Heath Streak සමාව අයදියි

142

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී චෝදනාවන්ට වැරදිකරු වීම නිසා වසර අටක තරග තහනමක් ලැබූ සිම්බාබ්වේ ක්‍රීඩක Heath Streak ඒ පිළිබඳව තමන් සම්පූර්ණ වගකීම ගන්නා බවත්, සිදුවීම පිළිබඳව සමාව අයැද සිටින බවත් ප්‍රකාශ කර සිටියා.

මේ වන විට 47 වැනි වියේ පසුවන Heath Streak 2016 – 2018 කාලසීමාවේ දී සිම්බාබ්වේ කණ්ඩායමේ සහ තවත් ක්‍රීඩා සමාජවල පුහුණුකරු ලෙස කටයුතු කළ සමයේ එල්ල වූ චෝදනා පහකට වැරදිකරු බව ඔහු පිළිගෙන තිබුණා.

“පසුගිය වසර ගණනාවක කාලයේ දී මා හට විශාල ශක්තියක් වූ හා සහයෝගය දැක්වූ මගේ පවුලේ සාමාජිකයන්, මිතුරන් ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන්නන් සහ සියලූම සිම්බාබ්වේ වැසියන්ගෙන් මම සමාව අයැද සිටිනවා.

කිසිම තරගයක් අතරතු රදී මම තරග පවා දීමට, එහි තරග සැලැස්මේ තොරතුරු ලබා දීමට හෝ ක්‍රීඩාවට බලපෑම් එල්ල කරන ආකාරයෙන් කටයුතු නොකළ බව ප්‍රකාශ කරන්න කැමතියි.

මා දැනුවත්ව හෝ නොදැනුවත්ව කළ වරද පිළිගැනීම වර්තමාන සහ අනාගත පාර්ශවයන්ට ආදර්ශයක් වනු ඇතැයි මම විශ්වාස කරනවා” යැයි ඔහු ප්‍රකාශ කළා.

වසර 12ක ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය තුළ දී කඩුලු 455ක් දවා ගැනීමට සමත් වූ Heath Streak සිම්බාබ්වේ හී විස්සයි විස්ස ලීගයක් පිහිටුවීමේ දී සිදු වූ චෝදනාවන් කිහිපයක් පිළිගත් නමුත් ඔහු සමඟ සිටි පුද්ගලයා ඔට්ටු ඇල්ලීමට සම්බන්ධ අයෙකු බව ඔහු නොදත් බව ප්‍රකාශ කර තිබුණා.

“2017 වසරේ දී මට අප්‍රිකාවේ ක්‍රිකට් ආයෝජනයකට කැමති පුද්ගලයෙක් මුණගැසුනා, ඔහුට ඕන වුනේ සිම්බාබ්වේ තුළ විස්සයි විස්ස ලීගයක් පවත්වන්න. එය Safari Blast ලෙස හැඳින්වුවා. 

පසුව එම පුද්ගලයාව අදාළ ක්‍රමයන් ඔස්සේ පරික්ෂා කර බලලා ඔහු සමඟ ඇති මිත්‍රත්වය සහ හවුල් ව්‍යාපර සම්බන්ධතාව වර්ධනය වෙද්දී මම මගේ ආරක්ෂාව ගැන එච්චර හිතන්න ගියේ නැහැ. අපගේ සම්බන්ධතාවය සෑම විටම සුහදශීලී සහ සහෝදර බැදීමක් වුනා.

තවත් ක්‍රිකට් පුවත්:

මම අවංකවම එයා විශ්වාස කළා. මෙය මට මෙන්ම සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩාවට ද ඉතා ප්‍රයෝජනවත් දෙයක් කියලා මම හිතුව නිසා එම කටයුතු ඉක්මනින් වර්ධනය කරමින් ඉදිරියට ගෙන ගියා.

ආරම්භයේ දී මම ඔහුට විවිධ කලාපීය කණ්ඩායම් මිල දී ගැනීමට සහයෝගය දුන් අතර බිට්කොයින් මගින් ගෙවීම් සිදු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට ඩුබායි හී කණ්ඩායමක් මිල දී ගැනීමට ද හැකි වුනා.

බොහෝ කලක මිත්‍රත්වයෙන් පසු මට ලැබුණු එකම දෙය විස්කි බෝතලයක් වන අතර මගේ බිරිඳට මිල අධික දුරකතනයක් තෑග්ගක් ලෙස ලැබුණා. මාස කිහිපයකට පසු අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මා වෙත ප්‍රකාශ කළ මා එම පුද්ගලයාට ප්‍රකාශ කළ ඇතැම් කරුණු ඔහු විද්යුත් තාක්ෂණය ඔස්සේ ඔට්ටු ඇල්ලීමට භාවිතා කරලා කියලා” යැයි ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම Heath Streak අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඉගැන්වීම්වලට සහය වීමට ද කැමැත්ත පළ කර ඇති අතර ඔහු ප්‍රකාශ කළේ එය තුළින් මීළඟ පරම්පරාවේ ක්‍රීඩකයන් හට සහ පරිපාලකයන් හට ඉදිරියේ දී සිදු විය හැකි අන්තරාවන් දැකීමට සහ ඔවුන්ගේ ක්‍රියාවන්හී බරපතළ ප්‍රතිවිපාක තේරුම් ගැනීමට හැකියාව ලැබේ යන්නයි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <