කල් යල් බැලීමේ පරිපූර්ණත්වය – M.S.Dhoni

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය

2968
Sportstar

“චෙන්නායි සුපර් කිංග්ස්” යනු චිත්‍රපටයක් නම් එහි තිර පිටපත් රචකයා, අධ්‍යක්ෂකවරයා, ප්‍රධාන නළුවා වන්නේ ඔහුයි. ඔහු ගැන විශ්වාසය තැබූ නාරායනස්වාමි සිරිනිවාසන් නමැති නිෂ්පාදකවරයා සමඟ ඔහු ආ ගමන, අගනා මං සලකුණු රැසක එකතුවකි.

එහෙත් වසර 14ක ඉතිහාසය තුළ පළමු වරට “නායකයා” නම් පදවිය M.S. දෝනිගෙන් ඉවත්ව යනු ඇත. ඔහුගේ විශිෂ්ට නායකත්ව ලක්ෂණ සමඟින් බැඳී තිබූ චෙන්නායි සුපර් කිංග්ස් නායකත්වය ඔහු විසින් රවීන්ද්‍ර ජඩේජා හට පුද කෙරුණේ පසුගිය දා ය. සුපර් කිංග්ස් කණ්ඩායමේ සාමාන්‍යාධිකාරී කාසි විශ්වනාදන් මහතා පවසන අන්දමට එය සම්පූර්ණයෙන්ම දෝනිගේ තීරණයක් වන අතර ඊට පරිපාලකයන්ගේ එකඟත්වය ද හිමිව ඇත.

ක්‍රිකට් ඉතිහාසඥයන් විසින් IPL/විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාස කතා පුවත් සහ විස්සයි විස්ස නායකත්වය ගැන කතා පුවත් රචනා කිරීමේ දී, මෙතැන් සිට දශකයක් ඉක්ම යන තැන දී එය පූර්ව දෝනි (BD) සහ පශ්චාත් දෝනි (AD) යනුවෙන් දෙකොටසකට බෙදනු ඇතැයි විශ්වාස කළ හැකිය.

ඉතිහාසය තුළ දී දෝනිගේ දෑස් හැඟුම්බර වූ එකම මොහොත 2018 IPL තරගාවලියේ දී ඔහුගේ කණ්ඩායම යළි නැගිටි අවස්ථාව විය හැකිය. එදින ඔහු හැඟුම්බර වූ අතර එදා ඔහුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමත් හදවතින් කෙතරම් බැඳී ඇත් දැයි විද්‍යමාන විය.

Anytvnews

කිසිදාක තීරණයක් වරද්දා නොගත්, සුපර් කිංග්ස් කණ්ඩායමේ ලොකු අයියා (තලා) ඔහු ය. කණ්ඩායම ආත්මීයවම නායකත්වය පුදා ඇත්තේ ඔහුට ය. ඔවුන්ගේ විශ්වාසය නම් දෝනිව කිසිදා පරාජය කළ නොහැකි බවයි. එය කෙතරම් නිවැරදි ද? IPL ඉතිහාසය තුළ දී 12 වතාවක් අවසන් මහා තරග බිමට පා තැබූ අන් කිසිදු කණ්ඩායමක් නැත. ඒ සියල්ල සිදු වුනේ ඔවුන්ගේ කණ්ඩායම දෙවරක් IPL තරගාවලියෙන් ඉවත් කොට තැබුවාට ද පසුවය.

ඔහුගේ නායකත්වය දෙකොටසකට බෙදිය හැකිය. “සාමාන්‍ය දැනීම සහ නිවැරදි ක්ෂණික තීරණ” ඒ දෙකයි. “සාමාන්‍ය දැනීම” යනු විස්සයි විස්ස ක්‍රිකට් එතරම් සංකීර්ණ කර නොගෙන තමන්ට හුරුපුරුදු සකැස්මකට අනුව ක්‍රීඩා කිරීමයි. “නිවැරදි ක්ෂණික තීරණ” යනු එක් එක් මොහොතේ දී කළ යුතු කාර්යභාරය ඉටු කළ හැකි ක්‍රීඩකයාව මැනවින්

හඳුනා ගැනීමත්, නායකයෙකු ලෙස තමාට ඔවුන්ගෙන් අවශ්‍ය කාර්යභාරය හඳුනා ගැනීමත් ය.

