දසප්‍රයාමයේ “පුලතිසි වීරයා

296

නිමා වූ 98 වැනි ජාතික ශූරතා මලල ක්‍රීඩා උළෙලේ දසප්‍රයාම ඉසව්වේ රන් පදක්කම මෙවරත් හිමිකර ගැනීමට සමත් වූයේ අජිත් කුමාර කරුණාතිලක විසිනි. ශ්‍රී ලංකා වාර්තාව 9 වතාවක් අලුත් කිරීමට සමත් වූ මේ ක්‍රීඩකයා ගැන ThePapare.com තබන සටහනක් මේ.

කොරෝනා ප්‍රශ්නය නිසා පහුගිය කාලෙ වැඩි හරියක්ම ගමේ හිටියේ. මේ නිසා පුහුණුවීම් මඟ හැරුණා. සති තුනක් පමණ තියෙද්දී තමයි කිව්වේ මීට් එක තියෙනවා කියලා. ගෙදර දී පුළුවන් ආකාරයෙන් පුහුණුවීම් කළා. ඒත් අවශ්‍ය කිසිවක් තිබුණෙ නැහැ. උපරිම දවස් 25ක් විතර තමයි පුහුණුවීම් වෙන්න වුනේ. තරගයේ රිටි පැනීමෙන් පොඩි පසු බෑමක් වුනා. ඒත් දුර පැනීමෙන් සහ යගුලිය දැමීමෙන් ටිකක් ඉස්සරහට ආවා. මේ නිසා මට මේ පාරත් ලකුණු7000 පහුකරන්න පුළුවන් වුනා. දැක්වූ දක්ෂතාව ගැන සෑහීමකට පත් වෙනවා. මොකද ඉතා කෙටි කාලයකින් තමයි මේ හැම දේකටම සූදානම් වුනේ. සතුටුයි” අජිත් කුමාර අප සමඟ කතා බහට එක්වෙමින් පැවසුවා.

දසප්‍රයාම ඉසව්ව පුද්ගලයකුගේ වේගය, ශක්තිය, දක්ෂතාවය, දරා ගැනීමේ හැකියාව සහ පෞරුෂත්වය පරීක්ෂා කිරීම සඳහා පැවැත්වෙන ඉසව්වක්. ඊට පිළිවෙළින් මීටර් 100, දුර පැනීම, යගුලිය දැමීම, උස පැනීම, මීටර් 400, මීටර් 110 කඩුලු පැනීම, කවපෙත්ත දැමීම, රිටි පැනීම, හෙල්ල විසිකිරීම සහ මීටර් 1500 යන ඉසව්වලින් සමන්විතයි. දසප්‍රයාම ඉසව්ව මෙරටට තරමක් ආගන්තුක ඉසව්වක්. එය විධිමත්ව මෙරට ආරම්භ කිරීමෙන් පසු මෙරටට ජාත්‍යන්තර පදක්කමක් හිමි වෙන්නේ වසර 9කට පස්සේ. එහි අයිතිකාරයා වන්නේත් අජිත්.

අජිත් මේ දක්වා මේ ඉසව්ව නියෝජනය කරමින් විදෙස් සංචාර කිහිපයකට සහභාගී වී තිබෙනවා. ඔහුගේ මුල්ම සංචාරය පෙර කී තායිලන්ත සංචාරය. ඒ 2017 වසරේ දී. ඊට පසුව 2018 වසරේ දී ඉන්දුනීසියා විවෘත මලල ක්‍රීඩා උළෙලට සහභාගී වෙන අතර එහි රිදී පදක්කම දිනා ගන්නවා. අවසන් වරට අජිත් 2019 අවුරුද්දේ ඉන්දියා විවෘත මලල ක්‍රීඩා උළෙලට සහභාගී වෙනවා. එහිදීත් අජිත් රිදී පදක්කම දිනා ගන්නවා.

