‘Kohilට පක්ෂව සහ විපක්ෂව ක්‍රීඩකයින් පිල් බෙදිලා’ – Shoaib Akhtar

178

මේ දිනවල ක්‍රියාත්මක වන විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ඉන්දීය කණ්ඩයම සුපුරුදු දස්කම් අතරට පිවිසීමට අසමත්ව තිබීම බොහෝ කතාබහට ලක්ව තිබෙනවා. ඉන්දීය කණ්ඩායම අසාර්ථක වීම ගැන අදහස් දක්වමින් පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Shoaib Akhtar පවසා සිටියේ ඉන්දීය කණ්ඩායම කොටස් දෙකකට බෙදී සිටින බව පෙනෙන්නට තිබෙන බවයි.

අඛණ්ඩව දෙවැනි පරාජයටත් මුහුණ දෙමින් නවසීලන්තය හමුවේ කඩුලු 8කින් පරාජය වන්නට ඉන්දියාවට සිදු වුනා. ඔවුන් සිය පළමු තරගයේ දී පාකිස්තානය හමුවේ පරාජය වුනේ කඩුලු 10කින්.

Youtube සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් Akhtar පවසා සිටියේ ඉන්දීය කණ්ඩායම දෙකට බෙදී සිටින බව පෙනෙන්නට තිබෙන බවයි. ඉන්දීය නායක Virat Kohliට විරුද්ධව හා පක්ෂව මෙලෙස ක්‍රීඩකයින් කල්ලි ගැසී ඇති බව Akhtar පවසා සිටිනවා.

තවදුරටත් අදහස් දක්වමින් Akhtar පවසා සිටියේ පළමු තරග දෙකේ දී Kohli එතරම් හොඳින් තීරණ නොගත්තත්, Kohli ඉතා විශිෂ්ට ක්‍රීඩකයෙක් බවත්, අනෙක් ක්‍රීඩකයින් ඔහුට ගරු කළ යුතු බවත්ය.

“මට පෙනෙන්න තියෙනවා ඉන්දීය කණ්ඩායම දෙකට බෙදිලා කියලා. එක් කණ්ඩායමක් Kohli සමඟ ඉන්නවා අනෙක Kohliට විරුද්ධව ඉන්නවා. එක හරිම පැහැදිලි. මම දන්නේ නැහැ ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා. මම හිතන්නේ මේ නායකයෙක් ලෙස ඔහුගේ අවසන් ලෝක

කුසලානය නිසා වෙන්න පුළුවන්. සමහර විට ඔහු ගත්ත වැරදි තීරණ නිසා වෙන්න පුළුවන්. නමුත් ඔහු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක්. අපි ඔහුට ගරු කරන්න ඕනේ”, Akhtar පවසා තිබුණා.

කාසියේ වාසිය පරාජය වූ පසුව ඉන්දීය ක්‍රීඩකයින් අලස ස්වභාවයෙන් සිටීම ද Akhtar විවේචනය කර තිබුණා.

“විවේචන භාරගැනීම වැදගත්. මොකද ඔවුන් නවසීලන්තයට එරෙහිව එතරම් හොඳින් ක්‍රීඩා කළේ නැහැ. තරගයේ කාසියේ වාසිය පැරදුණාට පස්සේ හැමෝම බිම බලාගෙන සිටියේ.”

“ඔවුන්ට කිසිම අදහසක් තිබුණේ නැහැ. ඔවුන් ඒ වෙලාවේ කාසියේ වාසිය විතරයි පරාජය වෙලා තිබුණේ. මුළු තරගයම නෙවේ. ඔවුන්ට කිසිම තරග සැලැස්මක් තිබුණේ නැහැ.”

ඉන්දියාව හෙට (03) ඇෆ්ගනිස්තානය සමඟින් තරග වැදීමට නියමිතයි.

Hindustan Times ඇසුරින්

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<