පෙරළිකාරී ජයග්‍රහණ සමඟ පාසල් රග්බි ඇරඹෙයි

Dialog පාසල් රග්බි ලීගය 2023

691
Dialog School Rugby League 2023

පාසල් රග්බි පිටියේ උණුසුම වැඩි කරමින් පාසල් පිටියේ ක්‍රියාත්මක වන ප්‍රධානතම ලීගය වන Dialog පාසල් රග්බි ලීගයේ පළමු සතියේ තරග ඊයේ (18) අවසන් වුනා.

පළමු සතියේ පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කිරීමට මහනුවර සාන්ත අන්තෝනි, කොළඹ ඉසිපතන, බම්බලපිටිය සාන්ත පීතර, මහනුවර ධර්මරාජ, ගල්කිස්ස සාන්ත තෝමස් සහ මහනුවර විද්‍යාර්ථ ක්‍රීඩකයින් සමත් වුනා.

සාන්ත ජෝසප් විද්‍යාලය සහ සාන්ත අන්තෝනි විද්‍යාලය

  • දිනය – 2023 ජුනි 14
  • ස්ථානය – බෝගම්බර

මෙවර රග්බි ලීගය ආරම්භ කරමින් පැවති පළමු තරගය වූ මෙම තරගයෙන් ප්‍රබල සාන්ත ජෝසප් ක්‍රීඩකයින් පරාජය කරමින් පෙරළිකාර ජයග්‍රහණයක් ලබා ගන්නට සාන්ත අන්තෝනි ක්‍රීඩකයින්ට හැකි වුනා.

ලකුණු ලබා ගැනීම ආරම්භ කළ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් පළමු අර්ධය ලකුණු 12ක් සමඟින් අවසන් කරද්දී ප්‍රබල සටනක් ලබා දුන් සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් ලකුණු 10ක් ලබා ගෙන සිටියා.

එම අර්ධයේ දී සාන්ත ජෝසප් වෙනුවෙන් ජෙහාන් අතුකෝරළ උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරද්දී, සාන්ත අන්තෝනි වෙනුවෙන් ජූඩ් රියලානෝ උත්සාහක දිනුමක් වාර්තා කළා.

පළමු අර්ධයේ සිදු වූ පසුබෑම නිවැරදි කර ගත් සාන්ත අන්තෝනි කණ්ඩායම දෙවැනි අර්ධයේ දී උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළ අතර, සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට කිසිදු ලකුණක් ලබා ගැනීමට හැකි වුනේ නැහැ.

සාන්ත අන්තෝනි වෙනුවෙන් ඔමිත දිසානායක සහ රොෂේන් කුමාර එම උත්සාහක දිනුම් වාර්තා කළ අතර ඒ සමඟ ප්‍රබල සාන්ත ජෝසප් කණ්ඩායමට එරෙහිව පෙරළිකාරී ජයක් ලබා ගන්නට ඔවුන්ට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: සාන්ත අන්තෝනි විද්‍යාලය 22 (3T 2C 1P) – 12 (2T 1C) සාන්ත ජෝසප් විද්‍යාලය

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්,

  • සාන්ත අන්තෝනි විද්‍යාලය – ජූඩ් රියලානෝ 1T, ඔමිත දිසානායක 1T, රොෂේන් කුමාර 1T, සහන් කීරිතිසිරි 2C 1
  • සාන්ත ජෝසප් විද්‍යාලය – ජෙහාන් අතුකෝරළ 2T, රුචිත රොද්‍රිගෝ 1

NDB තරගයේ වීරයා: සහන් කීර්තිසිරි (සාන්ත අන්තෝනි විද්‍යාලය)


මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ විද්‍යා විද්‍යාලය

  • දිනය – 2023 ජුනි 16
  • ස්ථානය – බෝගම්බර

විද්‍යා විද්‍යාලය 26-19 ලෙස පරාජයට පත් කරමින් පළමු තරගය ජයග්‍රහණය කිරීමට සත්කාරක විද්‍යාර්ථ විද්‍යාලයට හැකි වුනා.