මේ හැම තරගයක දී ම පළමු තුන් දෙනා අතර ලකුණු පරතරය ඉතා ළඟ ළඟින් වෙනස් වුනේ. විදෙස් ක්‍රීඩකයන් හා ගත්තහම අපිට තිබෙන්නේ අඩු පහසුකම්. නමුත් එහෙම වුනා කියලා, මේ ඉසව්ව අපිට අත හරින්න බැහැ. ඉස්සර මේ ඉසව්වේ දී ලකුණු 6000ක් ලබා ගන්නෙ ඉතාම කලාතුරකින්. දැන් එහෙම නැහැ. හොඳ තරගකාරීත්වයක් මෙරට ක්‍රීඩකයන් අතරත් තියෙනවා. ඒ තත්ත්වය තව දුරටත් රැක ගන්නවා නම් අනාගතයේ දී මේ ඉසව්වේ මීට වඩා ජාත්‍යන්තර පදක්කම් දිනා ගන්න පුළුවන්” අජිත් පවසනවා.

මේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවේ හිමිකාරීත්වයත් අජිත් සතුයි.  ඔහු ලකුණු 7356ක් වාර්තා කරමින් එහි අයිතිය සතු කරන ගන්නේ 2018 වසරේ දී කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති 96 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ දී.

අජිත්ගේ ගම පොළොන්නරුව, පහළ ඇල්ලේ වැව කියන මායිම් ගම්මානය. ආර්. කරුණාදාස කියන පියාගේත් ඒ. නන්දාවති කියන මෑණියන්ගේත් 7 වැනි දරුවා වන්නේ අජිත්. අජිත්ට වැඩිමහල් අයියලා දෙන්නයි, අක්කලා හතර දෙනයි. ඒ හතර දෙනාගෙන් තුන් දෙනෙක්ම නිවුන්නු. මොවුන්ගේ පවුලේ ජීවිකාව වුනේ ගොවිතැන.

දන්න කියන කාලේ සිටම ගොඩක් කරදර හිරිහැරවලට මුහුණ දුන්නා. මම පවුලේ බාලයා නිසා හැමෝගෙම ආදරේ ලැබුණා. ටොපියක්, ලොසින්ජරයක් ලැබුනත් මුලින්ම ලැබුණෙ මට. පාසල් යන එක වුනත් පිළිවෙළකට කරගන්න හැකි වුණේ මට. ඒ ලොකු අය මා වෙනුවෙන් තමන්ගේ දේවල් කැප කළ නිසා.”

අජිත්ගේ පාසල මඟුල් දමන විද්‍යාලය. දිඹුලාගලට කිට්ටුව තිබුණ කුඩා පාසලක්. අජිත්ලගේ ගෙදර සිට කිලෝ මීටර් 3ක් විතර දුර යන්න ඕන. අජිත් මේ දුර පයින්ම තමයි ගෑටුවේ. ඒත් ඉතිං, අජිත්ලට දිනපතා පාසලට නම් යන්න ලැබෙන්නේ නැහැ. ඒ අජිත්ලට දවස උදා වෙන්නේ මොකක් හෝ මූසල කතාන්දරයක් අහන්න ලැබෙන නිසා. ප්‍රවෘත්තිය, ඔවුන්ගේ හෝ ඒ අවට ගමකට කඩා වැඳුණ වන අලින් ගැන. මේ නිසා උදේ හවස අලින්ගෙන් මුහුණ දුන් කරදරය අජිත්ලට අලි කරදරයක් වුනා. ඒක පාසල් ගමනටත් විශාල බාධාවක් වුනා.

පාසල් යන්න නම් ගෙදරින් පාන්දරින්ම යන්න ඕන. අපිට කොහොමටත් දවස උදා වෙන්නේ ගොඩක් වේලාසනින් කුකුළා අඬලන්නත් කලින්. තාත්තා උදේ පාන්දර නැගිටල වගාබිම්වල රවුමක් යනවා. ඒ අතර අලි කරදරයක් වෙලා නම් ආරංචිය ලැබෙනවා. එහෙම නොලැබුණ දවස්වලට තමයි මම පාසල් ගියේ. අලි කරදරවලට නම් අපි ගොඩක් මුහුණ දීලා තියෙනවා. තවමත් තියෙනවා. මෑතකදිත් අපේ ගෙදරට ආවා.”