බිය සැක නැති තීරණ මෙන්ම ස්ථානෝචිත ප්‍රඥාව ඔහුගේ නායකත්වයේ ප්‍රමුඛ ලක්ෂණයි. ඔහු ලකුණු දත්ත ගැන විශ්වාස කරන්නෙකු නොවේ. දීර්ඝ කණ්ඩායම් රැස්වීම් හෝ කණ්ඩායම එකට එක් කරන ව්‍යාපෘති, වෙනස් පුහුණුකාර්ය මණ්ඩල ඉල්ලා සිටීම ඔහුගේ නායකත්වයේ ලක්ෂණ නොවේ.

ඔහු විසින්ම තනාගත් කණ්ඩායමක් ඔහු සතු වූයේ එබැවිනි. අත්දැකීමෙන් පරිපූර්ණ, නිශ්චිත අවස්ථාවල දී ඒ අත්දැකීම්වලින් ප්‍රයෝජන ගත් ජාත්‍යන්තර ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ද ඔහු එක්කර ගත්තේය. අවශ්‍ය ඉන්දියානු ක්‍රීඩකයන් සකසා ගත්තේ දෝනි විසින්ම ය.

2021 ගැන අවධානය යොමු කිරීමේ දී ෆෆ් ඩු ප්ලෙසි, ඩ්වේන් බ්‍රාවෝ, ජෝෂ් හේසල්වුඩ්, මොයීන් අලි වැනි ක්‍රීඩකයන්ව සුපර් කිංග්ස් කණ්ඩායමට තෝරාගත්තේ නිශ්චිත කාර්යභාරයක් සඳහා මිස නම්වල ප්‍රමාණය සලකා නොවේ.

දීපක් චහාර් හට පවර් ප්ලේ අවස්ථාව තුළ කඩුලු ලබා ගත හැකි බව හඳුනා ගත් දෝනි ෂර්දුල් තාකුර්ව ඕනෑම මොහොතක පන්දු යැවීමට ඉදිරිපත් කළ හැකි වේගපන්දු යවන්නා ලෙස යොදා ගත්තේය. රවීන්ද්‍ර ජඩේජා ඔහු සතු තරග දිනවන්නා ය. ඒ පන්දු යැවීමෙන් ද, පිත්තෙන් ද, පන්දු රැකීමෙන් ද යන්න තෝරාගැනීම ජඩේජා හටම පවරා තිබුණි.

රුතුරාජ් ගයික්වාඩ් තරුණ, එහෙත් බුද්ධිමත් ආරම්භක පිතිකරුවෙකු බව හඳුනා ගත් දෝනි ඔහුට ඉනිමේ වැඩි පන්දු ප්‍රමාණයකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා දුන්නේ ය. සුරේෂ් රෙයිනා සහ අම්බති රායුදුගෙන් බලාපොරොත්තු වූයේ මඳ වේගී තණතීරු මත සිය අත්දැකීම් යොදාගෙන තරගයක් ඇදගෙන යෑමයි.

මොයින් අලී හට ඕනෑම මඳ වේගපන්දුවකට හයේ පහරවල් එල්ල කළ හැකි බව දුටු දෝනි ඔහුට නිදහසේ පහර දීමට අවස්ථාව ලබා දුන්නේ ලකුණු කොපමණ වාර්තා කළත්/නොකළත් ඔහුගෙන් එම නිශ්චිත කාර්යභාරය බලාපොරොත්තු වෙමිනි.

2021 තරගාවලියේ මුල් භාගය තුළ දී කණ්ඩායමක් ලෙස හොඳින් මිශ්‍ර වී නොතිබූ ඔහුගේ කණ්ඩායම සමස්ත ලකුණු පුවරුවේ මැද කොටසේ රැඳී සිටියේය. එහෙත් ඔවුන්ට

සිතන්නට ඉඩ ලැබුණු කොවිඩ් විවේක කාලය තුළ දී ඔවුන් තරගාවලිය ගැන නිශ්චිතව ඉදිරියට සිතා තිබුණි. එය ශූරතාවය කරාම ගිය ගමනක් විය.

දෝනි සාර්ථක විය. ජයග්‍රාහී කණ්ඩායම සමඟින් ඉදිරි තරගාවලි වලටත් මුහුණ දෙන්නට දෝනිට අවශ්‍ය වූයේ නම් දෝනිට කිසිවෙකු බාධා නොකරන්නට තිබුණි. එහෙත් මෙවර කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්ම ඇත. ඉදිරිය ගැන හොඳින් සිතා බැලීමට හැකිකම දෝනිගේ නායකත්වයේ සුවිශේෂී ලක්ෂණයකි.