තරගයට ඉතා හොඳ ආරම්භයක් ලබා ගත් විද්‍යාර්ථ ක්‍රීඩක ඉෂාර කුමාර පළමු උත්සාහක දිනුම වාර්තා කරද්දී, එහි ප්‍රවර්තන අවස්ථාව සාර්ථකව අවසන් කිරීමට දේශාන් බාලසූරියට හැකි වුනා.

නමුත් එයින් මිනිත්තු කිහිපයක් තුළ ක්‍රියාත්මක වූ විද්‍යා විද්‍යාල ක්‍රීඩක අනුරාධ ලක්ෂාන් උත්සාහක දිනුමක් වාර්තා කළත්, එහි ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගැනීමට ඔවුන්ට හැකි වුනේ නැහැ.

විද්‍යා ක්‍රීඩක අශේන් ඒකනායක උත්සාහක දිනුමක් වාර්තා කරමින් සිය කණ්ඩායම පෙරමුණට ගෙන ආවත්, පළමු අර්ධය අවසන් වීමට පෙර විද්‍යාර්ථය පෙරමුණට ගෙන ඒමට ඉෂාර කුමාරට හැකි වුනා.

දෙවැනි අර්ධයේ දී ක්‍රියාත්මක වූ රොෂාන් රගුණාත් උත්සාහක දිනුමක් වාර්තා කරමින් විද්‍යා විද්‍යාලය නැවතත් පෙරමුණට ගෙන ආවා.

සත්කාරකයින් වෙනුවෙන් ක්‍රියාත්මක වූ ගයාන් පෙරේරා තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා.

අවසන් ලකුණු තත්වය – විද්‍යාර්ථ විද්‍යාලය 26 (4T 3C) – 19 (3T 2C) විද්‍යා විද්‍යාලය

  • විද්‍යාර්ථ විද්‍යාලය – ඉශාර කුමාර 2T, ගයාන් පෙරේරා 2T, දේශාන් බාලසූරිය 2C, රුසිත් සරත්කුමාර 1
  • විද්‍යා විද්‍යාලය – ඉශාර උඩවත්ත 1T, අශේන් ඒකනායක 1T, රොෂාන් රගුනාත් 1T, ඕෂධ පෙරේරා 2

NDB තරගයේ වීරයා – ගයාන් පෙරේරා (විද්‍යාර්ථ විද්‍යාලය)


සාන්ත තෝමස් විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය

  • දිනය – 2023 ජුනි 17
  • ස්ථානය – සාන්ත තෝමස් ක්‍රීඩාංගණය

තියුණු සටනකින් පසු වෙස්ලි විද්‍යාලය ලකුණු 19 – 13ක් ලෙස පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නට සාන්ත තෝමස් ක්‍රීඩකයින් සමත් වුනා.

ලකුණු ලබා ගැනීම ආරම්භ කළ සාන්ත තෝමස් ක්‍රීඩක යෙහාන් බුලත්සිංහල දඬුවම් පහර දෙකක් සාර්ථකව අවසන් කරද්දී, ඩී. ඒ. සේනාරත්න උත්සාහක දිනුමක් සාර්ථකව අවසන් කළා.

පළමු අර්ධය අවසන් වීමට පෙර ක්‍රියාත්මක වූ වෙස්ලි ක්‍රීඩක චමෝද් නිම්සර උත්සාහක දිනුමක් වාර්තා කරමින් සිය කණ්ඩායම නැවතත් තරගයට අවතීර්ණ කළා.

දෙවැනි අර්ධය ආරම්භයේ දී නැවතත් ක්‍රියාත්මක වූ බුලත්සිංහල තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර වෙස්ලි ක්‍රීඩක අබ්දුල් හාඩි උත්සාහක දිනුමක් සහ ප්‍රවර්තනයක් සාර්ථකව අවසන් කරමින් ලකුණු තත්වය සමීප කිරීමට සමත් වුනා.

නමුත් 63 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ සාන්ත තෝමස් ක්‍රීඩක මොහොමඩ් හකීම් උත්සාහක දිනුමක් වාර්තා කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා.