දුෂ්කර ක්‍රියාවන් කරමින් පාසල් ආ අජිත්ට පාසල් පෙළ පොත් එච්චරටම හිතට අල්ලන්නෙ නැහැ. නමුත් ලැබෙන හැම දවසකම අජිත් පාසල් එනවා. අජිත්ගේ දෙමාපියන්ට අජිත්ගේ අධ්‍යාපන කටයුතු ගැන සොයන්න එතරම් දැනීමකුත් නැහැ. සහෝදර, සහෝදරියන් ද ජීවන බරට උර දීපු නිසා කාර්ය බහුලයි.

ඔය කාලෙ අපේ පාසලට ආවා ගුණතිලක කියල සර් කෙනෙක්. සර් ක්‍රීඩා කරන්න කට්ටිය තෝර ගත්තා. මමත් ඔය ගොඩට ගියා. මුලින් මුලින් දුවන ඒව කළා. සර් රිටි පැනපු කෙනෙක්. දවසක් සර් රිටි පැන්නා. මේක මගේ හිතට අල්ලල ගියා. මමත් රිටි පැනීම තෝරා ගත්තා.”

කවදාවත් දැකපු නැති රිටි පැනීමේ ඉසව්ව අජිත්ල තෝර ගන්නේ අලුතින් ආපු ගුණතිලක සර් ගැන විශ්වාසෙකුත්, අහසට ගොස් නැවත බිමට ඒම මහා වීරකමකුත් ලෙස හිතාගෙන. ඒත් ඉතිං ඔවුන්ට වැඩේ කරගෙන යන්න තරම් අවශ්‍ය උපකරණ තිබුණෙ නැහැ. ගුණතිලක සර් මුලින්ම රිටි පැනල පෙන්නපු යකඩ බටය තමයි ඔවුන්ට තිබුණ එකම සම්පත.

අජිත්ල එකතු වෙලා, වලකට දහයියා පිරෙව්වා. කරු තිබෙන සේ කපා ගත් උණ බට දෙකක් දෙපැත්තේ හිටෙව්වා. සීමාවට සැහැල්ලු කෝටුවක් සොයා ගත්තා. තවත් උණ බටයක් රිටට යොදාගත හැකි පරිදි සකසා ගත්තා. ඒක තමයි අජිත්ලගේ රිටි පැනීමේ පුහුණු බිම වුනේ.

අපි එහෙම පුහුණු වෙලා කලාප තරගවලට, පළාත් තරගවලට පවා සහභාගී වුනා. ඒවට අරගෙන ගියේ අර පාසලේ තිබුණ යකඩ බටේ. සමස්ත ලංකා තරගාවලියට යන්නත් අපි සුදුසුකම් ලබා ගත්තා. එක පාරක් ගියා. ඒත් ප්ලේස් නැහැ. සුගතදාස එකේ තිබුණ ඒ තරගයටත් අපි පැන්නේ අර යකඩ බටෙන්ම තමයි. අපි මුලින් ම ෆයිබර් රිටි දැක්කෙ එදා. ආසයි. අපි ගිහිල්ලා ඒ රිටි අතගාල එනවා. ඒත් කිසිම කෙනෙක් අපිට ඒකෙන් පනින්න කියල දුන්නෙ නැහැ. අපිට ඉල්ලන්න තරම් හයියකුත් තිබුණෙ නැහැ. බනියි කියන බයයි තිබුණෙ.”

ආසාවට රිටි පනින්න ආවත්, එතැනින් එහාට ගමනක් ගැන අජිත්ට පේන්න තිබුණෙ නැහැ. අජිත්ට විතරක් නෙමේ ගෙදර අයටත් එහෙමයි. ඒ වෙද්දී පාසල් ගමනත් නතර කරන තරමට ආර්ථික අපහසුතා අජිත්ල වෙලාගෙන හිටියේ. ඒ

ගුණතිලක සර්ගෙ ගම දිගන. සර්ගෙ මාර්ගයෙන් මටත් යාලුවෙක්ටත් වලල එස්. රත්නායක විද්‍යාලයට යන්න ශිෂ්‍යත්වයක් ලැබෙනවා. මේක පාසල් ගමන නතර කරන්න හිටපු මට නැවත පාසල් ගමන ගැන ආසාවක් ඇති කරපු පණිවුඩයක් වුනා. ගෙදර අය වුනත් අකමැත්තක් දැක්වුවේ නැහැ. මම 2009 අවුරුද්දේ වලලට ආවා.”

එහෙම වලලට ආපු අජිත් පුහුණුවීම් කරන්නේ සුසන්ත ප්‍රනාන්දු මහතා යටතේ. මඟුල් දමනෙදි උණ බට ලීයෙන් දහයියා ගොඩකට පැන්න අජිත් වලල දී හොඳ පහසුකම් යටතේ තම පුහුණුවිම් ආරම්භ කරනවා. එහෙම කරල සහභාගී වූ පළමු වැනි තරගය වන 2010 ජාතික කනිෂ්ඨ තරගාවලියේ දී අජිත් රන් පදක්කම දිනා ගන්නවා. ඊට පසුව පැවති ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේදීත් රන් පදක්කම දිනා ගැනීමට අජිත් සමත් වෙනවා.

“2009 වලලට ආපු මම 2011 දී වලලෙන් අයින් වෙනවා. ඒකට ප්‍රධාන හේතුව වුනේ ඒ වෙද්දී ආර්ථික අතින් ගොඩක් දුෂ්කර කාලයක් ඒ වෙන විට උදා වී තිබුණ නිසා. ඒ වෙද්දී මම සමස්ත ලංකා මීට් එකේ හතර වැනි තැන දිනාගෙන වර්ණ සහතිකයකුත් දිනාගෙන තිබුණා. නමුත් මට ඊට වඩා ජොබ් එකක් කරල අම්මට තාත්තට සහයෝගයක් දෙන්න පුළුවන් නම් කියන අදහස ඉස්සරහට ඇවිත් තිබුණා.”

පාසලෙන් අයින් වෙන අජිත් එම අවුරුද්දේ ම කොළඹ එනවා නිවාඩු නිකේතනයක රැකියාවක් සඳහා. එතැන අජිත්ට නිශ්චිතව කරන්න කියල දෙයක් තිබුණෙ නැහැ. පිරිසිදු කිරීමේ සිට සෑම දෙයක්ම අජිත් කළා. අජිත් මේ දේවල් රිටි පැනීමේ පුහුණු වුනා වගේම උනන්දුවෙන් කළා.

වලලෙදි මමත් ඉඳුනිල් හේරතුත් එකට හිටියේ. ඔහු ආමි එකට යද්දී මාව රෙස්ට්ටුරන් එකට ඇවිත් හමුවෙලා ගියා ආමි එකට ගන්න කතා කරන්නම් කියලා. ඒ කිව්ව විදිහටම මම 2012 දී ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවට එක් වෙනවා.”

තවත් විශේෂාංග ලිපි:

අජිත් යුද හමුදාවට එක් වෙන්නේ රිටි පැනීම සඳහා. ඔහු මේ වෙනුවෙන් රෝහිත ප්‍රනාන්දු මහතා යටතේ පුහුණුව ලබනවා. සහභාගී වූ පළමු තරගාවලිය වන යුද හමුදා ආධුනික තරගාවලියේ දී දෙවැනි ස්ථානය දිනා ගන්නවා. ඊට පස්සේ අවුරුද්දේ දී කකුලේ ඇති වන ආබාධයක් හේතුවෙන් රිටි පැනීමේ ඉසව්වේ දී පසු බහිනවා.

මේ හේතුවත් සමඟ යහළුවෝ කිහිප දෙනෙක්ම කිවුවා දසප්‍රයාම කරමු කියලා. ඒ වෙද්දිත් රෝහිත සර් ළඟ දෙතුන් දෙනෙක් මේ ඉසව්වේ පුහුණු වුනා. මමත් පුහුණුවීම්වලට ගියා. යුද හමුදා ආධුනික මලල ක්‍රීඩා තරගාවලියේ දී මම පළමුවැනියා. ඒක මගේ දසප්‍රයාම පළමු තරගය. ඒ අවුරුද්දේ ම ජාතික තරගාවලියේ දී සිව්වැනියා වුනා. දැනට පැවැත්වෙන සෑම මලල ක්‍රීඩා තරගාවලියකම දසප්‍රයාම වාර්තාව තියෙන්නේ මගේ. ඒ වගේම ලකුණු 7000කට වඩා වාර්තා කළ පළමු වැනි ශ්‍රී ලාංකියාත් මම.”

