“මට අළුබඳුනේ ක්‍රීඩා කරන්න ඕන” – ආචර්

1226
Courtesy – The Mirror

Jofra Archer (ජොෆ්රා ආචර්), 2020 වර්ෂය වන දක්වා ඉතා ඉහළ දස්කම් දැක්වූ වේගපන්දු යවන්නෙක්. එහෙත් ආබාධ ඇතිවීම නිසා ඔහු දිගින් දිගටම ජාත්‍යන්තර ක්‍රිකට් වලින් ඈත් වුනා.

එහෙත් එළඹෙන අළු බඳුන තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තමන්ට බලාපොරොත්තුවක් ඇති බව ඔහු පවසනවා.

මම ඊළඟ මාස දෙක, තුන, හතර මාව තවත් තියුණුව ලෑස්ති කරගනිමින් ගත කරන්න ඕන. මාව තව ටිකක් ඔරොත්තු දෙන විදියට,” ඔහු BBC හමුවේ පැවසුවා.

මට මුලින්ම ඒක විසඳගන්න දෙන්න. ඉන්පස්සේ මට රතු පන්දුව මගේ අතට ගන්න එක ගැන බලන්න පුළුවන්,” ඔහු පැවසුවා.

මාස 22ක දිගු විවේකයකින් පසුව ඔහු දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලියේ දී එංගලන්ත කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි. එහෙත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට යළි එළඹෙන්නට ඔහුගේ ශරීරය මීට වඩා සූදානම් විය යුතු බව ඔහුට පැහැදිලියි.

මෙතෙක් ටෙස්ට් තරග 13ක දී කඩුලු 42ක් දවා ගන්නට ආචර් සමත්ව ඇත්තේ කඩුලු පහේ දස්කම් තුනක් ද සමඟින්.

එක්දින ක්‍රිකට් සම්බන්ධව ඔහු ගැන එංගලන්ත ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට තිබෙන්නේ සොඳුරු මතකයක්. 2019 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ දී එංගලන්තය වෙනුවෙන් සුපිරි පන්දුවාරය යවමින් ඔවුන්ට ජය ගෙන ඒමට දායක වුනේ ආචර්.

ඉන්පසුව පැවති 2019 අළුබඳුන තරගාවලියට සහභාගී වෙමින් ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ව භීතියට පත්කළ ආචර් ලීග් ක්‍රිකට්වල දීත් ලොව අවධානය දිනා ගත්තා. පසුව ඔහුගේ වැලමිටේ ආබාධයක් ඇතිවූ අතර ඊට ශල්‍යකර්ම දෙකක් කිරීමට සිදු වුනා. එය සුව අතට පත්වෙද්දී ඔහුගේ පිටෙහි මාංශ පේශී ඉරීමකට ලක්වුනා. ඒ අතින් ඔහුට පැමිණියේ අවාසනාවන්ත කාලයක්.

මේ මස මුල දී පැවති එංගලන්ත-දකුණු අප්‍රිකා 20-20 තරගාවලියේ දී නැවත ජාත්‍යන්තර ක්‍රිකට් වලට පා තැබූ ආචර් එහි තරග 5ක දී කඩුලු 8ක් දවා ගනිමින් පැවසුවේ එය තමන්ගේ 80%ක දස්කම් පමණක් වන බවයි.

එළඹෙන එංගලන්ත-දකුණු අප්‍රිකා එක්දින තරගාවලියෙන් අනතුරුව ඔහු IPL හි ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඉන්දියාව බලා යෑමට නියමිතයි. එබැවින් ජුනි 16 ඇරඹෙන අළු බඳුන තරගාවලියේ දී ඔහුට ස්ථානයක් ලැබේවිද නොලැබේවි ද යන්න ගැන සැක පළවනවා.

මට ඉන්දියාවේ දී ටිකක් වැඩිපුර පන්දු යවන්න වේවි. ඒත් කමක් නෑ මට අළු බඳුනේ ක්‍රීඩා කරන්න ඕන,” ඔහු පැවසුවා.

මට අමාරු දේවල් ගොඩක් කරන්න වේවි. කාරණාවෙන් කාරණාවට හරි දාගෙන යන ගමන්,” ආචර් සිටින්නේ බලාපොරොත්තු පෙරදැරිවයි.

ආචර් නිසි පරිදි ශාරීරික යෝග්‍යතාවය සපුරා ගැනීම එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට සෑම ක්‍රිකට් රටාවක දී ම වැදගත් වනවා. එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ දී මෙන්ම 2015න් පසුව අළු බඳුන ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන් සිටින එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමටත් ඔහුගේ ආගමනය විශ්වාසය වැඩිකරන අංගයක්.

ක්‍රිකට් ගහමින් ඉන්න එක හොඳයි. ඇත්තටම මගේ ශරීරයට ඉඩ දෙන එක ගැන හිතන්න ඕන නෑ,” ඔහු පැවසුවා.

මට මම 80%ක් විතර ඉන්නවා කියලා කියන්න පුළුවන්. තියුණුව ලෑස්ති කරගනිමින්,” ඔහුගේ සූදානම ක්‍රිකට් ලොව අවදි වීමට හේතුවක් වේවි ද? අපි බලා සිටිමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<