අවසන් ලකුණු තත්වය: සාන්ත තෝමස් විද්‍යාලය 19 (2T, 3P) – 13 (1T, 1C, 2P) වෙස්ලි විද්‍යාලය

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්,

  • සාන්ත තෝමස් විද්‍යාලය – ඩී. ඒ. සේනාරත්න 1T, මොහොමඩ් හකීම් 1T, යේහාන් බුලත්සිංහල 3
  • වෙස්ලි විද්‍යාලය – චමෝද් නිම්සර 1T, අබ්දුල් හාඩි 1C & 2P

NDB තරගයේ වීරයා: එස්. ඩී. ප්‍රනාන්දු (සාන්ත ජෝසප් විද්‍යාලය)

සාන්ත පීතර විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය

  • දිනය – 2023 ජුනි 17
  • ස්ථානය – සාන්ත පීතර ක්‍රීඩාංගණය

B.C. Anghie කුසලානය සඳහා පැවති මෙම සාම්ප්‍රදායික තරගයෙන් ප්‍රබල රාජකීයයන් ලකුණු 11-05ක් ලෙස පරාජය කරමින් පාසල් රග්බි තරග වාරය ජයග්‍රාහීව ආරම්භ කරන්නට සාන්ත පීතර ක්‍රීඩකයින් සමත් වුනා.

දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් තරගයේ ලකුණු ලබා ගැනීම ආරම්භ කිරීමට සාන්ත පීතර ක්‍රීඩක යුමෙත් ශිහාර සමත් වුනා.

පළමු අර්ධයේ දී කණ්ඩායම් ද්විත්වයම ඉතා තරගකාරීව ක්‍රීඩා කළත් කිසිදු ලකුණක් ලබා ගැනීමට නොහැකි වූ නිසා එම අර්ධයේ පෙරමුණ හිමි වුනේ සාන්ත පීතර විද්‍යාලයටයි.

දෙවැනි අර්ධයේ දී සිය සුපුරුදු තරගකාරීත්වය පෙන්නුම් කළ රාජකීය විද්‍යාලය වෙනුවෙන් Idris Farouk තරගයේ පළවෙනි උත්සාහක දිනුම වාර්තා කරමින් සිය කණ්ඩායම පෙරමුණට ගෙන ආවා.

නමුත් ඉක්මනින් ක්‍රියාත්මක වූ යෙමුත් තවත් දඬුවම් පහරක් වාර්තා කළ අතර සාන්ත පීතර ක්‍රීඩක සුදේස් ජයවික්‍රම උත්සාහක දිනුමක් වාර්තා කරමින් ජයග්‍රහණය තහවුරු කළා.

අවසන් ලකුණු තත්වය: සාන්ත තෝමස් විද්‍යාලය 11 (1T,2P) – 05 (1T)

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්,

  • සාන්ත තෝමස් විද්‍යාලය – සුදේෂ් ජයවික්‍රම 1T, යුමෙත් ශිහාර 2
  • රාජකීය විද්‍යාලය – Idris Farouk 1

NDB තරගයේ වීරයා: යුමෙත් ශිහාර (සාන්ත පීතර විද්‍යාලය)


මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය

  • දිනය – 2023 ජුනි 17
  • ස්ථානය – බෝගම්බර

අවසන් මොහොත දක්වා පැවති තියුණු සටනකින් පසු මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජය කරමින් ලකුණු 17-15ක ජයක් ලබා ගන්නට මහනුවර ධර්මරාජ විද්‍යාලය සමත් වුනා.

ඉසුරු බණ්ඩාර වාර්තා කළ උත්සාහක දිනුමත්, සදීෂ් වීරවංශ වාර්තා කළ ප්‍රවර්තනයත් සහ ලුචිත විජයරත්න වාර්තා කළ දඬුවම් පහරත් නිසා පළමු අර්ධයේ ලකුණු 10-00ක පෙරමුණක් ලබා ගන්නට ධර්මරාජ ක්‍රීඩකයින් සමත් වුනා.

දෙවැනි අර්ධයේ දී සිය කණ්ඩායම නැවත තරගයට ගෙන එමින් සිය කණ්ඩායමේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට ත්‍රිත්ව ක්‍රීඩක සචිඳු වන්සේකර සමත් වුනා.