රිටි පනින රිටක් හෝ නොදැක රිටි පනින්න මලල ක්‍රීඩා බිමට පය තැබූ අජිත්, අද දවසේ දසප්‍රයාම ඉසව්වේ ඉහළින් ම රැඳී සිටින්නා බවට පත් වෙන්නේ ඒ ආකාරයෙන්. මේ ආ ගමනේ ආසියානු මට්ටම ජයග්‍රහණය කිරීම තමයි අජිත්ගේ බලාපොරොත්තුව.

කවදහරි දවසක ආසියානු මට්ටම ජයග්‍රහණය කරන්න තමයි බලාපොරොත්තුව. ඒ වෙනුවෙන් වෙහෙස වෙනවා. රෝහිත සර් තමයි මාව මේ තැනට ගෙනාවේ. ඒ වගේම මලල ක්‍රීඩා සංගමයේ සභාපති පාලිත ප්‍රනාන්දු සර්වත් මතක් කරන්න ඕන. මුලින්ම සපත්තු දෙක පවා දුන්නේ පාලිත සර් තමයි. ඒ වගේම පොළොන්නරුවේ අනුරාධා මිස්, සියලුම පාසල් පුහුණුකරුවන්ටත් වගේම වර්තමාන පුහුණුකරු වසන්ත කුමාර සර්ටත් ස්තූතිවන්ත වෙනවා.”

අජිත්ගේ ස්තුති ප්‍රකාශය දිගු වැඩි එකක්. ඒ තුළ අම්මා, මේ වන විට ජීවතුන් අතර නැති තාත්තා වගේම අයියලා අක්කලා සෑම කෙනෙක්මත් ඉන්නවා. ලොකු අයියා තමයි අජිත්ගේ මලල ක්‍රීඩා දිවියේ උද්යෝගිමත් කරන්නා කියල තමයි අජිත් කියන්නේ. අදටත් තරගයක් තිබුනොත් අයියා, පොළොන්නරුවේ සිට මල්ලිගේ දක්ෂතා බලන්න රටේ ඕනෑම අස්සකට මුල්ලකටම එනවා කියලයි අජිත් කියන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා යුද හමුදාවේ  විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසු නිලයන් හි සියලු දෙනාමත් ඒ තුළ සිටිනවා.

මේ තත්ත්වයට එන්න ගොඩක් වෙහෙස වුනා. මම ක්‍රීඩාව දැන ගත්තේ ගමෙන්. ගමේ තමයි මගේ අංක එක. අදටත් ලැබෙන නිවාඩුවට ගමේ යනවා. ගම තරම් සතුටක් තවත් නැහැ. ඒ වගේම මම නිසා දසප්‍රයාම ඉසව්ව ජනප්‍රිය වීම ගැනත් ලොකු සතුටක් තියෙනවා. දැන් මේ ඉසව්වේ හොඳ තරගකාරීත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. අපිට හැමදාම ක්‍රීඩා කරන්න බැහැ. කවදහරි දවසක ක්‍රීඩාවෙන් ඉවත් වෙන්න සිදු වෙනවා. එදාට මම ලබපු අත්දැකීම් සමඟ හොඳ දක්ෂ ක්‍රීඩකයෙක් හදන්න ඕන කියන බලාපොරොත්තුවක් තියෙනවා. අනිවාර්යයෙන්ම මම ඒ දේ කරනවා” අජිත් බොහොම හැඟීම්බරව පැවසුවා.

ඔහුගේ බලාපොරොත්තු ඉටු වේවා කියන ප්‍රාර්ථනාවේ ThePapare.com අපි ද සිටිමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<