මහීෂ් සහ මතීෂ චෙන්නායි Play-Off වෙත රැගෙන යයි!

IPL 2023

2902

2023 IPL තරගාවලියේ Play-Off තරග වටයට සුදුසුකම් ලැබූ දෙවැනි කණ්ඩායම බවට පත්වීමට Chennai Super Kings අද (20) සමත් වුනා.

තරගාවලියේ 67 වැනි තරගය ලෙස Delhi Capitals සහ Chennai Super Kings කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයෙන් පහසු ජයග්‍රහණයක් ලබා ගැනීම සමඟිනුයි චෙන්නායි විසින් මෙම කඩඉම පසු කර යෑමට සමත් වුනේ.

දිල්ලියේ Arun Jaitley ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය චෙන්නායි නායක MS Dhoni සතු වූ අතර පළමුව පිතිකරණයේ යෙදීමට ඔහු විසින් තීරණය කළා.

Conway සහ Gaikwadගෙන් විශිෂ්ට ආරම්භයක්

මෙවර තරගාවලියේ වඩාත් සාර්ථක ම ආරම්භක පිතිකරු යුගලයක් ලෙස හඳුන්වා දිය හැකි Devon Conway සහ Ruturaj Gaikwad විසින් මෙවරත් චෙන්නායි ඉනිමට ඉතාමත් ශක්තිමත් අඩිතාලමක් සැපයීමට සමත් වුනේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 141ක විශිෂ්ට සබඳතාවක් පිහිටුවමිනුයි.

මෙහි දී තමන් ක්‍රීඩා කළ අවසන් තරග කිහිපයේ යම් පසුබෑමක් පෙන්නුම් කළ Gaikwadගේ පිත්ත නැවතත් ක්‍රියාත්මක වූ අතර, ඔහු ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී යන්නේ ලකුණු 79ක් ලබා ගැනීමෙන් පසුවයි.

Gaikwadගේ මෙම ඉනිමට දැවැන්ත හයේ පහර 7ක් අන්තර්ගත වුනා. Gaikwadගේ දැවී යාමෙන් පසුව පිතිකරණ අනුපිළිවෙළේ උසස් වීමක් සමඟින් ලකුණු වේගය ඉහළ දැමීමේ අභිප්‍රායෙන් යුතු ව Shivam Dube පිටියට පිවිසි අතර ඔහු ඊට සාධාරණය ඉටු කළේ පන්දු 9කින් ලකුණු 22ක් ලබා ගනිමිනුයි.

ඒ වෙනුවෙන් Dube විසින් හයේ පහර 3ක් එල්ල කළ අතර, මේ වන විට තරගාවලියේ දෙවැනියට වැඩි ම හයේ පහර (33ක්) එල්ල කළ පිතිකරුවා ලෙසයි ඔහු රැඳී සිටින්නේ.

නමුත් චෙන්නායි ලකුණු පුවරුවේ ලකුණු 195ක් සටහන් වන විට Dubeව දවා ගැනීමට Khaleel Ahmed විසින් සමත් වූ අතර ඉනිමට තවත් එකඳු ලකුණක් හෝ එක් වීමට පෙර මෙතෙක් වෙලා චෙන්නායි වෙනුවෙන් තවත් විශිෂ්ට ඉනිමක් දියත් කළ Conwayව ලකුණු 87කට දවා ගැනීමට Anrich Nortje විසින් සමත් වුනා.

Conwayගේ මෙම ඉනිමත් සමඟ ඔහු මෙවර තරගාවලියේ තෙවැනියට ඉහළ ම ලකුණු ලාභියා (ලකුණු – 585) ලෙස සිය නම සටහන් කර ගැනීමටත් සමත් වුනා.

Dhoni-Jadeja යුගලය නැවතත් පිටියේ එකට

ඉන්දියාවේ කුමන ක්‍රීඩාංගණයේ IPL තරගයක් පැවැත්වුනත් එයට Dhoni සහභාගී වෙනවා නම්, දැකීමට හැකියාව ලැබෙන අති මහත් ප්‍රේක්ෂක සහභාගීත්වය අද දිනයේ දිල්ලියේ දී ද දකින්නට ලැබුණා.

එම ප්‍රේක්ෂක බලාපොරොත්තු මල් ඵල ගන්වමින් Dhoni විසින් මෙම ඉනිමේ ද අවසන් පන්දු කිහිපය වෙනුවෙන් පිටියට පිවිසුණා. එමෙන්ම ඔහු විසින් සිය අතිජාත මිතුරා Ravindra Jadeja සමඟ චෙන්නායි ඉනිම අවසන් වන තුරු නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් චෙන්නායි ලකුණු පුවරුව ලකුණු 223ක් දක්වා ඉහළට එසවීමට ද සමත් වුනා.

