2023 Dialog පාසල් රග්බි ලීග් තරගාවලිය ජුනි 14 වැනිදා ඇරඹෙයි

Dialog Schools Rugby League 2023

1781

2023 Dialog පාසල් රග්බි ලීග් තරගාවලිය ජුනි 14 වැනිදා සවස 3.30ට මහනුවර බෝගම්බර පිටියේ දී ආරම්භ වීමට නියමිතයි.

එහි පළමු අදියරේ ‘A’ කාණ්ඩයෙන් තරග වදින මරදාන සාන්ත ජෝසප් විදුහල සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහල අතර පැවැත්වීමට නියමිත තරගයෙන් තරගාවලියේ සමාරම්භය සනිටුහන් වන අතර, එහි දෙවැනි තරගය ජුනි 17 වැනිදා පස්වරු 3.45ට කොළඹ වෙස්ලි විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියට සහභාගී වන විදුහල්වල වත්මන් සිසුන්, ආදී සිසුන්, දෙමාපියන්, ක්‍රීඩාවට දිරිය හා සහාය ලබා දෙන සියලු පාර්ශව, තරගාවලිය වෙනුවෙන් සුබ පැතුම් එක් කරන සැමදෙනා හා සුවහසක් රග්බි ක්‍රීඩාලෝලීන්ගේ ආස්වාදය වෙනුවෙන් මෙම තරගාවලිය ThePapare.com වෙබ් අඩවිය, Dialog VIU mobile app සහ Dialog TV නාලිකා අංක 126 ඔස්සේ සජීවීව විකාශය කිරීමට තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා වන Dialog Axiata සමාගම කටයුතු සූදානම් කර තිබෙනවා.

මේ අතර 2023 Dialog පාසල් රග්බි ලීගය පළමු අදියරේ ‘A’ කාණ්ඩයේ තරගාවලිය වෙනුවෙන්, ඉකුත් වසරේ තරගාවලියේ දී පළමු අදියරේ ‘B’ කාණ්ඩයේ සිට උසස්වීම් ලැබූ කොළඹ සහිරා විද්‍යාලය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය නව කණ්ඩායම් දෙකක් ලෙස ඉකුත් වසරේ කණ්ඩායම් 12 හා එක්වනවා.

2023 තරග වාරය තරග 42කින් සමන්විත වන අතර සති 11කට පසුව Dialog පාසල් රග්බි පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය මධ්‍යස්ථ ක්‍රීඩා පිටියක දී පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය කටයුතු සූදානම් කර තිබෙනවා.

2022 Dialog පාසල් රග්බි ලීග් තරගාවලියේ පළමු අදියරේ ‘A’ කොටසේ ක්‍රීඩා කරමින් මෙවර තරගාවලියට පිවිසෙන සෙසු පාසල් 12 වනුයේ, කොළඹ ඉසිපතන විදුහල, කොළඹ රාජකීය විදුහල, බම්බලපිටිය සාන්ත පීතර විදුහල, මරදාන සාන්ත ජෝසප් විදුහල, කොළඹ වෙස්ලි විද්‍යාලය, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, ගල්කිස්ස විද්‍යා විද්‍යාලය, මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය, කටුගස්තොට සන්ත අන්තෝනි විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයයි.

මීට අමතරව පළමු අදියරේ ‘B’ සහ ‘C’ කාණ්ඩවලින් තවත් පාසල් 24ක් ද, දෙවැනි අදියර සහ තෙවැනි අදියර ලෙස තවත් පාසල් 29ක් ද Dialog පාසල් රග්බි ලීග් තරගාවලියේ අදාළ කාණ්ඩවල ප්‍රමුඛතම ස්ථාන වෙනුවෙන් තරග වදිනු ඇත.

ශ්‍රී ලංකාවේ අංක 1 පාසල් රග්බි තරගාවලිය වන Dialog පාසල් රග්බි ලීග් තරගාවලියේ, ඉකුත් වසරේ තරගාවලියේ දී මෙරට පාසල් රග්බි පිටියේ ඉහළින්ම සිටින කණ්ඩායම්වල කරට කර සටන්වලින් අනතුරුව, රග්බි පිටියේ සිය ආධිපත්‍යය තවදුරටත් පිළිබිඹු කරමින්, Dialog පාසල් රග්බි ලීග් තරගාවලියේ මෙන්ම, Dialog පාසල් රග්බි පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ ද ශූරයන් බවට පත්වීමට ඉසිපතන විදුහල සමත් වුනා.

කොළඹ ඉසිපතන විදුහල, බම්බලපිටිය සාන්ත පීතර විදුහල, මරදාන සාන්ත ජෝසප් විදුහල, කොළඹ රාජකීය විදුහල, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය මෙවර තරගාවලියේ දී ප්‍රබල පෙළේ තරගකරුවන් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

කොරෝනා වසංගතයෙන් පසුව පාසල් විසින් පූර්ණ තරග වාරයක් ක්‍රීඩා කරන පළමු තරගාවලිය බවට පත්වන මෙවර තරගාවලිය නැරඹීම සඳහා ඉදිරි මාස තුනේ දී විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් එක්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. පාසල් රග්බි සංගමයට මෙන්ම, ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට, විශේෂයෙන්ම මෙවැනි අභියෝගාත්මක ආර්ථික වටපිටාවක් මධ්‍යයේ සහාය දැක්වීමට ඉදිරිපත් වීම වෙනුවෙන් අපේ ප්‍රධාන අනුග්‍රාහකයා වන Dialog Axiata සමාගමට මම ස්තුතිවන්ත වෙනවා,” යැයි ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ සභාපති කමල් ආරියසිංහ මහතා පැවසුවා.

“ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් උනන්දුවක් දක්වන තරගාවලි අතරින් එකක් ලෙස පාසල් රග්බි හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයට මෙවර පූර්ණ පාසල් ලීග් රග්බි තරග වාරයක් සංවිධාන කිරීමට හැකි වීම පිළිබඳව අපේ සතුට පළ කරන අතරම, මෙය ක්‍රීඩාවේ වර්තමානයටත්, අනාගතයටත් සුවිශාල ප්‍රබෝධයක් ගෙන දෙන්නට පිටිවහලක් වනු ඇති,” යැයි Dialog Axiata PLC හි සන්නාම සහ මාධ්‍ය අංශයේ උප සභාපති හර්ෂ සමරනායක මහතා පැවසීය.

“ශ්‍රී ලංකාවේ අනාගත ශූරයන්ට අත හිත දෙමින් ඔවුන්ට ශක්තියක් වීම අපේ හදවතට ඉතා සමීප කර්තව්‍යයක්. ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයටත්, තරග වදින සියලු පාසල් ක්‍රීඩකයන්ටත් 2023 තරග වාරය වෙනුවෙන් අපගේ උණුසුම් සුබ පැතුම් එක්කරනවා,” යැයි ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියා.

Dialog Axiata ජාතික ක්‍රිකට්, දැල්පන්දු, වොලිබෝල් සහ Esports කණ්ඩායම් හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන අතර ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කනිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ දැල්පන්දු තරගාවලි, ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාව, යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය, ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<