අවසන් වසර හය පුරාවටම පිතිකරුවෙකු වශයෙන් අප දුටුවේ අපට හුරුපුරුදු දෝනිව නොවේ. ඔහුගේ පිතිකරණය තරමක් පසුබැස ඇත. එහෙත් ඒ කිසිවක් නොසලකා ඔහුව කණ්ඩායමේ රඳවා ගැනීමට තරම් සුපර් කිංග්ස් පරිපාලනයට දෝනි ගැන විශ්වාසයක් ඇත. තරගයක දී ඔහු විසින් ලබා දෙන එක් උපදෙසක්, එක් ඉඟියක් පවා තරගයේ ජයග්‍රහණය/පරාජය තීරණය කළ හැකි තීරක බලවේගයකි. දෝනි එවැන්නෙකි.

Cricket addictor

කෙසේ වෙතත් සුපර් කිංග්ස් නායකත්වය පවරා ඇත්තේ මින් පෙර කිසිදු ඉන්දියානු දේශීය තරගාවලියක දී නායකත්වයේ වගකීමට කර තබා නැති රවීන්ද්‍ර ජඩේජා හට ය. 2022 IPL තරගාවලිය ඇරඹී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පළමු තරගය ක්‍රියාත්මක වන්නට දින දෙකකට පෙර නායකත්වයෙන් ඉවත් වීමට දෝනි තීරණය කරන්නට ඇත්තේ ඇයි? ඔහුට කිසිදු පීඩනයක් නොතිබූ බව ද අපි දනිමු. ඔහු IPL ශූරතා හතරක් දිනූ නායකයෙකි. ඔහු මේ වන විටත් “වත්මන් IPL ශූර නායකයා”යි.

සිය 41 වැනි උපන්දිනයට කෙටි කලකට පෙර ඔහු විසින් මෙම තීරණය ගන්නට ඇත්තේ මෙවැන්නක් සිතේ තබාගෙන විය හැකිය. මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා නොකරන දෝනි වසරකට “තරගකාරී” විස්සයි විස්ස තරග 14ක් 16ක් පමණක් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකුව ඇත.

පෙර වසරේදීත් ඔහු තදින් පුහුණුවන්නට පටන් ගෙන ඇත්තේ තරගාවලියට සති හයකට පමණ පෙරදී ය. ඇතැම් විට මෙම වසරේ දී ඔහු සියලු තරගවලට සහභාගී නොවී තෝරාගත් තරගවලට ක්‍රීඩා කරන්නට තීරණය කර ඇතුවා ද විය හැකිය.

එබැවින් ශාරීරිකව වයස්ගත වෙමින් පවතින ඔහුගේ ශරීරය සමඟින් සටන් කරනවාට අමතරම නවක නායකයෙකු නිර්මාණය කිරීමට ඔහුට සිදුවූවා විය හැකිය. පෙර තරගාවලිවල දී ඔහු විසින් නායකත්ව උපදෙස් සහ දැනුම ලබා දෙන්නට ඇත්තේ ජඩේජා හට ය. සුරේෂ් රෙයිනා අත්දැකීම් සහිත හොඳ නායකයෙකු වුවත් ඔහුගේ පිතිකරණයේ ඇති අවිශ්වාසවන්ත භාවය ඔහුට එම වගකීම පැවරීමට බාධාවක් වන්නට ඇත.

මෙම වසරේ දී ඇතැම් තරගවලට දෝනි ක්‍රීඩා නොකරයි නම් කඩුලු රකින්නා ලෙස අම්බති රායුදු හට ක්‍රීඩා කළ හැකිය. දෝනි කණ්ඩායම තුළ ක්‍රීඩකයෙකු සහ කළමනාකරුවෙකු ලෙස ක්‍රීඩා කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

සුපර් කිංග්ස් කණ්ඩායමෙන් වාර්තා වන පුවත් සත්‍ය නම්, මේ වන විට ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ සිටින නවක ක්‍රීඩකයෙකු හට ද වරින් වර නායකත්වය පිරිනැමීමට ඔවුන්ගේ අදහසක් ඇත. කෙසේ වෙතත් මේ කුමන ක්‍රීඩකයා සුක්කානමට අත තැබුව ද, සුපර් කිංග්ස් කණ්ඩායම ගමන් කළ යුත්තේ පසුපස අසුනක සිටින දෝනි පවසන ගමනාන්තයට ය.

Rediff ඇසුරිනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<