එයින් කෙටි වේලාවකට පසු ක්‍රියාත්මක වූ ත්‍රිත්ව ක්‍රීඩක Abidh Jameel උත්සාහක දිනුමක් වාර්තා කරමින් ලකුණු තත්වය සම කරද්දී, සිය දෙවැනි උත්සාහක දිනුම වාර්තා කරමින් කණ්ඩායම පෙරමුණට ගෙන ඒමට සචිඳු වන්සේකර සමත් වුනා.

නමුත් තරගයේ අවසන් භාගයේ දී ලැබූ පන්දුවක් සීමා ඉර පසු කර ගෙන යමින් ලකුණු තත්වය සම කිරීමට ධර්මරාජ ක්‍රීඩක ඉශාර විජේවර්ධනට හැකි වෙද්දී, එහි ප්‍රවර්තනය සාර්ථකව අවසන් කළ ශෙහාන් රාජපක්ෂ කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා.

අවසන් ලකුණු තත්වය: ධර්මරාජ විද්‍යාලය 17 (2T, 1P, 2C) – 15 (3T) ත්‍රිත්ව විද්‍යාලය

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්,

  • ධර්මරාජ විද්‍යාලය – ඉසුරු බණ්ඩාර 1T, ඉශාර විජයවර්ධන 1T, සදීෂ වීරවංශ 1 C, ලුචිත විජයරත්න 1P, ශෙහාන් රාජපක්ෂ 1
  • ත්‍රිත්ව විද්‍යාලය – සචිඳු වනසේකර 2T, Abidh Jameel 1

NDB තරගයේ වීරයා – ඉශාර විජේවර්ධන (ධර්මරාජ විද්‍යාලය)


ඉසිපතන විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය

  • දිනය – 2023 ජුනි 18
  • ස්ථානය – බෝගම්බර

බෝගම්බර ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් කිංග්ස්වුඩ් ක්‍රීඩකයින්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් සිය ආධිපත්‍ය රැක ගැනීමට වත්මන් ශූර ඉසිපතන ක්‍රීඩකයින් සමත් වුනා.

තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කරමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කිරීමට ඉසිපතන ක්‍රීඩක චමත් ඉරෝෂන් සමත් වූ අතර කණ්ඩායම වෙනුවෙන් දෙවැනි උත්සාහක දිනුම වාර්තා කළේ නවීන් කවිෂ්ක.

රිනේෂ් සිල්වා ඉසිපතනය වෙනුවෙන් දඬුවම් පහරක් වාර්තා කරද්දී, පළමු අර්ධය තුළ තවත් උත්සාහක දිනුමක් වාර්තා කරමින් පළමු අර්ධය 20-00ක් ලෙස ප්‍රබල ලෙස අවසන් කිරීමට ඉසිපතන ක්‍රීඩකයින් සමත් වුනා.

කිංග්ස්වුඩ් ක්‍රීඩකයින්ට තරමක සහනයක් ගෙන දෙමින් දෙවැනි අර්ධයේ දී සිය පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට තරිඳු ඉශාරට හැකි වුනේ සිය කණ්ඩායම තරමක් තරගයට ගෙන එමිනුයි.

නමුත් ඉසිපතනය වෙනුවෙන් චමත් ඉරෝෂන් සහ Shaahid Zumri තවත් උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කරද්දී, කිංග්ස්වුඩ් ක්‍රීඩකයින්ට ලබා ගැනීමට හැකි වුනේ දඬුවම් පහර අවස්ථාවක් පමණයි.

එම නිසා තරගය ලකුණු 32-08ක් ලෙස දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගන්නට ඉසිපතන ක්‍රීඩකයින්ට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය – ඉසිපතන විද්‍යාලය 32 (5T 2C 1P) – 08 (1T 1P) කිංග්ස්වුඩ් විද්‍යාලය

  • ඉසිපතන විද්‍යාලය – චමත් ඉරෝෂන් 2T, නවීන් කනිෂ්ක 1T, රිනේෂ් සිල්වා 2C & 1T, Shaahid Zumri 1
  • කිංග්ස්වුඩ් විද්‍යාලය – තරිඳු ඉෂාර 1T, ඉමන්ක ඉෂාර 1

NDB තරගයේ වීරයා – හසිඳු ප්‍රනාන්දු (ඉසිපතන විද්‍යාලය)

Dialog පාසල් රග්බි ලීගයේ සියලු තරග තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<