මෙහි දී Dhoniට පිත්තෙන් වැඩි යමක් කිරීමට නොහැකි වුනත් Jadeja විසින් පන්දු 7කට පමණක් මුහුණ දෙමින් ලකුණු 20ක් ලබා ගැනීමට සමත් වුනා. චෙන්නායි කණ්ඩායමට එරෙහිව දිල්ලියෙන් එතරම් හොඳ තත්වයේ පන්දු යැවීමක් දක්නට නොලැබුණු අතර Chetan Sakariya විසින් සිය පන්දුවාර හතර තුල ලකුණු 36කට එක් කඩුල්ලක් බිඳ හෙළීම ඔවුන්ගේ සාර්ථක ම පන්දු යැවීම ලෙස සඳහන් කළ හැකියි.

චෙන්නායි අභියෝගයට දිල්ලියෙන් සුපුරුදු දුර්වල ආරම්භය නැවතත්

මෙවර තරගාවලිය පුරාවට ම දිල්ලියෙන් ප්‍රදර්ශනය වූ දුර්වල ආරම්භය මෙවරත් ප්‍රදර්ශනය කරමින් චෙන්නායි ඉනිමට පිළිතුරු සැපයීමට උත්සාහ කළ දිල්ලි ඉනිමේ මුල් කඩුලු 3 ම ලකුණු 26කට දැවී ගියා.

එමෙන් ම මෙම දැවී ගිය කඩුලු 3න් දෙකක ම අයිතිය Deepak Chahar සතු වුනා. පසුව දිල්ලියේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ ස්ථාවර වීමට David Warner සහ Yash Dhull විසින් උත්සාහ ගත් නමුත් එය ද එතරම් සාර්ථක එකක් වුනේ නැහැ.

ලකුණු 13ක් ලබා සිටි Dhullගේ කඩුල්ල Jadeja හමුවේ දැවී යද්දී, ඉන්පසුව පිටියට පිවිසි Axar Patel නැවත ක්‍රියාත්මක වූ Chahar හමුවේ දැවී ගියා. මේ අයුරින් එක් පසකින් දිල්ලියේ කඩුලු එකින් එක බිඳ වැටෙද්දී තම කණ්ඩායමේ ගෞරවය රැක ගැනීමේ ඉනිමක් දියත් කිරීමට නායක Warner විසින් සමත් වුනා.

මහීෂ් සහ මතීෂගෙන් විශිෂ්ට පන්දු යැවීමක්

කෙසේ වෙතත් සුපුරුදු පරිදි චෙන්නායි නායක Dhoni විසින් දිල්ලි ඉනිමේ අවසන් පන්දුවාර කිහිපය යැවීමට මතීෂ පතිරණට භාර දුන් අතර ඔහු විසින් සිය වගකීම අකුරට ම ඉටු කිරීමට අද දිනයේ ද සමත් වුනේ නියමිත පන්දුවාර 4ම ලකුණු 22ක් පමණක් ලබා දෙමින් ක්‍රියාත්මක කිරීමත් සමඟයි.

මෙහි දී ඔහු විසින් දිල්ලියේ කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වූ අතර එයින් එක් කඩුල්ලක් ඉදිරියේ දිල්ලි ගැලවුම් කරුවා වෙමින් ලකුණු 86ක් රැස් කිරීමට සමත් වූ David Warnerගේ නම සටහන් වී තිබුණා.

එමෙන් ම දිල්ලි ඉනිමේ අවසන් පන්දුවාරය යැවීමේ වගකීම මහීෂ් තීක්ෂණට බාර වුනු අතර ඔහු විසින් එම පන්දුවාරයේ කිසිදු ලකුණක් ලබා නොදී දිල්ලියේ තවත් කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

ඒ අනුව දිල්ලි ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 146කට සීමා වූ අතර, මහීෂ් ගේ පන්දු යැවීම සටහන් වී තිබුණේ ලකුණු 23කට කඩුලු 2ක් ලෙසයි.

දිල්ලිය වෙනුවෙන් Warner හැරෙන්නට වෙනත් කිසිදු පිතිකරුවෙකු හෝ සාර්ථක ඉනිමක් ගොඩ නැගීමට සමත් වුනේ නැහැ.

  • Chennai Super Kings 223/3 (20) Devon Conway 87, Ruturaj Gaikwad 79, Chetan Sakariya 1/36
  • Delhi Capitals 146/9 (20) David Warner 86, Maheesh Theekshana 2/23, Matheesha Pathirana 2/22, Deepak Chahar 3-22

තරගයේ වීරයා සම්මානය Ruturaj Gaikwad හට හිමි වුනා.

මේ අනුව Delhi Capitals කණ්ඩායමට එරෙහි ව ලකුණු 77ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළ Chennai Super Kings මෙවර IPL තරගාවලියේ Play-Off තරග වටයට සුදුසුකම් ලැබූ අතර මේ වන විට ඔවුන් ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා.

එමෙන් ම මේ වන විට පැවැත්වෙන Lucknow Super Giants සහ Kolkata Knight Riders කණ්ඩායම් අතර තරගයේ තීරණය අනුව චෙන්නායි කණ්ඩායම ලකුණු සටහනේ ලබා ගන්නා ස්ථානය ස්ථීරව ම පැවසීමට හැකියාව ලැබෙනු ඇති.

මෙවර IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<