භානුක නැවතත් ලකුණු අතරට!

PSL 2023

1233
​Bhanuka Rajapaksa shows his potential again
(Photo by Farooq NAEEM / AFP)

පාකිස්තානයේ පැවැත්වෙන PSL තරගාවලියේ මූලික වටයේ තරගවල නිමාව අද (12) දිනයෙන් සනිටුහන් වීමට නියමිතයි.

ඒ අනුව මූලික වටයේ අවසන් තරග ද්විත්වය අද පැවැත්වෙන අතර එයින් පළමු තරගය අද සවස Peshawar Zalmi සහ Islamabad United කණ්ඩායම් අතර පැවැත්වුනා.

මෙම තරගයට Peshawar Zalmi නායක Babar Azam ක්‍රීඩා නොකළ අතර තරගය ආරම්භ වීමටත් ප්‍රථම ඔවුන් තරගාවලියේ මීළඟ වටය තෙක් සුදුසුකම් ලබා තිබීම නිසා Zalmi විසින් සිය ප්‍රධාන පෙළේ ක්‍රීඩකයින් විවේක ගැන්වූ බව අනුමාන කළ හැකියි.

ඒ අනුව නිත්‍ය නායක Babar Azam වෙනුවට Tom Kohler-Cadmore විසින් Zalmi මෙහෙයවූ අතර තරග ගණනාවකට පසු භානුක රාජපක්ෂ හට ද Zalmi කණ්ඩායමේ ඉඩක් වෙන් වී තිබුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Peshawar Zalmi කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 179ක් ලබා ගැනීමට සමත් වූ අතර එහි දී Zalmi ඉනිම වෙනුවෙන් පන්දු 39කින් ලකුණු 79ක් රැස් කිරීමට Mohammad Haris සමත් වුනා.

ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් Haris සමඟ ලකුණු 115ක සබඳතාවක් පිහිටවූ භානුක රාජපක්ෂ විසින් තමන්ට ලැබුණු අවස්ථාවෙන් ඉහළම ප්‍රයෝජනය ගනිමින් පන්දු 25කින් ලකුණු 41ක් රැස් කිරීමට සමත් වුනේ සිය ඉනිම හතරේ පහර 4කින් සහ හයේ පහර 2කින් වර්ණවත් කර ගනිමිනුයි.

නමුත් ඔවුන් දෙදෙනාගේ දැවී යාමෙන් අනතුරුව කිසිදු Zalmi පිතිකරුවෙකු ලකුණු අතරට පිවිසීමට සමත් නොවූ අතර විශේෂයෙන්ම ඉනිමේ අවසන් පන්දුවාර කිහිපයේ දී Hassan Ali සහ Mohammad Wasim විසින් තරමක් සාර්ථක පන්දු යැවීමක නිරත වීමට සමත් වුනා. මෙහි දී Hasan Ali විසින් United වෙනුවෙන් කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

ඒ අනුව පිළිතුරු ඉනිම ලෙස තරමක පහසු ඉලක්කයක් (මෑත දිනවල PSL තරගාවලියේ පැවැත්වුණු තරගවලට සාපේක්ෂව බලන කල) හඹා යාමට Islamabad United පිතිකරුවන් පිටියට පිවිසුනත්, ඔවුන් බලාපොරොත්තු වූ තරම් පහසුවෙන් එම ඉලක්කය හඹා යාමට Zalmi පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

කිසිදු පිතිකරුවෙකුට පිටියේ ස්ථාවර වීමට ඉඩ ලබා නොදෙමින් විටින් විට කඩුලු දවා ගනිමින් United ඉනිම පාලනය කිරීමට ඔවුන් සමත් වූ අතර එහි දී Khuram Shahzad විසින් කඩුලු 3ක් සහ Sufiyan Muqeem විසින් කඩුලු 3ක් බැගින් බිඳ හෙළීමට සමත් වුනා.

ඒ අනුව නියමිත පන්දුවාර විස්ස අවසන් වීමටත් ප්‍රථම (පන්දුවාර 19.4ක දී) Islamabad United ඉනිම ලකුණු 166කට සීමා වූ අතර, තරගයෙන් ලකුණු 13ක ජයග්‍රහණයක් හිමි කර ගැනීමට Peshawar Zalmi කණ්ඩායම සමත් වුනා.

තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය මේ වන විට Lahore Qalandars සහ Karachi Kings කණ්ඩායම් අතර පැවැත්වෙනවා.

එමෙන්ම මේ වන විටත් මෙවර PSL තරගාවලියේ Play-Off තරග වටය සඳහා තරග වැදීමට නියමිත කණ්ඩායම් හතර තේරී පත් වී ඇති අතර (Lahore Qalandars, Multan Sultan, Islamabad United සහ Peshawar Zalmi) එම තරග මෙම මස 15 (බදාදා) සිට ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ අවසන් මහා තරගය මාර්තු 19 (ඉරිදා) වැනිදා දී පැවැත්වුණු ඇත.

PSL තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<