Dubai Capitals වෙනුවෙන් දික්වැල්ල සහ දසුන් දස්කම් දක්වයි!

ILT20 2023

246

ILT20 තරගාවලියේ 22 වැනි තරගය ලෙස ඊයේ (30) Abu Dhabi Knight Riders සහ Dubai Capitals කණ්ඩායම් එකිනෙකා මුණ ගැසුණු අතර එම තරගයේ දී කණ්ඩායම් දෙකම නියෝජනය කරමින් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද තරගයට සහභාගී වුනා.

මෙහි දී ධනංජය ද සිල්වා, චරිත් අසලංක සහ ලහිරු කුමාර නියෝජනය කළ Knight Riders පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අතර නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ගොස් ලකුණු 149ක් රැස් කිරීමට ඔවුන් සමත් වුනා.

Knight Riders වෙනුවෙන් ධනංජය, අසලංක සහ ලහිරු කුමාර යන තිදෙනා ම පිතිකරණයේ යෙදුනත්, ඒ කිසිවකුට හෝ ලකුණු 10 ඉක්මවා යාමට හෝ නොහැකි වුනා. Knight Riders වෙනුවෙන් සාර්ථක වූ එකම පිතිකරුවා වුනේ එංගලන්ත ක්‍රීඩක Joe Clarke පමණක් වන අතර ඔහු පන්දු 27කින් ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වුනා.

Capitals වෙනුවෙන් ඕස්ට්‍රේලියානු පා දඟපන්දු යවන Adam Zampa විසින් ලකුණු 16කට කඩුලු 3ක් බිඳ හෙළමින් නැවතත් සාර්ථක වීමට සමත් වූ අතර, ශ්‍රී ලංකාවෙ චාමික කරුණාරත්න පන්දුවාර දෙකක් පමණක් යැවූ අතර එහි දී ඔහු ලකුණු 19ක් ලබා දී තිබුණා.

පිළිතුරු ඉනිම දියත් කිරීමට පිටියට පිවිසි Capitals ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ George Munsey සහ නිරෝශන් දික්වැල්ල තම කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දෙමින් පළමු කඩුල්ලට ලකුණු 59ක් එකතු කළ අතර එහි දී සිය මංගල ILT20 තරගය ක්‍රීඩා කළ දික්වැල්ල පන්දු 22ක් තුල වේගවත් ලකුණු 37ක් ලබා ගැනීමට සමත් වුනා.

දික්වැල්ලගේ දැවී යාමෙන් අනතුරුව පිතිකරණ අනුපිළිවෙළේ තවත් උසස් වීමක් ලද ශ්‍රී ලංකා නායක දසුන් ශානක අංක තුන පිතිකරු ලෙස පිටියට පිවිසෙමින් Munsey සමඟ ලකුණු 62ක සබඳතාවක් පිහිටවූ අතර දසුන් ලහිරු කුමාරගේ පන්දුවක් හමුවේ දැවී යන විට ලකුණු 28ක් රැස්කර ගෙන සිටියා.

කෙසේ වෙතත් ඒ වන විටත් Capitals කණ්ඩායමේ ජයග්‍රහණය ද නිල නොලත් ලෙස තහවුරු වී තිබුණා. පසුව පන්දුවාර 17.4ක දී කඩුලු 3ක් පමණක් දැවී Capitals ජයග්‍රහණය වාර්තා කළ අතර එහි දී Munsey  විසින් ලකුණු 57ක් ලබා ගැනීමට සමත් වුනා.

පන්දු යැවීමේ දී Knight Riders කණ්ඩායමේ කිසිදු පන්දු යවන්නකු ඒ තරම් සාර්ථක නොවූ අතර, ලහිරු කුමාර සිය පන්දුවාර තුන තුල ලකුණු 33ක් ලබා දී එක් කඩුල්ලක් බිඳ හෙළිමට සමත් වී තිබුණා.

  • Abu Dhabi Knight Riders: 149/9 (20) – Joe Clarke 52, Sunil Narine 23, Adam Zampa 3/16
  • Dubai Capitals: 150/3 (17.4)George Munsey 57, නිරෝශන් දික්වැල්ල 37, දසුන් ශානක 28, Akeal Hosein 1/ 21

ILT20 තරගාවලියේ 23 වැනි තරගය අද Desert Vipers සහ Sharjah warriors කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත අතර වනිඳු, මතීෂ සහ චන්දිමාල් යන තිදෙනා ම සංචිතයේ රඳවා ගෙන සිටින Desert Vipers මේ වන විට ILT20 ලකුණු සටහනේ ද පෙරමුණ ගෙන සිටිනවා. අද තරගය ශ්‍රී ලංකා වෙලාවෙන් රාත්‍රි 7.30ට ආරම්භ වීමට නියමිතයි.

ILT20 තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<