුවා පැහැදිලිවම මා එය දුටු බව. එපමණයි ඔහු විමසුවේ නැවතත් නිහැඬියාවක් ඇතිවුණා.

ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 51ක් වෙද්දී හේඩ්න් දැවී ගියා. මා කළ ක්‍රියාවෙන් ඕස්ට්‍රේලියානු ඉනිම කඩා වැටෙන බව මට තේරුම් ගියා.

ඉන් අනතුරුව ඇන්ඩෲ සයිමන්ඩ්ස් සහ ඩැරල් ලීමන් ඕස්ට්‍රේලියානු ඉනිම තරමක් දුරට ශක්තිමත් කළා. ලීමන් දැවී යෑමෙන් පසු කඩුල්ලට පැමිණි මයිකල් බෙවන්ට ලැබුණේ ඉතාම අවාසනාවන්ත විනිසුරු තීරණයක්.

බෙවන් දැවී ගිය මොහොතේ මට සෙසු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ගේ මනස කියවන්නට හැකි නම් කියා සිතුණා.

‘මේ නිසා තමයි කියන්නේ වඩාත් සාධාරණ වෙන්න ඕන නෑ කියල. තමන්ට වාසියටත් අවාසියටත් තීරණ ලැබෙනවා’

ක්‍රීඩක විවේකාගරයේ එතරම් නිහැඬියාවක් හෝ තනිකමක් මා කිසිම දිනෙක අත්විඳ නැහැ.

ඉන්පසු සයිමන්ඩ්ස් සහ ඇන්ඩි බිකෙල් තරගයක් දිය හැකි ලකුණු ප්‍රමාණයකට ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව ඔසවා තැබුවා. 

‘ගිලී, උඹ කළේ නිවැරදි දෙයක්. මේ තරගය ඕස්ට්‍රේලියානුවන් පරාජය වුවහොත් ඒ උඹේ වරදින් නොවේ’

මම මගේ සිතිවිලි අතර හිරවෙලා හිටියේ.

ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලෝක කුසලානයෙන් ඉවත් වන්නට කරුණු කාරණා යෙදී සිටිය දී අපි පන්දු රැකීමට පිවිසියා.

දැවී යෑමෙන් පසු පළමු වරට විනිසුරු රුඩි කෝර්ට්සන් හා මගේ නෙත ගැටුණේ එවෙලේ. ඔහු දුර සිටම අත්පොලසන් දෙන ඉරියව්වකින් මගේ ක්‍රියාව අගය කළා. පළමු වරට මට යන්තම් සහනයක් ලැබුණා. මම ඔහුව දෙනෝදහක් මැද ලැජ්ජාවට පත් කළ බව මට සිහිවුණා. නමුත් ඔහු එය යහපත් ආකාරයෙන් බාර අරගෙන. 

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වාසනාවට ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රාහී ඉලක්කය කිට්ටුවටවත් ළඟා වෙන්න බැරිවුණා. අපේ වේගපන්දු යවන්නන් ඔවුන්ගේ මුල් කඩුලු කිහිපය ඉතා ඉක්මනින් දවා ගත්තා. අරවින්ද ද සිල්වාගේ දුවද්දී දැවී යෑමත් තරගයේ තීරණාත්මක අවස්ථාවක්.

ඔව්. නැවත වතාවක් ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා තිබුණා.

මගේ ක්‍රීඩාශීලිත්වය සෑම මාධ්‍යයකම සිරස්තල අතර තිබුණා. නමුත් බොහෝමයක් හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් පවා පැවසුවේ මා කළේ අනවශ්‍ය දෙයක් බවයි. නමුත් මම හැකි සෑමවිටම නිවැරදි දෙයක් කරන්න උත්සහ කළ අයෙක්.

පෙර සැලසුමට පිටින් යමින් දෙවන පන්දුවරයේ දී ගුණරත්නට පහර දෙන්නත්, විනිසුරුගේ තීරණයට පිටින් ඇවිද යන්නත් මා ගත් තීරණයත් දෙකම කලින් හිතාමතා ගත් ක්‍රියාමාර්ග නොවෙයි. එය තනිකරම මගේ හෘද සාක්ෂියට කන්දීමක්.

ක්‍රිකට් ලොවම භීතියෙන් මුසපත් කළ ‘සුදු අකුණු සැරය’

අසීමිතව රග්බි ක්‍රීඩාවට පෙම් කළ ඔහු කිසිමදාක ක්‍රිකට් ……..

පෝර්ට් එළිසබෙත් සිද්ධියෙන් පසු නිරන්තරයෙන් මට වෙත එල්ල වූ ප්‍රශ්නයක් වූයේ ඔබ මේ ඉදිරියටත් මේ ආකාරයෙන් ක්‍රියා කරනවා ද යන්න.

‘පුළුවන්කමක් තිබෙනවා නම්, ඔව්’ 

නමුත් විනිසුරු තීරණයකට එරෙහිව එලෙස ඇවිද යෑම එතරම් ලෙහෙසි කටයුත්තක් නොවෙයි. එදා ඕස්ට්‍රේලියානු ඉනිම ක්‍රියාත්මක වන අතරතුර මට දැනී ගිය තනිකම කිසිමදාක මට ක්‍රිකට් ක්‍රීඩාවේ දී දැනී නැහැ.

මා කිසිමදාක මාව ශක්තිමත් පුද්ගලයෙකු ලෙසින් දැක නැහැ. නමුත් මා කළ ක්‍රීඩාශීලී ක්‍රියාව පැය ගණනකට සෙසු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ගෙන් ඈත් කර තැබූ බව නම් පැහැදිලිවම කියන්න පුළුවන්.”

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<