ඕමානයෙන් T20 ලෝක කුසලානයට අත්දැකීම් සහිත සංචිතයක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

447

2021 ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සම සත්කාරකත්වය දරණ ඕමානය විසින් ලෝක කුසලානය සඳහා සහභාගී වන විස්සයි විස්ස සංචිතය ඊයේ (08) මාධ්‍ය වෙත නිකුත් කළා.

සංචිතයේ නායකත්වය අත්දැකීම් බහුල ප්‍රවීණයෙකු වන Zeeshan Maqsood වෙත ලබා දී තිබෙනවා. Aqib Ilyas කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරනවා.

මෑත කාලීනව ඕමානය වෙනුවෙන් සාර්ථක දස්කම් දැක්වීමට සමත් වූ Ayaan Khan, Nester Dhamba, Khurram Khan සහ Sufyan Mehmood ද ලෝක කුසලාන සංචිතයේ ස්ථාන වෙන් කරගෙන තිබෙන අතර තවත් දඟපන්දු යවන්නන් ලෙස Jay Odedra සහ Aamir Kaleem සංචිතයේ අසුන් වෙන්කර ගැනීමට සමත් ව තිබෙනවා. 

ප්‍රහාරාත්මක පිතිකරුවන් ලෙස Jatinder Singh සහ Khawar Ali සංචිතය සඳහා එකතු වන අතර නායක Zeeshan Maqsood සහ උප නායක Aqib Ilyas විසින් මැදපෙළ සවිමත් කරනු ඇත. තුන් ඉරියව් ක්‍රීඩකයින් වන Mohammad Nadeem සහ Sandeep Goud කඩුලු රකින ක්‍රීඩක Suraj Kumar සමඟ සංචිතය බලගන්වනු ඇත.

ලෝක කුසලානයේ පළමු අදියර ඕමානයේ සත්කාරකත්වය සහිතව පවත්වන අතර සංචිතය සඳහා අතිරේක ක්‍රීඩකයින් කිසිවෙකුත් නම් කර නැහැ. B කාණ්ඩයේ පළමු ස්ථාන 2 අතරට පැමිණෙමින් සුපිරි 12 වටය සඳහා සුදුසුකම් ලබා ගැනීම ඕමානයේ ප්‍රධාන අභියෝගයයි. පැපුවා නිව් ගිනියාව, බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය යන රටවල් B කාණ්ඩයේ සිටින අනෙක් රටවල් වනවා. 

එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ ලෝක කුසලානය සඳහා සම සත්කාරකත්වය දරණ ඕමානය, 2019 වසරේ හොංකොං සමඟ පැවති ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ඔස්සේ තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත් අවසන් රට බවට පත් වුනා. 

ලෝක කුසලානයට සහභාගී වන ඕමාන සංචිතය: Zeeshan Maqsood (c), Aqib Ilyas, Jatinder Singh, Khawar Ali, Mohammad Nadeem, Ayaan Khan, Suraj Kumar, Sandeep Goud, Nester Dhamba, Kaleemullah, Bilal Khan, Naseem Khushi, Sufyan Mehmood, Fayyaz Butt, Khurram Khan

ICC විස්සයි විස්ස ලෝක කුසලානය ඔක්තෝබර් 17 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<